ග්‍රහලොව මනාලිය වූ සිකුරු තමාට ස්වක්ෂෙත්ර රාශි භවනක් වූ වෘෂභ රාශියට පිවිසෙනු ඇත. 2018 අප්‍රේල් 20 වැනි කිවි දින පාන්දර 2.07ට කිවි වෘෂභයට පිවිස රවිට අයත් වූ කැති නැකතේ 2, 3, 4 වැනි පාදවලත් සඳුට අයත් වූ රෙහෙන නැකතේ සම්පූර්ණවත් අඟහරුට අයත් මුවසිරස නැකතේ ප්‍රථම හා දෙවැනි පාදවලත් ගමන් කරයි. 2018 මැයි මස 14 වැනි සඳු දින රාත්‍රී 8.48 දක්වාම වෘෂභයේ බලවත් ගමනක යෙදෙන සිකුරු වෘෂභ, සිංහ, වෘශ්චික හා කුම්භ ලග්න හිමියන්ට මාලවී නම් පංච මහා පුරැෂ යෝග බලය ද උදා කරනු ඇත.
අප රට කෙරෙහි අවධානය යොමුකිරීමේදී ගොවීන් වෙනුවෙන් යම් යම් සහනදායී වැඩපිළිවෙළක් රජය විසින් දියත් කරනු ලැබේ. වාතය තෙත ගතියෙන් යුක්ත වනු ඇත. සාහිත්‍යධරයකුට ඉතා අයහපත් කාලයකි. මහජන නියෝජිතයකු විසින් සිදුකරන ලද ඉතා පහත් ක්‍රියාවක් ප්‍රසිද්ධියට පත්වේ. වෙනත් රටකින් අප රටේ රෝහල්වල සුබසාධනයට පරිත්‍යාගයන් ලැබෙනු ඇත. මහජන ධනය අනවශ්‍ය ලෙස වියදම් වන කාල වකවානුවකි. ළමයින්ට සිදුවන අපරාධවල ඉහළ යාමක්ද වාර්තා වනු ඇත.
විදේශීය වශයෙන් විමසා බැලීමේදී අයර්ලන්තය, සයිප්‍රසය හා ආසියාතික රටවල් ආශ්‍රිතව ආර්ථික වර්ධනයක් ඇතිවනු ඇත. තුර්කිය, ස්විස්ටර්ලන්තය, බටහිර ඉන්දීය කොඳෙව්, බැබිලිනියාව, ග්‍රීසිය, බ්‍රසීලය යන රටවල වසංගත රෝග ව්‍යාප්ත වනු ඇත. විවිධ වූ බිහිසුණු අනතුරු වාර්තා වේ. හදිසි ජල ගැලීම්, සුළි කුණාටු ඇතිවනු ඇත. ඇල්ජීරියාව, මොරොක්කෝ, නෝර්වේ, සිරියාව, ඇමරිකානු රටවල්, බල්ගේරියාව, ග්‍රීසිය, බොස්නියාව ආශ්‍රිතව ස්ත්‍රී මරණ අධික වනු ඇත. සංගීත හෝ මූර්ති ක්ෂේත්රයේ නියැලි ප්රවීණයකුට මාරකයක් එළඹේ. බොස්නියාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, ලිතුවේනියාව, මැක්සිකෝව යන රටවල් ආශ්‍රිතව රාජකීය ප්‍රභූ මංගල්‍යයක් සිදුවේ. උසස් කාන්තාවකගේ මරණයක් වාර්තා වනු ඇත. ලොව ප්‍රධානීන් අතර නොසන්සුන්තාවන් ඇතිවේ.
මීළඟට ඔබට
♦ මේෂ - ආර්ථිකය යහපත්
අන් අයගේ සිත් ඇදබැඳගන්නා වූ වකවානුවකි. ආර්ථික වර්ධනයක්ද පෙන්නුම් කෙරේ. යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ඇතිවනු ඇත. පවුල් දිවියේ අසමගිතා ඉවත් වී සතුට රජයන වකවානුවකි.
♦ වෘෂභ - කැපීපෙනේ
ඔබට ඉතා යහපත් ඵල අත්වන අතර පංච මහා පුරුෂ යෝග බලයක් වූ මාලවී යෝග බලයේ ඵල ඔබට අත්වනු ඇත. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වන ඔබට අතරමඟ නවතා දමා තිබූ කටයුතු රැසක් ඉටුකරගැනීමට ද හැකිවනු ඇත.
♦ මිථුන - වැඩවලට බාධා
ඔබට යහපත් නොවන වකවානුවක් වන අතර ඔබගේ පවුල් දිවියේද යම් යම් ප්‍රශ්න ඇතිවනු ඇත. ඔබගේ කටයුතුවලටද විවිධ වූ පාර්ශ්වවලින් බාධා ඇතිකරනු ඇත. නිවසේ අලුත්වැඩියාවක් වෙනුවෙන් තැන්පත් ධනය ද වියදම් කිරීමට සිදුවන කාලයක් වේ.
♦ කටක - මංගල යෝග
ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයගේ ආර්ථිකය වර්ධනය වන අතර හිතමිතුරන්ගෙන්ද ඔබට උදව් ලැබෙන වකවානුවකි. සමාජ සේවාවල නිරත වී සිටින අයට ඉතා යහපත් ඵල අත්වේ. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වනු ඇත.
♦ සිංහ - බාධා දුරුවේ
ඔබට ඉතා යහපත් ඵල අත්වන පංච මහා පුරුෂ යෝග බලයක් වූ මාලවී යෝගයේ ඵල අත්වනු ඇත. තම සේවා ස්ථානයෙහි පැවති ප්‍රශ්න හා බාධා දුරුවී යනු ඇත. නව රැකියාවක් අපේක්ෂා කළ අයටද යහපත් ඵල අත්වනු ඇත.
♦ කන්‍යා - ආගමට යොමුවේ
තම උත්සාහය මත යම් යම් කටයුතු රැසක් සාර්ථක කරන්නාවූත් වකවානුවකි. ආගමික කටයුතු කෙරෙහි වැඩි වශයෙන් යොමුවනු ඇත. සන්නිවේදන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් ඵල අත්වේ.
♦ තුලා - ණය වැඩිවේ
ඔබට එතරම් යහපත් නොවනු ඇත. නොගැලපෙන හිතමිතුරන් තමා සමඟ මිතුරුකම් ඇතිකරගැනීමට උත්සාහ දරන වකවානුවකි. කාට හෝ ණය වන්නට සිදුවේ. ඔබගේ කටයුතුවලට විවිධ බාධාවන්ද ගෙනදෙනු ඇත.
♦ වෘශ්චික - ව්‍යාපාරවලට හොඳයි
ඔබටද පංච මහා පුරුෂ යෝග බලයක් වූ මාලවී යෝග බලයේ ඵල අත්වනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවේ. පවුල් දිවියේ සමගිය වර්ධනය වනු ඇත. ව්‍යාපාරිකයන්ටද ශූභ ඵල අත්වනු ඇත.
♦ ධනු - සෙම් රෝග
ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශව මගින් බාධා ගෙනදෙනු ඇත. ආර්ථික ප්‍රශ්න ඉහළ යයි. පවුල් දිවියේද යම් යම් ගැටලු ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතුවේ. සෙම් පීඩා ගෙනදෙනු ඇත.
♦ මකර - නිතර සතුට
කලා කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වන අතර විරුද්ධ ලිංගික ආකර්ෂණයට ඔබව නතුවනු ඇත. හවුල් කටයුතුවලින්ද ඵල අත්වන අතර නිතර සතුටින් කාලය ගත කරන වකවානුවක් වනු ඇත.
♦ කුම්භ - උරුම හිමිකම් ලැබේ
ඔබටද පංච මහා පුරුෂ යෝග බලයක් වූ මාලවී යෝග බලය ලැබෙනු ඇත. නිවාසයක් හෝ වාහනයක් ගැනීමට යෝග්‍ය වකවානුවකි. උරුම හිමිකම්ද ලබාගත හැකිවේ. සිතේ සතුට ගෙන දෙන කාලයකි.
♦ මීන - මිතුරන්ගෙන් උදවු
සන්නිවේදන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් වනු ඇත. ව්‍යාපාරික කටයුතුවලට යහපත් වන අතර හිතමිතුරන්ගෙන්ද උදව් උපකාර අත්වනු ඇත.
►සංස්කරණය | යසවර්ධන රුද්‍රිගු