2017 ජනවාරි 21 වන සෙනසුරාදා

ජීවිතේ සුන්දරයි...

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 618

 

ජීවිතය සුන්දරය. එහෙත් එය රෝස මල් යහනාවක් නොවේ. ඉහළ යෑම් මෙන්ම පහළයෑම්වලින් ද පිරුණු ජීවන මග ආශිර්වාදයේ ද ජයග‍්‍රහණයේ ද විවිධ මුහුණුවරින් සමන්විතය. ඇතැමුන්ට ජීවිතය දුෂ්කරය. කෲරය. දයාවිරහිතය. ජීවත්වන කාලය පුරාවට මෙම වර්ගයේ මිනිසුන් සිතන්නේ ජීවිතයම දඬුවමක් කියාය. සියල්ල කර්මය හා දෛවය හැටියට සළකති. ඔවුනට කිරීමට කිසිදු හොඳක් නැත. තමන්ගේ අවාසනාවන්තභාවයට ඔවුන් පළිගන්නේ අනෙක් මිනිසුන්ගෙනි. කළයුත්තේ කුමක්ද යන්න ගැන ඔවුන්ට හැගීමක් නැත. ඇතැම්විට මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් මිදීමට සිය දිවි නසාගැනීම වැනි ඉතාම දරුණු තීන්දු ගැනීමට පවා ඔවුහු පෙළඹෙති. අසාධාරණ ජීවිතයෙන් පලායෑමෙන් සියල්ල වෙනස් වේ යැයි සිතීම ඊට හේතුවයි.

එහෙත් ජීවිතය යනු නව්‍යකරණයේ හා අනාවරණයේද දිය දහරක් හැටියටත් ජයග‍්‍රහණයේ අපේක්ෂාවක් හැටියටත් සෞභාග්‍යයේ දොරටුවක් හැටියටත් සළකන මිනිස්සු ද සිටිති. එවැනි මිනිසුනට ජීවිතය මිහිරි, වර්ණවත් මෙන්ම කාරුණික වස්තුවකි. උදාවන  ඕනෑම තත්ත්වයක් ඉදිරියේ සිනා සී කටයුතු කිරීමට දක්ෂ ඔවුහු සිය අභිප‍්‍රායෙන් ඈත් නොවෙති. ජීවිතය ඇති තැන අපේක්ෂාව ද ඇතැයි යනුවෙන් පැරැණි කියමනකින් කියන්නේ ද එයමය.

අදහස් සපල කරගැනීමට හෝ පරාජයට ඇති කැමැත්ත තීන්දුවන්නේ පුද්ගල තීරණ අනුවය. ජයග‍්‍රහණය වෙනුවෙන් ඔබට තම සිරුරෙන් මෙන්ම හදවතින් හා ආත්මයෙන්ම කැපවිය හැකි නම් උපරිම තෘප්තිමත් පරිපූර්ණ දිවියක් ලබාගැනීමට ඔබට හැකිවනු ඇත. අනෙක් අතට සියලුම දේ ඉරණමට බාර කිරීමට ඔබ කටයුතු කරන්නේ නම් ජීවිතය ඉතාම අභාග්‍යසම්පන්න විය හැකිය. ජීවිතයට ඉලක්ක මෙන්ම උපාය සැලැස්මක් ද අවශ්‍ය වේ. ඇතැම් අවස්ථාවල අසුන්දර මෙන්ම දරදඬු ආකාරයට කටයුතු සිදුවෙද්දී පවා ස්ථිර ලෙසම ක‍්‍රියාකිරිමට මෙම ඉලක්ක ප‍්‍රතිඵල දිශානුගත විය යුතුවේ.

සියල්ලේ කේන්ද්‍රය හදවතයි. ඔබේ සිතුවිලි මෙන්ම විශ්වාසයන්ද පාලනය කරනු ලබන්නේ හදවත විසිනි. අරමුණුගත සිත කිසිදා අසාර්ථක නොවේ. මිනිසුන්ගේ හැකියාවන් හා කුසලතා ඔවුන්ටම හඳුන්වාදෙන්නේ ධනාත්මත සිතයි. ජීවතුන් අතර සිටින මෙන්ම වියෝ වූ ද කීර්තිමත් චරිත එම තත්ත්වයන්ට පත්වූයේ සිය සිහිනවල නිරන්තරව ජීවත්වීමෙනි. සිය විශ්වාසය මත සියල්ල පදනම් කරගනිමින් එය පෝෂණය කරමින් සිහින සැබෑකරගැනීමට ඔවුහු කටයුතු කළහ. ඔවුන්ගේ ජීවනාදර්ශ අද අපේ උරුමයයි. 

ජීවිතය යනු අභියෝගයකි.  ඕනෑම අයකුට ජීවිතය සාර්ථක කරගැනීමට නම් කාලය මෙන්ම සිතුවිලි ද අරමුණ කරා පරිත්‍යාග කිරීමට ඔහුට හෝ ඇයට හැකි විය යුතුය.එමෙන්ම අප වටපිටාවේ සිදුවන දේවල් මඟින් අපව පාලනය කිරීම වැළැක්විය යුතුවේ. ඒ වෙනුවට අපගේ අරමුණු කරා යාමට අප වටපිටාව කළමනාකරණය කරගැනීම කළයුතුවේ. මේ මොහොතේත් බොහෝ දෙනා සිය ජීවිත කලබලකාරිත්වයෙන් මඟහරවාගෙන තිබුණද එය ඉතාම පහසුවෙන් බාරගත යුතු වස්තුවකි. පාලනයක් හා ඉලක්කයක් වේ නම් සාර්ථකත්වයට ඉමක් නොමැත. යහපත් හදවතින් යුතුව අවංකව කරන වැඩවලට ප‍්‍රතිඵලයක් තිබේ. අදම උත්සාහ කරන්න.

සුනෙත් ප‍්‍රියංකර සේනානායක
බොරලැස්ගමුව