අපි නොයෙක්වර රතු අහසෙන් කූඹියෝ ගැන කතා කළා. සහෝදරයා ගැන කතා කළා. ඒකට හේතුවුණේ කූඹියන්ගෙත් සහෝදරයගෙත් තිබුණු වෙනසයි. පටන් ගත්ත වෙලාවෙ ඉඳන් එකාට එකා කොටවගන්න, පවුල් කතන්දර නැති, රෑට නින්දෙදිත් ලක්ෂ තිහේ හතළිහේ සාරි පොරෝගත්තු ගෑනු ඉන්න නාට්ටි වෙනුවට කූඹියොයි සහෝදරයයි අපේ මිනිස්සුන්ට අලුත් පාරක් පෙන්නලා දුන්නා.
යූ ට්යුබ් එකේ ඉන්ටර්වීව් එකකදී ලක්මාල් ධර්මරත්න අපූරු කතාවක් කියලා තිබ්බා. ලක්මාල්ලා කූඹියෝ අරන් ටීවි චැනල් ගාණෙ යද්දී ඒවායේ කට්ටිය අපිට කිව්වෙ ඔය වගේ නාට්ටි හිට් වෙන්නෙ නෑ කියලලු. පවුලේ මෙගාවක් ගැහුවනම් හිට් කරලා ගන්න පුළුවන් කිව්වලු. ඒත් කූඹියෝත් සහෝදරයත් ටීවිවල ඉන්න ඇතැම් බකපණ්ඩිතයන්ගේ කට වහලා දාන්න සමත් වුණා. ජනප්‍රියම නළුවා සම්මානය අරන් තුමිඳු කිව්වෙත් ඒ වගේම කතාවක්. අද කතාව කූඹියෝ ගැනවත් සහෝදරයා ගැනවත් නෙමේ. සින්දු ගැනයි.
මේ ළඟදී තමන් ජනප්‍රියයි කියලා හිතාගෙන ඉන්න එක්තරා ගායකයෙක් මෙහෙම කතාවක් කියනවා. අපි සින්දු හදන්නේ අපේ රසිකයෝ මේ විදිහේ සින්දුවලට කැමති හින්දයි කියලා. එහෙම කියපු වැඩසටහනේදීම මිනිහා තමන්ගේ සින්දු දෙක තුනක් කිව්වා. ඒ සින්දු සියල්ල එකම ආරට යන එකම තාලෙට අඬන හොටු සින්දු සෙට් එකක්. මිනිහගෙ සින්දු ඇහෙන්නෙත් ස්ටේජ්වලයි, බස්වලයි විතරයි. ස්ටේජ් එකේ සින්දු අහන්නෙ අඩුවෙන් වුණත් බස් එකේදී ඒ සින්දු ඇහෙද්දී දැනෙන්නෙ හරියට මළගෙදරකට ගියා කියලයි.
අලුතින් එන ගොඩක් ගායකයෝ කියන්නෙ ඔය වගේ හොටු සින්දු. කෙල්ල දාලා ගියාට පස්සෙ කොල්ලෙක් හොටු පෙර පෙර සින්දු කියන එක කෙල්ලන්ට විතරක් නෙමේ කොල්ලන්ටත් අප්පිරියයි.
විරහව කියන්නේ වෙනම හැඟීමක්. ඒකෙත් අමුතුම රහක් තියෙනවා. ඒ රහ මැරෙන්නෙ නැති විදිහට තමයි එදා වික්ටර්ලා තනි තරුව ගැන කිව්වෙ. ගොළු වෙච්ච සිව් වසරක පෙම් ගීතය ගැයුවෙ. ඒත් අද ගීත සාහිත්‍ය රැඳිලා තියෙන්නෙ ඔයයි, මමයි, එයයි වගේ වචන සෙට් එකකින් විතරයි.
කාලෙකට කලින් මල් සින්දු රැල්ලක් තිබ්බා. බොහොම අමාරුවෙන් ගීතය ඒකෙන් මිදෙද්දී මෙලෝ තේරැමක් නැති වචන දාපු රැප් රැල්ලක් ආවා. ඊටපස්සෙ දැන් හොටු සින්දු. මේකෙන් ගීත ක්ෂේත්‍රය මුදවාගන්න කොච්චර කල් ගතවේවිද දන්නෙ නෑ.
ඕනම කලාවක රැලි තිබ්බට කමක් නෑ. හැබැයි රැල්ල තියෙද්දී රැල්ලෙන් මිදිලා නිර්මාණ කරන පිරිසකුත් ඉන්න ඕනෙ. නැත්නම් රසිකයන්ට සිද්ධවෙන්නෙ තමන්ගේ ඇත්ත කැමැත්ත මරාගෙන රටේ අනිත් මිනිස්සු කිහිපදෙනෙක්ගෙ කැමැත්තට තමන්ගෙ කැමැත්ත සමපාත කරගන්නයි.
හැබැයි ඔය වගේ රටේ කලාව ඉස්සරහට වෙනුවට පස්සට ඇදලා දාන කලා නිර්මාණවල පස්සට දෙකක් ඇනලා අයින් කරලා දාන්නනම් ලක්මාල්ලා නාමල්ලා ටෙලිනාට්‍යවල කළා වගේ දෙයක් කරන්න පුළුවන් පොරවල් ගායනයටත් එන්න ඕනෙ.
ඒත් සිද්ධවෙන්නේ එදා හිටපු ජෝතිපාලලා, වික්ටර්ලා, කපුගේලා වගේ “පොරවල්” වෙනවා වෙනුවට රින්ගින් ටෝන් එකකින් කීයක් හරි සාක්කුවේ දාගන්න හාල් කෑලි ටිකක් බිහිවීමයි. සම්භාව්‍ය විදිහට පෙනී ඉන්න සමහර අයත් ඔය කුලකයට අයිතියි. එහෙම බැලුවම වික්ටර්ලා, අමරසිරි පීරිස්ලා නැතිවෙච්ච කාලෙක සුභාවිත ගීතෙට ආදරේ කරපු එවුන්ට සිද්ධවෙන්නෙ කන්වල ඇබ ගහගන්න තමයි.
► ජා