2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

මඟුලෙන් පස්සේ සාක්කුවේ සුනාමියක්

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 207

විවාහ බන්ධනයට බඳුන්වීමට නියමිතව සිටි බැවින් ටීවි එකේ යන්නාවූ wedding programs බැලීමට ටිකක් විතර උත්සාහ ගත්තෙමි. ඒවා බැලීමෙන් පෙම්වතිය පවසන අරවා මෙව්වා ගැන ටිකක් විතර දැනුමක් ලබාගත හැකියැයි සිතුණු නිසා එසේ කිරීමට මා සිත පෙළඹිණි. නැත්නම් ඇය කියන්නාවූ ඇදුම් මෝස්තර හා අනිකුත් සැරසිලි පිළිබඳ කිසිදු දැනීමකින් තොරව ඔළුව වනන්නට යාම මගේ තත්ත්වයට හොඳ නැතිවාක් මෙන්ම මගේ පොකට්ටුවට ද හොඳ නැතිවිය හැක.

මීට වසර 3කට පමණ පෙරනම් මෙවැනි වැඩසටහනක් ගියේ එක නාළිකාවක පමණි. ඒ දිනවල චැනල් මාරුකරන අස්සේ අපිට දිරවන්නේ නැති topic එකක් වූ මේ programs ළඟ ඇස නැවතුණේ ඒවායේ ඇහැට කනට පෙනෙන කෙල්ලන් පෙන්වූ වෙලාවට පමණි. දැන්නම් මේ වර්ගයේ වැඩසටහන් නැති චැනල් එකක් නැත. හැම එකේම අපේ කසාදය විය යුතු අයුරු පෙන්වන අතර ඒවාට උදාහරණ ලෙස ජයටම පැවැත්වූ මඟුල්ද පෙන්වයි. 

ඉස්සර නම් ගමේ රටේ මඟුලක් වූ විට ඒක ඉතින් ආයේ බලන්නනම් ඉතින් වීඩියෝ කළ යුතුය. බැඳලා මාස දෙකක් තුනක් යනකල් ගෙදරට එන හැම එකාටම වීඩියෝ කරපු මඟුල දමා පෙන්වන්නේය. අන්තිමට ගෙදර උන්ටම එය දැක එපාවෙන විට ඒ දර්ශනවාර නතර වන්නේය. දැන් ඊට වඩා තත්ත්වය වෙනස් අතර මඟුල ජයටම කෙරෙන්නේනම් ගෙදරට එන ඈයින්ට පමණක් නොව මුළු රටටම මඟුල් ගෙදර පෙන්විය හැක. ඒවා පෙන්විය හැකි වැඩසටහන් දැන් හැම චැනල් එකේම තිබෙන්නේය. ඕවා බලා අපිට තිබෙන්නේ ඒ ආදර්ශ අරගෙන අපේ මඟුලත් ජයටම, එන එවුන්ට ඇඬෙන ලෙස සුපිරියටම ගන්න එකය.

ඉතින් අමාරුවෙන් හෝ මේවා බලමින් යනවිට අපේ මඟුල් ගෙවල් සෑහෙන අප්ඩේට් වී ඇති බවත් අපි නොදන්නා කරුණු බොහෝ ඇති බවත් පෙනේ. මනමාලියන්ගේ ඇඳුම්නම් ඉතින් කතා කර වැඩක් නැත. එය අපේ දැනුමෙන් එහා ගිය මහා සංකීර්ණ කාරණාවකි. එහෙත් අද බැලූ වෙඩිමක ඒ මනමාලි ඇඳ තිබුණේ ‘මොඩර්න් කැන්ඩියන්’ ඔසරියකි. මනමාලයා මුල් ඇඳුමය. මුළු ලෝකයම මොඩර්න් වෙමින් යන කල සම්ප්‍රදායික උඩරට ඇඳුම පමණක් ඉන් කෙසේ ගැලවෙන්නද? කෙසේවෙතත් වැඩසටහනට අදහස් දැක්වූ වෙඩිමේ කෝඩිනේටර්වරයානම් කීවේ උඩරට සම්ප්‍රදායානුකූලව වෙඩිම පැවැත්වූ බවය. නමුත් වෙඩිම අතරතුර මනමාලිය හා දෙවැනි මනාලියෝ රැලම (දැන් පෙන්වන වෙඩිමවල්වල දෙවැනි මනාල මනාලියෝ බැටෑලියන් එකක්ම සිටිති) එක්වී නැටුමක් ඉදිරිපත් කළ අතර ඒ නැටුමනම් දැම්මේ පට්ට අලුත් හින්දි සින්දුවකටය. එයද දැන් අලුතෙන් එක්වී ඇති අංගයකි. දැන් දැන් මඟුල්වල මනමාල ජෝඩුව වෙනමම නර්තනයක් ඉදිරිපත් කරති. ඉතින් මේ නර්තනයේ පුහුණුවීම සඳහා වෙනම ගුරෙකු අල්ලාගෙන පුහුණුවිය යුත්තේය. නැටුම් ඇඟේ තියෙන ජෝඩු dance කරන විට එහි පට්ටම ලස්සනක් තිබුණත් නැටුම් බැරි උන් පැමිණ හත්පලේ ගාගනිමින් තමන්ගේ මඟුල තමන්ම මල මඟුලක් කරගනිමින් ආතල් දෙනවිටනම් දුක හිතෙන්නේය. කපල් එකේ නැටුම්වලට අමතරව දෙවැනි මනාල බැටෑලියන් එකේ surprise dance ද දැන් බිහිව තිබෙන්නාවූ අලුත් අංගයක් වන අතර එයටද ඉහත කී තියරියම අදාළය. සමහර උන් dancing බින්දුවක් බැරිව මේ කරන විගඩම දුටුවිට, බලන් ඉන්න උන් සිරාවටම surprise වේ.

මේ දෙකට අමතරව තවත් නර්තන කණ්ඩායමක් ගෙන්වා පවත්වන නර්තන අංගද දැන් දැන් ප්‍රචලිත වෙමින් පවතී. ඉස්සර නම් තිබ්බේ බෑන්ඩ් කණ්ඩායමක් පැමිණ සින්දු කියන එක පමණක් වුවත් දැන් නර්තනයෙන්ද ඒවා හැඩවැඩ වී ඇත. ඉතින් මෙවැනි මඟුලකට යාමට සෙට්වුණොත් ආයේ ඉතින් කිසි කම්මැලිකමක් නැත, කෙළින්ම Indoor musical show එකක් බලන්නට ගියා මෙනි.

ඊට පසුව ඡායාරූප සම්බන්ධයෙන් විස්තර වූ අතර ඡායාරූපකරණයේ සිදුව ඇත්තාවූ දැවැන්ත පිබිදීම සමඟ wedding photography ද වේගයෙන් ඉදිරියට ගොස් ඇත. පහුගිය වසර දෙක තුළ අලුතෙන්ම ආ අංගය pre shoot එකය. පෙරහරක් ළඟ ළඟ එන බවට මුලින්ම පවසන මල් බයිසිකල්කරුවන් මෙන් කසාදයක් වෙන්නට යන බව අපිට දැන් පවසන්නේ මේ pre shoot එකය. කසාදෙට මාසෙකට පමණ පෙර Fb එකේ පළවන්නාවූ pre shoot photos වලින් අපිට ඒ බව දැනගත හැක. ලස්සන ලස්සන locations වලට ගොස් ඇඳුම් වර්ග හතරක් පහක් මාරුකරමින් නළු නිළියන් පරදමින් ගත්තාවූ මේ ඡායාරූප, අඹු සැමි යුවලක නව වගකීම් ගොන්න කරට ගන්නට මත්තෙන් තමන් පෙම්වතුන් ලෙස ගෙවන නිදහස් දිවියේ අවසාන දින කිහිපය මෙය යැයි අපිට පවසන කැඩපතක් වැන්නේය. ඒ කැඩපතෙන් අපි අපේ මූණ බලාගන්නා අතර අපේ තරම ලෝකයට පෙන්වීමට ලොකු හෝටලයක වෙඩිම ගනිමින්, දින ගණනාවක් හනිමූන් යමින් රට වටේ කරක් ගසා නැවත ගෙදරට එන්නෙමු.

මේවාට අමතරව තවත් මෙකී නොකී තවත් අපූරු අමතර අංග ගණනාවක් අපේ විවාහ ක්‍රමය තුළට පසුගිය වසර දෙක තුන තුළ රිංගා ඇත්තේය. ඒවා සැබැවින්ම අලංකාර මනස්කාන්ත විවාහ දිනයක් අපට ලබාදීමට සමත් අංගයන් වන අතර මිලෙන් ඉතා ඉහළය. කසාදය රූපවාහිනී වැඩසටහනක් බවට ක්‍රමක්‍රමයෙන් විකාශනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතුළට රිංගාගත් මේ අංගයන් වෙළෙඳපොළ වුවමනාව මත බිහිවූ අංග මිස අන් කිසිවක් නොවේ. සෑමදේකම  වටිනාකම හා පැවැත්ම වෙළෙඳපොළ විසින් තීරණය කරන යුගයක අපේ විවාහ සංස්කෘතිය වේගයෙන් යාවත්කාලීන වෙමින් යන්නේය. තමන්ට පොරබැඳිය නොහැකි හා දරාගත නොහැකි මේ updated wedding සංස්කෘතිය තුළ රඟන්නට ගිය බොහෝදෙනා වර්තමානයේ ඇනගෙන ඇතිබව වටපිට බැලූවිට පෙනෙන්නට තිබේ. ඉතින් වාණිජකරණයට උපරිම ලෙස භාජනය වූ විවාහ සංස්කෘතියක් තුළ අලුත කසාද බඳින උන් ඉතා පරිස්සමින් තම වුවමනාවන් තෝරාබේරාගත යුතුය. නැත්නම් ටිකෙන් ටික බිඳෙන් බිඳ ගොඩදාගනිමින් මේ තරම් දුර ආ ආදරය, කසාදයෙන් පසු ටිකෙන් ටික බිඳෙන් බිඳ ඔබව ආර්ථික අගාධයකට කැඳවාගෙන යාමට ඉඩ ඇත්තේය. 

► දසුන් සිල්වා

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00