2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

රතු විල්සන්ගේ මැයි දිනය

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 174

“දාස් කැපිටාල්” නොහොත් “ප්‍රාග්ධනය” පොත ඇහින් දැක නොතිබුණත් උග්‍ර මාක්ස්වාදියෙකු වන රතු විල්සන් සහෝදරයා ඔහුට මතක ඇති කාලයේ සිට මැයි පළවෙනිදාට කොළඹ ගොස් පෙළපාලි ගියේය. එය වැඩ කරන ජනතාවගේ අයිතියකි. යුතුකමකි. එහෙයින් මෙවර මැයි පළවෙනිදාට තිබූ කම්කරු දිනය කල්දැමීම ගැන ඔහු සිටියේ බලවත් අමනාපයෙනි. එහෙත් ඔහුට ඒ සඳහා විකල්ප වැඩපිළිවෙළක් තිබුණි.

ලෝක කම්කරු දිනය නොහොත් මැයි පළවෙනිදා වැඩකරන ජනතාවගේ නිවාඩු දිනයකි. එහෙයින් විල්සන් සහෝදරයා මුලින්ම කළේ තම බිරිඳට නිවාඩු දීමය. ලද අවස්ථාවෙන් නිසි ඵල නෙලාගත් ඇය එය වෙසක් සතියද වූ හෙයින් දරුමල්ලන් ද කැටිව අනුරාධපුර වන්දනාවේ ගියාය.

නිවස පාළුවට ගිය හෙයින් එය මැයි දින සැමරුම සඳහා ස්ථානයක් කර ගතහැකි බව විල්සන්ට කල්පනා විය. මෙය තමන්ගේ නිවස බැවින්. රැස්වීමක් පැවැත්වීම සඳහා පොලිසියෙන් අවසර ලබා ගත යුතුද නැත.

ඔහු තම මැයි දින උත්සවය සඳහා අසල්වැසි මිතුරන් සැමට ආරාධනා කළේය. ප්‍රේරා, ඇක්මන් බාස්, වංහුං සැම්සන් ඇතුළු දහපහළොස් දෙනෙක්ම ඔහුගේ ආරාධනය පිළිගෙන ඊට සහභාගී වූහ.

විල්සන්ගේ නිවසේ පසෙක වූ සියඹලා ගස යට රැස්වීම සංවිධානය කර තිබූ අතර “ලෝකයේ කම්කරුවනි එක්වව්” යනුවෙන් සඳහන් රතු බැනරයක් ගස වටා බැඳ තිබුණි.

“අපරාදෙ, කම්කරුවෝ ඕනය කියලා කිව්වා නම් මම අත්වැඩකාරයොයි, කොන්ක්‍රීට්කාරයොයි ටික අඬගහගෙන එනවනෙ.”

ඇක්මන් බාස් පසුතැවිලි වූයේය.

උත්සවය ඇරඹුණේ ලෝක කම්කරැ ගීතය වාදනය කිරීමෙනි. ඉන්පසු “සාදුකින් පෙලෙන වුන් - දැන් ඉතින් නැගිටියව්.” ගීය ගායනා කෙරුණි. ඒ සඳහා පැමිණ සිටියේ සැලසිනා ඉස්කෝලෙ හාමිනේගේ ජයමංගල ගීත කණ්ඩායමේ කුඩා ළමයින්ය. සුපුරුදු පරිදි ළමා සාරි හැඳ සිටි නමුත් මැයි දිනය සංකේතවත් කිරීම සඳහා “දෑකැති, මිටි” පදක්කමක් බැගින් ඔවුහු පැළඳ සිටියහ. ගීතය ගයන අතර ඒ කුඩා ගැහැනු ළමයි ඈනුම් හැරියේ ගීයේ අර්ථය උද්දීපනය පිණිස ද නොඑසේ නම් සැබෑවටම කුසගිනි නිසාද යනු නොපැහැදිලිය. කෙසේ වෙතත් එය ඉතා හැඟීම්බර අවස්ථාවක් විය. ඇක්මන් බාස් අතින් ඒ සැමටම මුදල් කවරය බැගින් තෑගි ලැබුණි.

සියඹලා ගහේ පාමුල ජීවතුන් අතර නැති මෙරට කම්කරු නායකයන්ගේ විශාල ඡායාරූප කීපයක් සිටුවා තිබුණි. ඒවාට රතු මල්දම් පැළඳවීම ද පැමිණ සිටියවුන් අතින් සිදුවුණි.

පුදුමයකට කාරණයක් වූයේ දැනට මෙරට දේශපාලනයේ නියැලී සිටින වාමාංශික නායකයන් දෙතුන් දෙනෙකුගේ ද ඡායාරූප ඒ අතර තිබීමය.

“විල්සන් සහෝදරයා... මේ ෆෝටෝස්වල ඉන්න අය නම් තාම ජීවතුන් අතර ඉන්නවානේ.”

මම විල්සන්ගෙන් ඇසුවෙමි.

“ඉන්නවා නම් තමයි. ඒත් නෑ වගේනෙ. ඒගොල්ලො සටන් කෙරැවෙ අතීතයේ විතරයි. දැන් ඉන්නෙ ධනපති නායකයො අස්සෙ උන්ගෙ කුක්කො වගේ. රැවුල විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ.”

විල්සන්ගේ හඬෙහි වූයේ කලකිරීම මුසු කෝපයකි.

“මිනිස්සු වයසට යනකොට විප්ලවය අමතක වෙනවද?”

මා එසේ ඇසූ විට විල්සන් ඇද සිනාවක් දැම්මේය.

“ඒක ඇත්ත සහෝදරයා. දැන් ඒ අය විප්ලව කරන්නෙ ඇමැතිකම් බේරගන්ඩ.”

“කස්ත්‍රෝ රැවුල්කාර” මහලු පුද්ගලයෙකුගේ ඡායාරූපය දෙසට අත දිගු කළ විල්සන් වේදනාත්මක ස්වරයෙන් කතා කරන්නට විය.

“අපි ඒ දවස්වල මේ සහෝදරයාගේ කතා අහල ගෙදර ආවේ ලේ රත්වෙලා. ඒත් දැන් මෙයාගේ කතා අහනකොට ලේ කෝප වෙනවා.”

“ඕවා ඔහොම තමයි විල්සන් සහෝදරයා. ඕකත් හරියට ජනාධිපති පුටුවේ ඉඳගත්තට පස්සෙ ජනතාව අමතක වෙනවා වගේ වැඩක්නෙ.”

“ජනතාව නම් කමක් නෑ. තමන් කවුද කියන එකත් මතක නැති වෙනවානෙ. ඒකනෙ ඉවසන්නම බැරි.”

“ඇන්.ඇම්., කොල්වින්, එස්.ඒ. වික්‍රමසිංහ වගේ සහෝදරවරු අද හිටියා නම් මේ තත්ත්වය වෙනස් වෙයි කියලා හිතනවද?”

මම “බූමරංගයක්” එල්ල කළෙමි.

“ඇත්තම කියනවා නම් සහෝදරයා මුන් කෙළින පිස්සු දැක්කම මට දැන් මාක්ස් - එංගල්ස්වත් විශ්වාස නැතුව යනවා. මෙහෙ හිටියා නම් ඒ දෙන්නත් කැබිනට් එකේ.”

මම සිනාව මැඬගෙන බැරෑරුම් පෙනුමින් හිස සැළුවෙමි.

වෙසක් සතියට මැයි දිනය හෝදාපාළුවී යටපත් වී යාම ගැනද විල්සන් සහෝදරයාගෙන් විමසූ කල ඔහු පැවසුවේ මෙවැනි අදහසකි.

“ඕක තමයි මාක්ස් කිව්වේ ආගම අබිං කියලා. අද හිටියා නම් කියයි, ආගම හෙරොයින් වගේ කියලා.” විල්සන් ඇද සිනාව පෑවේය.

“ලෝකයේ කම්කරුවන් එක්වව් කිව්වට ඒක යථාර්ථයක් වුණේ නෑ නේද විල්සන් සහෝදරයා. ලංකාව දිහා බැලුවත් මැයි දිනේට රැස්වීම් කීයක් තියෙනවද, පෙලපාලි කීයක්ද? එක එක පිට්ටනිවලට, ශාලාවලට වෙලා එකඑකාට බැණ ගන්නවා. හැබැයි ඔක්කොමලා රතු ෂර්ට් ඇඳගෙන ඉන්නෙ.”

“ඕකත් හරියට නිකාය භේදය වගේ තමයි. ධර්මය කොහෙවත්. කල්ලි ගැහිලා නොමඟ යනවා.”

විල්සන් ආගමික තර්කයකින්ම පිළිතුරු දුන්නේය.

කතා දෙක තුනකින් පසු විල්සන්ගේ මැයි දින රැස්වීම නිමාවට පත්විය. දහවල් එකොළහට පන්සලේ සංඨාව නාද වෙද්දී වංහුං සැම්සන් කලබල විය. “වෙලාව නම් හරි” ඔහු වටපිට බැලුවේය. ඔහුට මතක් වී ඇත්තේ නගරයේ “බාර් එක” අරින වෙලාවය.

මැයි දිනයට අවශ්‍ය කළමනා විල්සන් හා ඇක්මන් විසින් කල්තියාම පිළියෙල කර තිබුණෙන් සියල්ලෝ නිවස තුළට ගොස් රත්වන්නට වූහ.

“වෙසක් සතියේ අඩියක් ගහන්න ලැබුණෙ මැයි දිනේට පිං සිද්ධ වෙන්න.”

ප්‍රේරා කීවේය.

විල්සන්ගේ කත්තෝරු කාමරයට එබුණු ඇක්මන් බාස් එහි බිත්තියක වූ මහළු පුද්ගලයෙකුගේ ඡායාරෑපයක් දෙසට අතදිගු කරමින් මෙසේ ඇසුවේය.

“අර මහත්තයලගෙ පියා වෙන්ඩැති?”

“නෑ... ඒ ලියෝන් ට්‍රොට්ස්කි!” රතු විල්සන් පිළිතුරු දුන්නේ කෝපයෙන් රතු වෙමිනි.

►කපිල කුමාර කාලිංග

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00