මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකය ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරුය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාද සටහන් පෙළක විසිවැන්නයි. මෙවර ද අප හා කතාබහට එක්වන්නේ සංචාරක මාර්ගෝපදේශිකාවකි. නිරංජලා කරුණාරත්න නම් ඈ 2005 වසරේ සිට ඉංග්‍රීසි බසින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන්නීය. මේ සංචාරකයන් හා ගතවුණු කාලය අතරතුර ඈ ලැබූ අත්දැකීම් අතුරින් කිහිපයකි.
අපට මීට පෙර මුණගැසුණු ඉරෝෂාට මෙන්ම නිරංජලාට ද සංචාරක මාර්ගෝපදේශනයට පිවිසීමේදී ගෙදරින් හිමිවූයේ ආශීර්වාදයක් වෙනුවට බාධා කිරීමකි. එහෙත් ඇගේ ඥාතීන් දෙදෙනකුම සංචාරක ක්ෂේත්‍රයට සමීපව සිටි නිසා අවසානයේ ඈට තම අභිමත මාර්ගයේ ගමන් කරන්නට ඉඩ ලැබිණි.
“මම ගයිඩින් කෝස් එකට යද්දී මගේ වයස අවුරුදු විසි එකයි. එතැන හිටපු පොඩිම කෙනා මම. ඉතින් ඉස්කෝලෙන් පැනලා ඇවිල්ලා කියලා දේශකවරැ මට විහිළුත් කළා” කතාබහ ඇරඹුණේ එතැනිනි.
මූණ බලා සුද්දන් හැඳිනීම
ලාංකිකයන් ලෙස අපි හම සුදු සියල්ලන්ටම ආමන්ත්‍රණය කරන්නේ සුද්දන් ලෙසිනි. එහි වරදක් නැතිවුණත් සුදු හමට සුද්දන් කියන අපට රටවල් අනුව සුද්දන් වර්ග කිරීමේ හැකියාවක් ඇත්නම් ඒ අතිශය කලාතුරකින් අයකුටය. එහෙත් අවුරුද්දේ තුන්සිය හැටපස් දවසින් වැඩි කාලයක් සුද්දන් සුද්දියන් ඇසුරේ කල්ගෙවන නිරංජලා වැන්නවුන්ට සුද්දකු දුටු ගමන් ඔහු කුමන රටකට අයිතිදැයි කීමේ හැකියාවක් තිබේ.
“එක්ස්පීරියන්ස් එකත් එක්ක තමා ඒ හැකියාව ලැබෙන්නෙ. එයාර්පෝට් එකේදී වුණත් අපේ ගෘප් එක කවුද කියලා අපිට ඈතදීම හොයාගන්න පුළුවන්”
ඈ කියන ආකාරයට රට අනුව සුද්දන්ගේ හමේ වර්ණයේ ඇතැම් වෙනස්කම් දක්නට ලැබේ. යුරෝපයේ උතුර, දකුණ, බටහිර සහ නැගෙනහිර වශයෙන් ගත්විට ඒ ඒ කලාපවල මිනිසුන්ගේ හමේ වර්ණයේ සැලකිය යුතු වෙනසක් තිබේ. එපමණක් නොවේ. ඔවුන්ගේ ඇස් පිහිටා තිබෙන ආකාරය, ඇස්වල පැහැය, මුහුණුවරේ හැඩය ආදී බොහෝමයක් කාරණා සුද්දාගේ හෝ සුද්දියගේ මුල්බිම ගැන නිහඬ සාක්ෂි සපයයි.
හංගේරියන් සුද්දෝ
නිරංජලා ගයිඩින් කරන්නේ ඉංග්‍රීසි බසිනි. එහෙත් නිරංජලාගේ සේවය ලබාගැනීමට පැමිණෙන සංචාරකයන් අතර ඉංග්‍රීසි කතා කරන මෙන්ම කතා නොකරන සුද්දන් ද සිටිති. හංගේරියානු ජාතිකයන් යනු එවැනි පිරිසකි.
එවැනි ඉංග්‍රීසි කතා නොකරන සංචාරකයන් බොහෝවිට එන්නේ tour leader නමින් හඳුන්වන කණ්ඩායම් නායකයකු සමඟය. ලංකාවේ සංචාරක මාර්ගෝපදේශකයා ඉංග්‍රීසියෙන් විස්තර කරන දේ එරට භාෂාවට පරිවර්තනය කරන්නේ ඒ කණ්ඩායම් නායකයායි.
හංගේරියාව යනු මධ්‍යම යුරෝපයට අයත් රටකි. එය නිල වශයෙන් යුරෝපා සංගමයේ රටක් වුවද එහි වැට උඩ ඉන්නා රටක් ලෙසද ප්‍රසිද්ධය. මන්ද බටහිර යුරෝපයේ සෙසු රාජ්‍යයන් වන ජර්මනිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය වැනි ධනවත් රටක් නොවන නිසාම හංගේරියාවට යුරෝපා කවුන්සිලය තුළ මහා ලොකු පෞරුෂයක් හිමි නැත. දිගු කාලයක් තිස්සේ කෘෂිකර්මාන්තය තම ආර්ථික රටාවේ කොඳු නාරටිය කරගත් එරට කාර්මීකරණයට බඳුන්වන්නේ මෑතකදීය.
“මම දැකලා තියෙන විදිහට නම් හංගේරියානු ජාතිකයෝ හරිම කරුණාවන්ත, ගුණයහපත්කම්වලින් පිරිච්ච මිනිස්සු පිරිසක්”
හංගේරියානුවන් ගැන කතාබහට ඈ මුලපිරුවේ එලෙසිනි.
නෙරංජලාට බොහෝවිට මුණගැසෙන්නේ තරමක් තලතුනා වියේ පසුවන සුද්දන් හා සුද්දියන් වීමද එවැනි කරුණාවන්ත සැලකීමක් ලැබීමට එක් ප්‍රධාන හේතුවක් විය හැක. “සමහරු මට සලකන්නේ දුවෙක්ට වගේ” ඈ කියන්නීය.
හංගේරියාව හතර අතින්ම ගොඩබිමින් වටවුණු රටකි. ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ඕස්ට්‍රියාව, ක්‍රොඒෂියාව, රුමේනියාව සහ යුක්රේනය යන රටවල් හංගේරියාව වටකොට සිටී. එනිසාම හංගේරියානු ජාතිකයන්ට මුහුදු වෙරළක් දැකීමට එක්කෝ ස්ලෝවේනියාව හෝ නැත්නම් ක්‍රොඒෂියාව පසුකරගෙන හැතැප්ම දහස් ගණනක් දුර ගෙවාගෙන මධ්‍යධරණී මුහුද කරා යා යුතුය. මුහුද තමන්ට දුර්ලභ දෙයක් වන නිසාම ලංකාවට එන හංගේරියානු සුද්දෝ මුහුදු වෙරළකට ගිය පසු ඉන්නේ මිටෙන් හළ කුරුල්ලන් මෙනි.
“අපේ ටුවර් එක සමහර වෙලාවට දවස් හයයි නැත්නම් හතයි. ඒත් සමහර වෙලාවට එයාලා ටුවර් එක ඉවරවෙලාත් තවත් සතියක් දෙකක් විතර මුහුද අද්දර හෝටලේකට වෙලා ඉන්නවා. හිතේ හැටියට මුහුද බලාගෙන තමයි ඒගොල්ලෝ ආපහු ලංකාවෙන් යන්නෙ”
ලංකාව වටේටම මුහුද තිබුණත් හංගේරියානු ජාතිකයන් වැඩිම ඇල්මක් දක්වන්නේ උණවටුනටය. කාලයක් වසර තුනක් එකදිගට ලෝකයේ හොඳම මුහුදු තීරයන් 10 අතරට උණවටුන එක්ව තිබීම එවන් ඇල්මක් ඇතිවීමට බලපා තිබේ.
හංගේරියාවේ NOKIA කම්හල
මීට දශකයකට දෙකකට එපිටදී අපේ රටේ තරුණ පරපුර අතර හංගේරියාව යනු ජනප්‍රිය රටකි. ලෝකයේ කොයි කොණක පිහිටා ඇත්දැයි නොදැන වුවද ඔවුහු හංගේරියාව ගැන නිතර දෙවේලේ කතා කළහ. ඒ අනිකක් නිසා නොව ලෝක ප්‍රසිද්ධ Nokia ජංගම දුරකතන කර්මාන්ත ශාලාවක් හංගේරියාවේ පිහිටා ඇති නිසාය.
තමන් මිලදීගන්නට යන නොකියා දුරකතනයේ Made in Hungary සටහන ඇත්දැයි එකල අපේ රටේ තරුණ පරපුර සොයා බැලුවේ දැඩි උනන්දුවකිනි. චීනයේ නිෂ්පාදිත නොකියා දුරකතනයකට වඩා හංගේරියාවේ හෝ පින්ලන්තයේ නිෂ්පාදිත නොකියා දුරකතනයකට වෙළෙඳපොළේ වැඩි වටිනාකමක් ද හිමිව තිබුණි.
“ඒගොල්ලොත් අපේ අය වගේම තමයි. අපිටත් අපේ දේවල්වල අගයක් නෑනෙ. ඒගොල්ලන්ගෙන් ඇහුවම කියන්නෙත් හංගේරියාවේ හදන නොකියා ෆොන් එකට වඩා පින්ලන්තෙ හදන එක හොඳයි කියලයි” නෙරංජලා කීවේ මුව පිරුණු සිනහවක් ද සමඟිනි.
හංගේරියානු සුද්දන්ගේ තවත් විශේෂත්වයක් වන්නේ මිරිස් සැරට ඔරොත්තු දීමය. නිරංජලා පවසන පරිදි යුරෝපයේ වැඩියෙන්ම මිරිස් පරිභෝජනය කරන රට වන්නේත් හංගේරියාවයි. එනිසා ලංකාවේ බත් මාළු පිනි කෑම හංගේරියානු සුද්දන්ට කජු කනවා වාගේය.
ලාඕසයෙන් උගත් පාඩම්
නිරංජලා සමඟ කතාබහේදී අතුරු කතාවක් ද මතුවිය. එය ගයිඩින්වලට එක එල්ලේ සම්බන්ධ නොවුණත් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා වැදගත්කමින් යුක්තය. ඈ කාලයක් අග්නිදිග ආසියාතික රටක් වන ලාඕසයේ කල් ගෙව්වාය. ඒ එරට සංචාරක මණ්ඩලයේ රැකියාවක නිරත වෙමිනි. එනිසා ලංකාවේ මෙන්ම අපට තරගකාරී සංචාරක ක්ෂේත්‍රයක් ඇති ලාඕසයේත් සංචාරක කර්මාන්තය ගැන ඈට ඇත්තේ හොඳ අවබෝධයකි.
“ලාඕසය කියන්නෙ ගොඩක් දුප්පත් රටක්. ඒ වගේම සරල රටක්. මිනිස්සුන්ගෙ ජීවිතත් හරිම සරලයි. අපේ රටේදී නම් මේ ගෙදර ටීවි එකක් ගත්තොත් අනිත් ගෙදර කෙනාට ඕනෙ ඊට ලොකු ටීවි එකක් ගන්නයි. හැබැයි ඒ රටේ මිනිස්සු ගාව ඒ වගේ කිසිම තරගයක් නෑ”
අපේ රටේ නැති ලාඕසයේ ඇති තවත් විශේෂ දෙයක් ගැන ද නෙරංජලා කරුණු කීවාය. එනම් සංචාරක ව්‍යාපාර නිසා ගමේ ගොඩේ වෙසෙන සාමාන්‍ය මිනිසුන්ට ද හොඳ ආදායමක් ලැබෙන ක්‍රමයක් එරට ඇති බවය. තරගකාරී මානසිකත්වයක් නොමැති නිසාම එරට වැසියන් සංචාරක කර්මාන්තය තුළින් අනෙකා පරයමින් ලාභ උපයන්නට වෙහෙසෙන්නේ නැත. නමුත් අපේ රටේ ඇත්තේ ඊට වෙනස් තත්ත්වයකි. සාමාන්‍ය මිනිසුන් පැත්තක සිටියදී සංචාරක ව්‍යාපාරයෙන් සල්ලි උපයන්නේ මහා පරිමාණ සමාගම්ය. ඇතැම්විට අතරමැදියන්ය. තමන්ගේ සේවාව, නිෂ්පාදනය වෙනුවෙන් ගැමියන්ට ලැබෙන්නේ සොච්චම් මුදලකි.
අමුතු ප්‍රශ්න
සුද්දන් ලංකාවට එන්නේ සිරි අසිරිය විඳින්නට පමණක් නොව ලංකාව ගැන තොරතුරු දැනගන්නටත් එක්කය. එනිසාම ගයිඩින්වලදී රටේ නැති ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවීම සාමාන්‍ය දෙයකි.
“අපි කීයටවත් හිතන්නෙ නැති ප්‍රශ්න තමා ඒගොල්ලෝ සමහර වෙලාවට අහන්නෙ. මේ ළඟදී ආපු ගෙස්ට් කෙනෙක් මගෙන් අහනවා ලංකාවේ බැංකු පොලී අනුපාතය කීයද කියලා. ඇත්තටම ඒ වෙලාවෙ මගේ ඔළුවෙ ඒ ගැන අදහසක් තිබ්බෙත් නෑ”
තවත් විටෙක දඹුල්ලට යන ඔවුහු දඹුල්ලේ හිඳි සහ හිටි පිළිම පමණක් නෙළා ඇත්තේ මන්දැයි ප්‍රශ්න කරති. එවෙලේට නෙරංජලාගේ පිළිතුර වන්නේ දඹුල්ල ලෙන් විහාරයක් බැවින් ලෙනේ තරමට පිළිම ඉදිකර තිබෙනවා යන්නය.
(තවත් කොටසක් ලබන සතියේ)
► රජිත ජාගොඩ ආරච්චි