2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

නොරාච්චෝලෙට ගිනි පිඹින අළු දූවිලි

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

සිදුවන සාගර විනාශය සලකා බැලීමෙන් පසු 2015 වසරේදී ඉන්දියාව තහනම් කළද නොරච්චෝල ලක්විජය තාප බලාගාරය වර්තමානයේදී භාවිත කරන කුලින් ක්‍රමවේදය හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බව පැවසේ.   නොරච්චෝල ලක්විජය ගල්අඟුරු තාප බලාගාරයේ ප්‍රධාන ජනන යන්ත්‍ර සිසිල් කිරීම සඳහා මුහුදු ජලය ලබාගැනීමේදී විශාල පරිසර හානියක් සිදුවන බව පරිසර සංවිධාන මෙන්ම ධීවර ප්‍රජාවද පවසයි.

විටින් විට අකර්මණ්‍ය වන මෙම ගල්අඟුරු බලාගාරය ගැටලු රැසක් මතුකළ මෙරට තවත් එක් සංවර්ධන ව්‍යාපෘතියක් බව කිව හැකිය.

ධාරිතාව මෙගාවොට් 300 ක් බැගින් වූ ඒකක තුනකින් සමන්විත වන නොරච්චෝල ලක්විජය බලාගාරයේ ඊ.එස්.පී යන්ත්‍රය අක්‍රිය වීමෙන් පසුගිය දින කිහිපයේම බොයිලේරුවකින් පිටවන අධික දුමාරයෙන් විශාල පරිසර හානියක් සිදුවූ බවට වාර්තා විය.

අදාළ ජනන යන්ත්‍ර සිසිල් කිරීම සඳහා බලාගාරයේ සිට මීටර 7 ක් භූගතව පිහිටි නළ තුනක් මගින් සාගර ජලය ජනන යන්ත්‍ර වෙත පොම්ප කිරීම සිදුවේ.

එක් ජනන යන්ත්‍රයක් සිසිල් කිරීම සඳහා ආසන්න වශයෙන් එක් නළයකින් පැයකට මුහුදු ජලය කියුබික් මීටර පනස් අටදාස් පන්සියයක් (5,8500) ක් පමණ යොදා ගැනේ.

අදාළ නළ මගින් සාගර ජලය ලබාගැනීමේදී දුර්ලභ මුහුදු බෙල්ලන්, කුඩා මත්ස්‍යයන්, මුහුදු පැළෑටි සහ සාගර ජීවීන් රැසක් අදාළ නළ තුළට ඇදී ඒම හේතුවෙන් ඒවා ඉවත් කර ගොඩගසා විනාශ කිරීම බලාගාර පරිශ්‍රයේදී සිදුකෙරේ.

මේ ආකාරයට කුඩා මසුන් විනාශවීම හේතුවෙන් නොරච්චෝලේ ධීවරයන්ට මත්ස්‍ය සම්පත අහිමිවී ඇති බවත් සාගරයෙන් පොම්ප කරන ජලය ප්‍රධාන ජනන යන්ත්‍ර සිසිල් කිරීම සඳහා යොදාගනිමින් නැවත සාගරයට මුදාහැරීමේදී මසුන් මියයන බවත් ධීවරයන්ගේ චෝදනාවයි.

වරින්වර ප්‍රවෘත්ති මවන නොරච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයේ පවතින ගැටලුව පිළිබඳ නොරච්චෝල බලාගාරයේ උසස් නිලධාරියකුගෙන් පෞද්ගලික ජංගම දුරකතනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මුහුදේ ඇතිවන දියවැල් සහ අනිකුත් පාරිසරික වෙනස්වීම් හමුවේ මෙම තත්ත්වය වරින්වර ඇතිවන බවයි. මෙය වැළැක්වීමට ෆිල්ටර් ක්‍රමවේදයක් භාවිත කිරීමට නොහැකිදැයි විමසීමේදී ඔහු පැවසුවේ කුඩා පෙනේර වැනි යමක් සම්බන්ධ කිරීමෙන් ජලය ඇදී ඒමට බාධාවක් වන බැවින් එය කළ නොහැකි බවයි.

නම් හෙළිදරව් නොකරන ලෙස වූ පොරොන්දුව මත බලාගාරයේ උසස් නිලධාරියකු පැවසුවේ නොරච්චෝල බලාගාරය පරිසර ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පරිසර බලපත්‍ර ලබාදීමද වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි. වැඩිදුරටත් තොරතුරු හෙළිදරව් කළ ඔහු නොරච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක අළු හා වායු පාලන ඒකකය මාසයකට වැඩි කාලයක් අක්‍රීය වී ඇති බව පැවසීය.

අළු පාලනය ඒකකයේ කොටස් අටක් අක්‍රීයවීම නිසා දිනකට අළු මෙට්‍රික් ටොන් 100 ක් පමණ ඉහළ අහසට මුදාහැරීම නිසා දැඩි පරිසර දූෂණයක් සිදුවේ.

මෙම පාලක යන්ත්‍ර ඇත්තේ අහසට මුදාහැරෙන අළු පාලනය කිරීම සඳහාය. එහෙත් පාලක යන්ත්‍රයේ කොටසක් අක්‍රීයවීම නිසා අළු මෙට්‍රික් ටොන් 3000 ක් පමණ වායුගෝලයට එක්වෙයි.

දින කිහිපයකට පෙර නොරච්චෝල බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රයද අක්‍රීය විය. ඒ බොයිලේරැවේ සිසිලන යන්ත්‍රයට මුහුදු ජලය සැපයෙන බටවල බෙල්ලන් හා මසුන් සිරවීම නිසා ජලය සැපයීම නතරවීම හේතුවෙනි. එය සෑදීමට දින දෙකක් ගතවිය. 

මේ පිළිබඳ නොරච්චෝල බලාගාරයේ සාමාන්‍යාධිකාරීවරයාගෙන් විමසීමට ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබාගැනුණද එය අසාර්ථක වීය.

► කතාව හා සේයාරූ
රෝවන් පෙරේරා - පුත්තලම

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00