2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

සංගීතය ලේ විලක් කළ අත්තනගල්ලේ මිනීමැරුම

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 182

අත්තනගල්ල තරුණ සංවිධානය සහ ව්‍යාපාරික ප්‍රජාව එක්ව සංවිධානය කළ බක්මහ සැණකෙළිය සෙනසුරාදා දවස පුරා අත්තනගල්ල රජමහා විහාරය ආසන්නයේදී පැවැත්විණි. අවුරුදු උත්සවය අවසානයේ රාත්‍රියේදී මහා සංගීත රාත්‍රියක් පැවැත්වීමට සූදානමකි. එහි සමාරම්භයේ සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමට ප්‍රදේශයේ ප්‍රභූන් කීපපොළකට සහ සංවිධායක මණ්ඩලයට හිතවත් ව්‍යාපාරිකයන් කීපදෙනෙක් ආරාධනා ලබා සිටියහ. එම ප්‍රසංගයේ අනුග්‍රාහකත්වයට ඔවුහු දායක වී සිටියහ. 

ඊට සහභාගි වූ එක් ව්‍යාපාරිකයෙක් ප්‍රසංගය අතරතුර වේදිකාව අසල වූ රථවාහන නැවතුම් ස්ථානයේ රැඳී සිටියේය. ප්‍රසංගය වර්ණවත් කරන මල්වෙඩි සංදර්ශනයක් අහස වර්ණවත් කළේ ඒ මොහොතේය. කාගේත් ඇස් අහසට යොමුවෙද්දී මල්වෙඩි හඬ පරදවා ඇසුණු වෙඩි වරුසාවකි.

එකපිට එක නැගුණු වෙඩි වරුසාව පොල්තෙල් පහන දැල්වීමේ අවස්ථාවට සහභාගි වී පසුව වේදිකාව අසල සිටි ව්‍යාපාරිකයා දෙසට එල්ලවෙද්දී ඉන් බේරීමට ව්‍යාපාරිකයා වේගයෙන් දිවගියේ වේදිකාව දෙසටය. අඩි කීපයක් හැර වැඩි දුරක් ඔහුට දුවන්නට හැකිවූයේ නැත. වෙඩි පහර කාගෙන බිම ඇදවැටුණු ව්‍යාපාරිකයාට තවත් ගතේ සවියක් නොවීය. දිවගිය ඔහුට තැබූ වෙඩිපහර කීපයක් ප්‍රසංගය නැරඹීමට පැමිණ සිටි තවත් හතරදෙනකුට වැදී තිබිණි. අවුරැදු සැණකෙළිය දෙවනත් කළ මේ වෙඩි ප්‍රහාරය නිසා භීතියට පත්ව සීසීකඩ දුවගිය ජනතාව අතර වෙඩික්කරුවන්ගේ පලායාම ගැන කිසිවකුටත් මතකයක් නැත.

සංගීත ප්‍රසංගය අතරමැද ආයුධ සන්නද්ධව කඩාවැදුණු වෙඩික්කරුවකුගේ ප්‍රහාරයෙන් වැලි හා පස් ව්‍යාපාරයක නිරතව සිටි ධනවත් ව්‍යාපාරිකයකු මියගොස් පස් මස් ගැබිණියක ඇතුළු තවත් සිව්දෙනෙක් තුවාල ලැබූහ. මේ අතර තොරතුරු වාර්තා වූයේ වෙඩි ප්‍රහාරය සඳහා ආයුධ සන්නද්ධව හතරදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණි බවත් වෙඩි තැබීමෙන් පසුව ඔවුන් යතුරුපැදි දෙකකින් පලාගොස් ඇති බවත්ය. 

දරුණු වෙඩි ප්‍රහාරයට මැදිවී මියගොස් තිබුණේ මීගමආරච්චිලාගේ රත්න දේවප්‍රිය නැමැති 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු බියගම, හෙයියන්තුඩුව, දේවමිත්ත ප්‍රදේශයේ පදිංචි දෙදරැ පියෙකි. සිද්ධියෙන් තුවාල ලැබූ සෙසු අය අතර අත්තනගල්ල හාල්පන්දෙණියේ එච්.පී. සුබසිංහ (56), අලවල කරස්නාගල ඉසුරු ප්‍රගීත් (19), මාතර පස්ගොඩ මංජුල රංගන කරන්නාගොඩ (42), ඌරාපොළ, බෝපැත්ත චාරිකා චමෝදි (24) යන අය වෙති. පිරිස වතුපිටිවල රෝහලට ඇතුළත් කළ පසුව බරපතළ තත්ත්වයේ පසුවූ මංජුල රංගන හා චාරිකා චමෝදි යන දෙදෙනා කොළඹ ජාතික මාරුකර යැවූ බවට රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළේය.

දවස පුරා පැවති අවුරුදු උත්සවය අවසානයේ ත්‍යාග ප්‍රදානය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද සහභාගි වී සිටියාය. අනතුරුව සංගීත ප්‍රසංගය ආරම්භයේ පොල්තෙල් පහන දැල්වීමට පැමිණි විශේෂ ආරාධිත අමුත්තකු වූ හුණුපොළ ප්‍රදේශයේ මෙකී ව්‍යාපාරිකයා ප්‍රසංගය පැවැත්වෙන අතරතුර වේදිකාව ආසන්නයේ රැඳීසිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වී තිබුණි. ඒ වෙලාව රාත්‍රී 11ට පමණ බවට වාර්තා වූ අතර මල්වෙඩි සංදර්ශනය අතරතුර වෙඩි ප්‍රහාරය එල්ල කිරීම ඝාතකයන්ගේ සැලසුම අනුවම සිදුවූවක් බවට පොලීසිය විශ්වාස කරයි. වෙඩි ප්‍රහාරයට ලක්වීම නිසා ව්‍යාපාරිකයා පැමිණි ඩිෆෙන්ඩර් රථයේ වීදුරු සහ වම්පස බඳ ප්‍රදේශයේ වෙඩි පහර 16ක පමණ සලකුණු තිබෙන බවද පොලීසිය වාර්තා කළේය. මේ අතර පොලීසිය පවසන්නේ ව්‍යාපාරිකයා සමඟ පැවති ආරවුලක් ඝාතනයට හේතුව වන්නට ඇති බවය.

සිද්ධිය වූ ස්ථානයේ හිස් උණ්ඩ කොපු කීපයක් වැටී තිබියදී පොලීසිය සොයාගෙන ඇති අතර ඒ අනුව පොලීසිය විශ්වාස කරන්නේ පිස්තෝල හා රිවෝල්වර වර්ගයේ ගිනිඅවිවලින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවය. විශේෂ ආරාධිත අමුත්තකු වශයෙන් සංගීත ප්‍රසංගයට  පැමිණි ව්‍යාපාරිකයා ඝාතනය වන්නට මත්තෙන් සිය බිරිඳ අමතා ලබාගත් දුරකතන ඇමතුමකි.

“මෙම මියුසිකල් එකට ආපු ගමන්... මෙතන ගණේමුල්ල සංජීවගේ ගෝලයා චාමර ඉන්නවා...” යැයි ඔහු අවසන් වරට බිරියට දන්වා ඇතැයි පොලීසිය අනාවරණය කළේය. මේ අනුව සැකකරුවන් පිළිබඳවත් ඔවුන් පැමිණි යතුරුපැදි අංක පිළිබඳවත් තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

මාස කිහිපයකට ඉහතදී වේයන්ගොඩ පාලම ආසන්නයේදී වෙඩිතබා ඝාතනය කෙරුණු පාතාල නායකයකු බව කියන උදම්මිට සමරේ අවුරුදු උත්සවයේදී ඝාතනය වූ ව්‍යාපාරික දේවප්‍රියගේ ළඟ හිතවතෙකි. දේවප්‍රිය විසින් උදම්මිට සමරේට ජීප් රථයක් ලබාදී තිබුණු බවත් සමරේ ඝාතනය වූ පසුව එම ජිප් රථය භාවිත කොට තිබුණේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන ගණේමුල්ල සංජීව නැමැත්තාගේ හිතවතකු බවත් කියති. එම ජිප් රථය කෙසේ හෝ ඉහත කී ව්‍යාපාරිකයා විසින් නැවත ලබාගෙන තිබුණේ බලහත්කාරයෙනි.

ටික දිනකට පසුව ගණේමුල්ල සංජීව දේවප්‍රියට දන්වා ඇත්තේ නැවත ජිප් රථය ලබාදෙන ලෙසත් ඒ සමඟ මුදලින් රුපියල් ලක්ෂ පනහක් ලැබිය යුතු බවත්ය. මේ කප්පම් ගැනීම සංජීව බන්ධනාගාරයේ සිට මෙහෙයවුවද එහි මැදිහත්කරු වූයේ සංජීවගේ ගෝලයෙක් වූ චාමරය. එහිදී දේවප්‍රිය විසින් චාමරට රුපියල් ලක්ෂ දහයක් ලබාදී ඇති අතර ඉතිරි ලක්ෂ හතළිහ දෙන පොරොන්දුවෙන් සිට ඇත. මෙවැනි හේතු කිහිපයක් නිසා ව්‍යාපාරිකයා ඝාතනය වන්නට මත්තෙන් බිරියට දුරකතන මාර්ගයෙන් චාමර පිළිබඳව පවසන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි. උදම්මිට සමරේ ඝාතන සිද්ධියට චාමර නැමැත්තාගේ සබඳතාවක් තිබී ඇති බවට සාක්ෂි ඇති හෙයින් ඔහු ඒ සම්බන්ධයෙන් කලක් බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහරිනු ලැබ සිටියෙකි.

චාමර නැමැත්තා කලකට ඉහතදී දේවප්‍රිය සමඟ පස් හා වැලි ව්‍යාපාරයේ නිරතව සිට ඇත. පසුව ඇතිවූ මුදල් ආරවුලක් නිසා දෙදෙනා විරසකව වෙන්වී සිට ඇත. එදා පටන් දෙදෙනා අතර අමනාපයක් පැවතී ඇති අතර චාමර වරින් වරට දේවප්‍රියගෙන් මුදල් ණයට ලබාගෙන ඒවා නැවත නොදීමේ සිදුවීමද ඇතැයි වාර්තා වී ඇත.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ 2016 වර්ෂයේ දෙසැම්බර් 24 වේයන්ගොඩදී උදම්මිට සමරේ ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවෙක්ට අධිකරණයෙන් ඇප ලැබුණු බවත් ඔහු චාමර යන අය බවත්ය. චාමර හා දේවප්‍රිය දෙදෙනා අතර වූ විරසකයක් ඝාතනයට හේතුව වී ඇති බවද සැකකරු තවත් තිදෙනකු සමඟ පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවද පොලීසිය සැක කරයි.

සිද්ධිය පිළිබඳව නිට්ටඹුව පොලීසිය, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සමඟ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

► සමන්ත ප්‍රදීප් විල්තෙර