පුංචි දරුවන් වැඩිහිටි මිනිසුන් මෙන් නොව සංවේදී සහ අහිංසකම පිරිස වෙද්දී වර්තමානයේ ළමයින් ලිංගික ක්‍රියාකාරකම් ඇතුළු නොයෙකුත් අපයෝජන හා අපචාරවලට ලක්වීමේ ප්‍රමාණතාවයක් පැවැතීම නිතරම මාධ්‍යයෙන් වාර්තා වීම කනගාටුවකි. මේ තත්ත්වය ලොව පුරාම ගැටලුවක් වෙද්දී ලංකාවේ තත්ත්වයද ඊට වෙනස් නොවීම අවාසනාවකි.
ජනමාධ්‍ය ඔස්සේ ළමා අපයෝජන පිළිබඳ තොරතුරු වාර්තා කිරීමත් සමඟ එවැනි සිදුවීම් පිළිබඳව ලැබෙන පැමිණිලි වැඩිවී ඇති බවත් ඒ අනුව වර්තමානයේ ළමයින් ලිංගික කටයුතු සඳහා භාවිත කිරීමේ සහ ඔවුන් අපයෝජනයට ලක්කිරීමේ වර්ධනයක් දකින්නට ලැබෙන බවත් ළමාරක්ෂක අධිකාරිය පවසයි. මෙය සුන්දර ළමාවියට විශාල අනතුරක් මෙන්ම අනාගත සමාජයේ බරපතළ ගැටලුවක් නිර්මාණය කරන්නකි. මෙකී තත්ත්වය දරුවන්ගේ ශාරීරික හා මානසික මට්ටමට මෙන්ම අනාගත සංවර්ධනයටත් සිදුකරන බලපෑම් ඊට හේතුවය.
ළමයකුගේ කායික හෝ මානසික මට්ටමට එරෙහිව ඔහුගේ හෝ ඇයගේ යහපත් කල්ක්‍රියාවට පටහැනිව සිදුකරන කවර ආකාරයේ ක්‍රියාවක් නැතිනම් ඔවුන්ට එරෙහිව සිදුකරන විවිධ ගණයේ අපරාධ වැරදි නොසලකා හැරීම මෙන්ම අයිතිවාසිකම් උල්ලංඝනය වන සියලු ක්‍රියා ළමා අපයෝජන ලෙස අර්ථ දක්වයි.
මේ ආකාරයට ගතවූ 2016 වසරේ නොවැම්බර් මස අවසානය දක්වා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ලැබී ඇති ළමා හිංසන පිළිබඳ පැමිණිලි ගණන 5391කි. මේ අතුරින් බරපතළ ගණයේ අපරාධ 3194ක් සහ සුළු අපරාධ 2197ක් වාර්තා වී ඇත. එම සංඛ්‍යාව අතර ස්ත්‍රී දූෂණ 1582ක් සහ ලිංගික අතවර 1488ක් සිදුව ඇත.
වාර්තා වූ සුළු අපරාධ 2197 අතරට ලිංගික අපචාර 1255ක්, පහරදීම් 505ක්, මෙහෙකාර සේවයේ යෙදවීම 285ක්, ළමයින්ට එරෙහි අසභ්‍ය පළ කිරීම් 6ක්, සිඟමනේ යෙදවීම් 9ක්, තර්ජන කරමින් බැණ වැදීම් 10ක් සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට පත්වීම් 2ක් වාර්තා වී ඇත.
එමෙන්ම සිදුව ඇති බාල අපරාධ 3194 අතරට ස්ත්‍රී දූෂණ 1516ක්, අපහරණය කිරීම් 748ක්, බරපතළ ලිංගික අපහරණය කිරීම් 584ක්, කෘරත්වයට පත්කිරීම් 101ක්, මිනී මැරීම් 23ක් මෙන්ම මැරීමට තැත් කිරීම් 9ක්ද වාර්තා වී ඇත.
ගත වූ 2016 වර්ෂයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත වාර්තා වූ ළමා හිංසන අතර අනුරාධපුර පොලිස් බල ප්‍රදේශයෙන් සිදුවීම් 358ක්, මාතර පොලිස් කොට්ඨාසයෙන් සිද්ධි 227ක්, රත්නපුර කොට්ඨාසයෙන් 324ක් වශයෙන් ද තංගල්ල ප්‍රදේශයෙන් බරපතළ සිද්ධි 143ක්, ගාල්ල කොට්ඨාසයෙන් පැමිණිලි 98ක්, පොළොන්නරැව 95ක්, නුගේගොඩ සහ අම්පාර කොට්ඨාසවලින් සිදුවීම් 88 බැගින්ද කළුතරින් සිද්ධි 82ක් සහ ගම්පහ කොට්ඨාසයෙන් සිදුවීම් 79ක් ද වාර්තා වී ඇත. මේ අතරට අවම සිදුවීම් ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ කොළඹ දකුණ පොලිස් කොට්ඨාසයෙන් වන අතර එහි ප්‍රමාණය 27කි. ඊට බාල අපරාධ 14ක් සහ සුළු අපරාධ 13ක්ද අන්තර්ගතව තිබිණ.
පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ දත්ත සටහන් අනුව 2016 වසරේ ජනවාරි මාසයේදී ළමා හිංසන 447ක්, පෙබරවාරි මාසයේ 511ක් සහ මාර්තු මාසයේ 545ක්ද සිදුව ඇත. අප්‍රේල් මස 466ක්, මැයි 468ක් හා ජූනි මස 576ක්ද, ජූලි මස 524ක් වශයෙන් ළමා හිංසන සිදුවීම් වාර්තා වී ඇත. අගෝස්තු 479ක්, සැප්තැම්බර් 454ක්, ඔක්තෝබර් 473ක් සහ නොවැම්බර් 439 ලෙස ළමා හිංසන ක්‍රියා වාර්තා වී ඇත.
මෙම ළමා හිංසන සිදුවීම්වලට අදාළ 2015 වර්ෂයේ සංඛ්‍යාලේඛන සැසඳීමේදී පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ලැබී තිබූ සමස්ත ප්‍රමාණය 6065කි. එයට ස්ත්‍රී දූෂණ 1582ක් සහ ලිංගික අතවර සිද්ධීන් 1488ක් ඇතුළත්ව තිබිණ. මේ අතර ඉහළම හිංසන ප්‍රමාණයක් වූ 446 අනුරාධපුර පොලිස් කොට්ඨාසයෙන්ද, රත්නපුරයෙන්ද 227ක්, තංගල්ලෙන් 158ක්, මහනුවරින් 230ක් සහ පොළොන්නරුවෙන් 139ක් වශයෙන් වාර්තා විය. එම වසරේ අවම සිදුවීම් ප්‍රමාණය වූ 1ක් වාර්තා කොට තිබුණේ මාන්කුලම් ප්‍රදේශයෙනි. සෙසු පොලිස් කොට්ඨාසවල සිදුවීම් 33ත්, 138ත් අතර ප්‍රමාණයන් වාර්තා වී තිබිණ.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ සංඛ්‍යාලේඛන අනාවරණය කරන පරිදි 2015 වසරේ එම ආයතනයට වාර්තා වූ සමස්ත පැමිණිලි ගණන 10,723කි. ඉන් සිදුවීම් 1463ක් අධ්‍යාපනය අහිමි කිරීම සම්බන්ධයෙනි. මේ අතරට වාර්තා වූ ලිංගික අපචාර ප්‍රමාණය 433කි. එම සමස්ත පැමිණිලි 10,732ක්, 2014 වසරට වඩා සිදුවීම් 417කින් වර්ධනය වී තිබිණ. ඒ අනුව 2014 වසරේ ළමාරක්ෂක අධිකාරිය වෙත වාර්තා වී තිබුණේ සිදුවීම් 10,315ක් බව ළමාරක්ෂක අධිකාරියේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට සහ ළමා රක්ෂක අධිකාරියට මෙවැනි පැමිණිලි රැසක් වාර්තා වුවද විවිධ හේතූන් මත වාර්තා නොවූ සිදුවීම් තිබෙන්නට පිළිවන. එසේ වාර්තා වන ළමා අපයෝජන වර්ග රාශියකි. කායික අපයෝජනය, ලිංගික අපයෝජනය, පහරදීම, ළමයින්ට එරෙහි අසභ්‍ය පළකිරීම්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, සිඟමනේ යෙදවීම, මෙහෙකාර සේවයට යෙදවීම, තර්ජනය කරමින් බැණ වැදීම, ළමයින් වෙළෙඳාම් කිරීම, ඝාතනය කිරීම, ඝාතනයට තැත් කිරීම, අපහරණය, ස්ත්‍රී දූෂණය, බරපතළ ලිංගික අතවරය, කෘරත්වයට පත් කිරීම, අධ්‍යාපනය ලබා නොදීම, මත්ද්‍රව්‍ය ජවාරමට යෙදවීම ආදී ක්‍රියා සුළු අපරාධ වශයෙන්ද බාල අපරාධ වශයෙන්ද වර්ගීකරණය කොට හඳුනාගන්නට පොලීසිය පියවර ගෙන තිබේ.
සියල්ල අතරින් ලිංගික අපයෝජනය ළමා පරපුරේ බරපතළ ගැටලුවක් වශයෙන් හඳුනාගෙන ඇත. එමෙන්ම ළමයින්ට කායික වශයෙන් තුවාල කිරීම, ශාරීරික වේදනාවට පත් කිරීම, සමාජ රෝග වැනි අතුරු අබාධ මෙන්ම මානසික වශයෙන් කාංසාව, ආතතිය, හිසරදය, කෑම අරුචිය වගේම සාමාජයීය වශයෙන් අපහාසයට ලක්වීම, කොන් වීම නිසා තමා පිළිබඳ අවතක්සේරුවට පත්වීම සංකීර්ණ ගැටලු බවට පත්ව ඇත.
වයස අවුරුදු 18ට අඩු සෑම මිනිසකුම ළමා වශයෙන් අර්ථ දක්වන්නට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පියවර ගෙන තිබුණි. ඉන් අදහස් වන්නේ මවුපියවරුන්ගේ මෙන්ම වැඩිහිටි සමාජයේ නිසි රුකවරණය දරුවන් වෙත යොමුවිය යුතු බවය.
වාර්තා වී ඇති සිදුවීම් අතර පවුල තුළ සිදුව ඇති අපයෝජන රැසකි. දරුවන් අතහැරදා යාම, ළඟම ඥාතියකු විසින් ලිංගික අපයෝජනය සිදුකිරීම, දරුවන් පෝෂණය නොකිරීම, පහරදීම සහ මවුපිය සෙනෙහස ලබා නොදීමද ඒ අතරය. පවුලෙන් පිටස්තර ස්ථානවලදී දරුවන් අපයෝජනය ලක්වූ අවස්ථා ගණනාවකි. ඥාතීන්ගේ නිවෙස්වලදී, පොදු ප්‍රවාහන සේවාවේදී, පාසල් වෑන් රථයේදී, මිතුරන්ගේ නිවෙස්වලදී, පාසලේදී සහ නේවාසිකාගාරය තුළදීද එවැනි සිදුවීම් වාර්තා වී ඇත.
ළමයින් අපයෝජන වලින් ආරක්ෂා වීම සඳහා පනත සඳහා ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වන බව අධිකාරිය කියයි. අනාරක්ෂිත හෝ හුදකලා තැන්වල ගැවසීමෙන් වැළකීම, අනාරක්ෂිත බවක් දැනේනම් වහාම එතැනින් ඉවත් වීම, යමෙකුගෙන් අයහපත් බලපෑමක් සිදුවේනම් ඒ බව විශ්වාසවන්ත වැඩිහිටියකුට පැවසීම, යමෙකු අනිසි බලපෑමක් සිදුකරයිනම් අකමැත්ත ප්‍රකාශ කිරීම, හඬ නැගීම, වහාම එතැනින් ඉවත් වීම.
එසේම තමන්ට ගැටලුවක් ඇත්නම් සිය දෙමාපියන් සමඟ එය සාකච්ඡා කිරීම අවශ්‍යය. අපයෝජකයන් මිතුරන් වශයෙන් තෑගි බෝග ලබාදෙමින් මිතුරැකම් ගොඩනගා ගන්නට උත්සාහ ගත හැකි බවද සිහි තබාගත යුතුය. එසේම සමීපතම පුද්ගලයන්ගෙන් ළමයි අපයෝජනයට ලක්විය හැකි බව මතක තබාගත යුතුය. අන්තර්ජාලය භාවිතයේදී තම ඡායාරූප ඊට මුදාහැරීම සහ අන්තර්ජාලයේ හොඳ පණිවුඩ පමණක් ග්‍රහණය කරගැනීමට කල්පනාකාරී විය යුතුය. හොඳ සහ නරක ස්පර්ශයන් පිළිබඳව අවබෝධය ලබාගත යුතුය. වැඩිහිටියන්ගෙන් සිදුවන අපහසුතාවයන් පිළිබඳව කතා කිරීමට බිය හෝ ලජ්ජා නොවිය යුතුය. තම ශරීරය පෞද්ගලික බැවින් එහි අයිතිය ඇත්තේ තමන්ට පමණක් බව මතක තබාගත යුතුය. ජංගම දුරකථන භාවිතයේදී නන්නාඳුනන අංකයන් වෙත ඇමතුම් ලබාගැනීමෙන් වැළකිය යුතුය. යමකු විසින් ළමයින් අපයෝජනයට ලක්කරන්නට උත්සාහ ගන්නේනම් නොපමාව 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා දැනුම් දිය හැකිය. පැය 24 පුරා ක්‍රියාත්මක එම සේවාවට අමතරව 119 පොලිස් හදිසි ඇමතුම් අංකයටද තොරතුරු ලබාදිය හැකිය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අවධාරණය කරන්නේ අපයෝජන හා අපචාර සිදුවීම් නිතිපතා ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය කෙරෙන බවය. නූතනයේ බොහෝ පිරිස් අන්තර්ජාලය ඇතුළු විවිධ ජනමාධ්‍ය පරිශීලනය කිරීමෙන් ඉහළ සාක්ෂරතාවයකට හිමිකම් කියන බවත් ඒ නිසා තොරතුරු නොසඟවා බියෙන් සැකෙන් තොරව වාර්තා කරන්නට පෙළඹී සිටින බවත් අධිකාරිය කියයි.
මේ කරුණු මත පෙරට වඩා තම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දෙමාපියන් අවධානය යොමුකළ යුතුය. දරුවන් සමඟ මනා විශ්වාසයෙන් කටයුතු කිරීමට මව්පියවරු උත්සාහගත යුතුය. තම දරුවන් ආශ්‍රය කරන පුද්ගලයන්, ගැවසෙන ස්ථාන නොගැළපෙන ක්‍රියාවන්ගෙන් වෙන්කොට තැබීමට ක්‍රියා කළ යුතුය. දරුවන් පාසලට ගිය පසුද මව්පියන් ළමයින් පිළිබඳව පෙරට වඩා අවධානයෙන් පසුවීම අවශ්‍යය.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර