ගෙවුණු 2016 වසරේ අග භාගය සේම එළඹුණු 2017 වසරද හම්බන්තොට පුවත් පිට පුවත් මවන නගරයක් බවට පත් විය. හම්බන්තොට පිළිබඳව 2016 වසරේ අග භාගයේ හා 2017 වසර ආරම්භයේද මෙරට පමණක් නොව ජාත්‍යන්තරයද කතාබහට ලක් වූ බව අප කවුරුත් දන්නා දෙයකි.
හම්බන්තොට මැවුණු පුවත් අතර පුවත් දෙකක් පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක් විය. ඒ 2016 වසරේ දෙසැම්බර් මස 10 වැනි දින හම්බන්තොට වරාය සේවකයන් පිරිසක් ආරම්භ කළ වැඩ වර්ජනයක් අතරතුර ඇති වූ සිද්ධියක් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදියෙකුට නාවික හමුදාපතිවරයා පහර දීම හා 2017 වසරේ හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් චීන රජයට විකුණා දැමීමට විරෝධය පළ කරමින් ඉකුත් ජනවාරි 07 දින හම්බන්තොට මිරිජ්ජවිල ඇති වූ උණුසුම් තත්වයේදී භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිස විසුරුවා හැරීමට කටයුතු කිරීමයි.
වැඩවර්ජන පෙළපාලි මැදින් රජය විසින් ආරම්භ කළ කටයුතු නම් කිසිදු බාධාවකින් තොරව සිදු වී ඇති බව බැලූ බැල්මට අපට දැක ගත හැකිය. ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් පාරට ආ පිරිස් හිස් අතින්ම ගෙදර ගියේය. තවත් පිරිසක් ඉල්ලීම් දිනා ගැනීමට ගොස් තුවාල ලබා රෝහල් ගත විය. මේ අතරේ තවත් පිරිසකට රජයේ මහඋළුගෙදරටද යන්නට විය.
හම්බන්තොට ඉදිකිරීමට යන ආයෝජන කලාපය සදහා ඉඩම් අක්කර 15000ක් ලබා ගැනීමට රජය ගෙන ඇති තීරණයත් සමඟින් ඉකුත් 07 දින මහ සඟරුවන ඇතුළු විශාල පිරිසක් පාරට බැස්සද එතෙක් හම්බන්තොටින් ඉඩම් පවරා ගන්නේ මොන මොන ප්‍රදේශවලින්ද යන්න පිළිබඳව හරි හැටි නොකියවුණු බවද අප දනිමු. එය එසේ වුවද ඊට එරෙහිව දැවැන්ත මහජන විරෝධතාවයක් ආයේ කෙසේද යන්න පිළිබඳව සිතා බැලිය යුතුය.
පසුගිය 07 වැනි දින එකම යුද පිටියක් බවට පත් වූ හම්බන්තොට ඇතුළු අවට ප්‍රදේශ කිහිපයකම ඉකුත් දින අප ඇවිද ගියේ එහි වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීමටය. එහිදී අපට අනාවරණය වූයේ මේ සිටින කිසිවකුත් හම්බන්තොට සිදුවෙන සංවර්ධනයට විරුද්ධ නොමැති බවයි. මෙහි සිටින ජනතාවගේ ඉල්ලීම වූයේද හම්බන්තොට සංවර්ධනය කර දියුණුව කරා ගෙන යන ලෙසයි. සැමගේ බලාපොරොත්තුව හම්බන්තොට දියුණු කිරිම නම් විරෝධතාවයක් පැවැත් වූයේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳවද අප ජනතාවගෙන්ම විමසීමු. එහිදී බහුතරයක් වූ පිරිස පැවසුවේ රජයේම වගකිවයුතු පාර්ශව විටින් විට සිදු කළ වගකීම් රහිත ප්‍රකාශ නිසා හම්බන්තොට සිදු කරන්නට යනවාය කියූ සංවර්ධනය පිළිබඳව තමන්ට සාධාරණ සැකයක් මතු වූ බවයි.
එක් පිරිසක් හම්බන්තොට ආයෝජන කලාපයක් ඉදිකිරිමට අක්කර 15000ක් පවරා ගන්නා බව පැවසූ අතර, ආණ්ඩුවේම ඇතැම් අය පැවසුවේ හම්බන්තොට වරාය අවට සියලු ජනයා අතුගා දමා ඒ ඉඩම් ටික ආයෝජන කලාපයක් සඳහා චීනයට විකුණූ බවයි. මේ අතරේ විපක්ෂයේ අයද විටින් විට විවිධ ප්‍රකාශ නිකුත් කරන්නට විය. මේ නිසා ජනයා තුළ ඇති වූ සැකය දුරැ වන්නටත් පළමුව කිසිදු වග විභාගයකින් තොරව කිසිදු මුලික දැනුම්වත් කිරීමකින්ද තොරව එක්වරම ආයෝජන කලාපයට මුල්ගල් තැබීමට කටයුතු කිරීම මේ තත්ත්වයට හේතු වූ බවයි බොහෝ දෙනා පැවසුවේ.
හම්බන්තොට මිරිජ්ජවිල අප කළ සංචාරයේදී ප්‍රදේශවාසීන් පැවසුවේ මෙවන් අදහසකි.
මිරිජ්ජවිල වරාය අසල පාර 123 ග්‍රාම සේවක වසමේ පදිංචි එච්.ටී.ශාන්තසිරි මහතා:
හම්බන්තොට දියුණු කරනවාට අපේ අකමැත්තක් නෑ. අපි කියන්නේ සංවර්ධනය කරනවා කියලා පරම්පරා ගාණක ඉඳන් මෙහි පදිංචිවෙලා ඉන්න අපිව අතරමං කරන්න එපා කියලයි. අනාථ කරලා දමන්න එපා කියලා විතරයි. මම මේ ස්ථානයේ කඩයක් කරගෙන යන්නේ අවුරුදු 20ක විතර ඉඳලා. මේක තමයි මගේ එකම ආදායම් මාර්ගය. ඉතින් එක සැරේටම අපිට කීයක් හරි වන්දියක් දීලා මේ ඉඩම්වලින් එළියට දැම්මම අපි කොහෙද යන්නේ. අනික වන්දිත් අරගෙන මේ ඉඩම්වලින් අයින් වුණාම කියමුකෝ. අපේ රස්සාවලට මොකද වෙන්නේ. දරුවන්ගේ පාසැල් ගමන්වලට මොකද වෙන්නේ. මේ ගමේ කඩයක් කරගෙන ඉන්න මට මේ ගමෙන් අයින්වෙලා වෙන ගමකට ගිහින් කඩ කරන්න ලැබේවිද., ජීවිතේ අන්තිම කාලේ මිනිස්සුත් එක්ක ගහ මරා ගනිමින් ජීවත් වෙන්න අපිට බෑ. ඒ නිසා අපි ඉතා වගකීමෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා අපි මේ පත්ව ඉන්න තත්ත්වය පිළිබඳව සාධාරණව සිතන ලෙසට. මේ ගමෙන් අපි අයින් කරනවා නම් මේ ගමේ ඉන්න අපිට වෙන යන්න තැනක් හදලා දෙන්න. අපිට බෑ වෙන පිටගම් වල ගිහින් නැවත අලුතින් ජීවිතය පටන් ගන්න. අපි උද්ඝෝෂණ කරන්නේ ආණ්ඩු පෙරළන්න නෙමෙයි. මොන ආණ්ඩුව ආවත් අපි ජීවත් වෙන්නේ අපි හම්බකරගන්න මුදල් වලිනුයි. ඒ නිසා අපිට සාධාරණ විසඳුමක් ලබාදෙන්න කියලා විතරයි අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ.
හම්බන්තොට මිරිජ්ජවිල පදිංචි රූපා රංජනී මහත්මිය මෙසේ පැවසුවාය.
අපි පරම්පරා ගාණක් ජීවත් වුණු මේ ඉඩම් එක සැරේටම දමලා නම් යන්න කැමති නෑ. අපි මුළු ජීවිත කාලෙම දුක් විඳලා හදාගත්ත ගෙවල් දොරවල් කොහොමද එක සැරේට අතහැරලා දමන්නේ. අනික තමයි මේ ඉන්නේ ඔක්කොම අපේ අසල් වැසියෝ. අපිට වන්දි දීලා මේ ගම කර්මාන්තපුරයට පවරා ගත්තම අපි යන්නේ කොහෙටද. අපේ ගමේ ඉන්න අයට මොකද වෙන්නේ. හදිස්සියට මඟුලට මරණෙට හිටිය මිනිස්සු ටික නේද මේ අපිට නැති වෙන්නේ. ආණ්ඩුවට කර්මාන්තපුර එකක් බැරි නම් 100ක් දමා ගත්තත් කමක් නෑ. අපි කියන්නේ අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා විතරයි. මේ ගම පවරා ගන්නවා නම් ඒ පිළිබඳව නිවැරදිව අපිව දැනුම්වත් කරන්න. මේ ගම් වල ඉන්න අපිව එක එක පැතිවලට විසිකරලා දමන්නේ නැතිව මේ කොහේ හරි තැනකින් අපි සියලුදෙනාට මේ හිටියා වගේ ඉන්න පුළුවන් තැනක් හදලා දීලා අපේ ගම් අරගන්න කියලයි අපි කියන්නේ. අපි මේ ගමෙන් එළවලා දැම්මම අපිට ගමක් රටක් පළාතක් අහිමි වුණ අය වගේ වෙන පිට ගම් වගට ගිහින් කොහොමද ජීවත් වෙන්නේ. ඇයි රජයේ අය මේවා පිළිබඳව හිතන්නේ නැත්තේ. පිං සිද්ධවේවි අපේ ජීවිත අපායක් කරලා දමන්න නම් එපා කියලා අපි ජනාධිපතිතුමා ඇතුළු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.
හම්බන්තොට මිරිජ්ජවිල වරාය අසල පදිංචි ඒ.ඒ. චන්ද්‍රා විමලරත්න මහතා මෙසේ පැවසීය.
කර්මාන්තපුරයක් හදන්න අපි මේ ඉන්න ඉඩම් පවරා ගන්න යනවා කියලා නිතර නිතර ටීවී එකේ කියනවා නම් දකිනවා. නමුත් තවම නම් අපිට ලිඛිතව දන්වලා නෑ එහෙම. මොනවා වුණත් කියන්න තියෙන්නේ නම් අපිට මේ ගම දමලා යන්න බෑ කියන එකයි. මොකද දැන් අපේ මේ වයසත් එක්ක ආයේ අපි කොහේ යන්නද. මේ ඉඩම් වන්දි දීලා ගත්තත් අපිට වෙන තැනකට ගිහින් ගෙයක් දොරක් හදාගන්න තරම් වාරැවක් නෑ. අනික මේච්චර කාලයක් එකට හිටිය ගමේ අපි කොහේ කියලා යන්නද. හදිස්සියකට මරණෙට මඟුලට දැන් අපිට ඉන්නේ මේ ගමේ මිනිස්සු ටික විතරයි. අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා අපි ඉන්න මේ ගම කර්මාන්තපුරයට ගන්නවා නම් නැවත අපි සියලු දෙනාට එක තැනකින් පදිංචි වෙන්න හදලා දෙන්න කියලා. අපිට බෑ පිටගම්වල ගිහින් ජීවත්වෙන්න කාත් කවුරුවත් නැති උන් වගේ. මම දැන් අවුරුදු 30ක වගේ ඉඳලා කීයක් හරි හොයා ගන්නේ මේ කඩය කරලා. මේ ඔක්කොම නැති වෙනවා වෙන ගමකට ගියාම. මොකද වෙන ගම් වග ගිහින් අපිට කඩ කරන්න ලැබෙන්නේ නෑ.
තවත් බොහොමයක් වූ ජනතාව එක හඬින් කියා සිටියේ ඔවුනට මේ පදිංචි ගම් අත හැර දමා පිට ගම්වලට ගොස් අනාථයන් සේ ජීවත් විය නොහැකි බවයි. ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ මේ ඉඩම් පවරා ගන්නේ නම් සාධාරණ වන්දි මුදලක් ලබා දී ගම්වල සිටින ජනයා ඒ අයුරින්ම වෙනත් ස්ථානයක පදිංචි කරවන ලෙසයි. ආණ්ඩුව එසේ නොකරන්නට ජනතාව රැසකගේ දෛනික රැකියා මෙන්ම ජීවිතද අනාථ වී යන බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ. ඒ අතරේ ඇතැමෙක් පැවසුවේ රජයේ ඇතැම් ඇමැතිවරු ඔය කියන විදියට හම්බන්තොට චීන කොලණියක් බවට පත් කරන්නට යන්නේ නම් අනාගතයේදී චීන ජාතිකයින් ලංකාවෙන් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවටද යාම නොවැළැක්විය හැකි බවයි.
මේ සියලු දෙනාගේ ප්‍රකාශ අතරේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද මේ ඉඩම් හුටපට පිළිබඳව අවස්ථා කීපයකදිම අදහස් පළ කළ අයුරු අපට දකින්නට ලැබුණි. ඒ හැම අවස්ථාවකදීම එතුමන් පවසා සිටියේ හම්බන්තොට තියා මේ රටේ එකදු බිම් අගලක් කිසිවකුටත් නොවිකුණන බවයි.
ජනවාරි 07 ඇති වූ හම්බන්තොට පුංචි යුද්ධය මේ වනවිට හමාර වී ඇතත් එය තවමත් අලු යට ඇති ගිනිසේ පවතින බව නම් බොහොම පැහැදිලිය. පැවති කළහකාරී තත්ත්වය දැන් හම්බන්තොටින් පහව ගොස් ජනතාව සුපුරුදු පරිදි තම දෛනික කටයුතුවල නියැළෙමින් පවතින අයුරුද දැකගත හැකි විය. ඒ කෙසේ වෙතත් රජයේ පාර්ශවයෙන්ද කර්මාන්තපුරය ඉදිකිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරමින් සිටින අයුරුද හම්බන්තොට මිරිජ්ජවිලට ගිය අපට දැකගත හැකිවිය. හම්බන්තොට වරායට යාබදව පැවති රණවිරු ගම්මානය හා රජයේ කජුවත්ත හා එහි වැඩට විත් ඒ අවට පදිංචිව සිටි පිරිස් මේ වන විටත් වන්දි ලබා දී ඉවත්කර තිබේ.
හම්බන්තොට චීනෙට විකීණීම නවතන ලෙස ඉල්ලා පාරට බැස්ස උද්ඝෝෂකයින් පිරිසෙන් 39 දෙනෙකුට එරෙහිව මේ වනවිට පොලීසිට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ. රක්ෂිත බන්ධනාගාරගතව සිටි පිරිසෙන් 10 දෙනෙකුට පමණක් විශේෂ කරුණු කාරණා සැළකිල්ලට ගනිමින් ඉකුත් 16 දින හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා ඇප නියම කෙරිණි. එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප තුන බැගින් සැකකරුවන් දස දෙනාට රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක ඇප නියම විය.
බන්ධනාගාර ගතව සිටි පිරිස බැලීමටද විවිධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද පැමිණි අයුරු අපිද දුටුවෙමු. රට පුරා විවිධ පිරිස් ප්‍රවෘත්ති සාකච්ජාද පැවැත්විණි. දැන් දැන් කරළියෙන් එම මාතෘකාවද ටිකෙන් ටික ඉවත්ව යමින් තිබේ. බන්ධනාගාරගත වුවන්ගේ තනි නොතනියට දැන් ඉතිරිව ඇත්තේ සිය බිරින්දෑවරු හෝ මව්පියන් සහෝදර සහෝදරියන් පමණකි. මේ කටයුත්ත සංවිධානය කළ පිරිස්ද දැන් දැක ගැනීමටද නොමැති තරම්ය. ඒ බව දැන් සියලු දෙනාටම තේරුම් ගොස් ඇති බවද අපට වැටහුණේ අධිකරණයට පැමිණ සිටි පිරිස සමඟ අප කළ කතා බහ නිසාවෙනි.
ජනවාරි 07 දින පැවති විරෝධතාවය සදහා නායකත්වය දී තුවාල ලැබූ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පුජ්‍ය ගලපිටගල පේමරතන හිමි.
හම්බන්තොට සිදුවෙන්න යන මේ මහා ඉඩම් කොල්ලයට එරෙහිව පාරට බැස්සම ඒකට මේ ආණ්ඩුව පිළිතුරු දුන්නේ මැර බලයෙනුයි. හැබැයි මහත්තයෝ අපි මේ රජයේ බලධාරීන්ට බොහොම වගකීමෙන් කියනවා මැර බලයට වඩා ජන බලය ඉතා ප්‍රබලයි කියලා. මේ එකතු වෙලා හිටිය හාමුදුරුවෝ ටික නිකම්ම කිකන් දානේ වළඳලා පන්සල්වලට වෙලා ඉන්න පිරිසක් නෙමේ. ජන බලයක් සහිත පිරිසකුයි මේ. බලයට ආවම සියලු දෙනාට අමතක වෙනවා මොකද්ද හොඳ නරක කියලා.
එදා 07 වැනිදා කළේ නිරායුධව සිටි අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසට පහරදීලා හාමුදුරුවන්ගේ සිවුරු පුච්චලා, ලේ සොලවලා මේ රට විජාතිකයන්ට පාවාදීමයි. ඉතිහාසය දිහා බැලුවමත් රට ආපස්සට යන හැම මොහොතකදිම පෙරට ආවේ හාමුදුරුවරුයි. අපිට පහරදීලා ලේ සොලවලා නම් අපිව බය කරන්න බෑ කියන එක අපි වගකීමෙන් කියනවා. හාමුදුරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය තවමත් මුනිවත රකින ආකාරයක් තමයි අපිට දකින්න තියෙන්නේ. රජය සමස්ත භික්ෂූන්ගෙන් සමාව ගන්නා තෙක් අපි අපේ මේ ගමන නවත්තන්නෙත් නෑ. ඇතැම් ඇමැතිවරු කිව්වා මේ විරෝධතාවය සදහා එක් වුණේ එවෙලෙට සිවුරු පොරවා ගත්ත අය කියලා. අපි ඒ අයටත් කියනවා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න එක් අයෙකු හරි එහෙම එතන හිටියා කියලා. එදාට අපිත් සූදානම් මේ මහණකම දමලා යන්න. ඔය ආණ්ඩුවේ මැති ඇමතිවරු කියනවා වගේ අපි ජනවාරි 07 පාරට බැස්සේ කිසිදු දේශපාලන පක්ෂයකට පක්ෂව හෝ විරුද්ධව නෙමෙයි. අපි පාරට ආවේ රුහුණේ පන්සල් ටික රැකගන්න. මේ හාමුදුරුවරුන්ට යැපෙන්න දානෙ දෙන මිනිස්සු ටික රැකගන්න.ඒ අහිසංක මිනිසුන්ගේ ඉඩකඩම් චීනෙට විකිණීම නවත්වන්න කියන්නයැයි උන්වහන්සේ පැවසූහ.
හම්බන්තොටට සංවර්ධනය ඉතා අවශ්‍ය බව අප හොඳින් දනිමු. ඉන්ද කෝටි ගණනක් මුදල් හම්බන්තොටට ආයෝජනය කර ඇතැත් තවමත් ජන ජීවිත තුළ සැළකිය යුතු මට්ටමේ කිසිදු සංවර්ධනයක් සිදුව නැත. සංවර්ධනයේදි ජන ජීවිත කෙරෙහිද රජයේ අවධානය අනිවාර්යයෙන්ම යොමු විය යුතුය. සංවර්ධනයේ නාමයෙන් ජනතාවගේ ජීවිත අපායක් බවට පත් නොකිරීම බලධාරීන්ගේ වගකීමක් බවද සිහියේ තිබිය යුතුය.
සටහන හා සේයා රූ -
සුරියවැව නුවන් ජයසේකර