මේ දිනවල අධික පරිසර උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන ඉතාමත් පීඩාකාරී තත්ත්වයන්ට එරෙහිව ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම පිළිබඳ අවබෝධයක් ලබාගැනීම වැදගත් වේ. දිගින් දිගටම පරිසර උෂ්ණත්වය ඉහළ යාම හා අනාරක්ෂිත ලෙස හිරු එළියට නිරාවරණය වීමේදී ශරීර අභ්‍යන්තරය හා බාහිරව වෙනස්කම් සිදුවන අතර මේ තත්ත්වය නොසලකා හැරීමෙන් බරපතළ තත්ත්වයට පත්විය හැක. එබැවින් මේ තත්ත්වය අපට නොසලකා හැරිය නොහැක.
සාමාන්‍යයෙන් මිනිසකුගේ ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය 370C පමණ වේ. පරිසර උෂ්ණත්වය වෙනස් වීමෙන් ඇතිවිය හැකි හානිය පාලනය කළ යුතු වේ. නමුත් දිගින් දිගටම අධික පරිසර උෂ්ණත්වයට නිරාවරණය වීම හා ඊට අනුකූලව පැවැත්ම හැඩගස්වා නොගැනීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණපෑමට සිදුවේ. එබැවින් අධික උෂ්ණ කාලවලදී අදාළ ආරක්ෂක පියවර අනුගමනය කළ යුතුය.
අධිකව දහඩිය දැමීමේ ක්‍රියාවලිය මගින් ශරීරයේ උෂ්ණත්වය පෙන්නුම් කෙරේ. එවිට රුධිරය රසායනික වෙනස්කම් සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන් හානියට ලක්වීම සිදුවේ.
අධික සූර්ය රශ්මියට නිරාවරණය වීමෙන් සමට හානි සිදුවේ. සමෙහි කැසීම, දහඩිය බිබිලි මතුවීම, රතුවීම ආදියද, විශේෂයෙන් බෙල්ල, අත් යට, පියයුරු, ගෙල ප්‍රදේශය හා කලවා ආශ්‍රිතව මේ තත්ත්වය වැඩිපුර දක්නට ලැබේ.
ප්‍රමාණවත් පරිදි දියර වර්ග පානය නොකළ විට, හිසරදය, ක්ලාන්තය, අධික පිපාසය දැනීම, තද කහ පැහැති මුත්‍රා පිටවීම වැනි ලක්ෂණද දක්නට ලැබේ. අධිකව දහඩිය දැමීමේදී මස්පිඬු පෙරලීම (Heat Cramps) විශේෂයෙන් උදරය හා අත් පා ආශ්‍රිතවද සිදුවේ. මේ සමඟම වෙහෙසකර බව (Tiredness), මාංශ පේශි දුර්වලතා (Weakness) හා ආහාර රැචිය අඩුවීම සිදුවේ.
ප්‍රමාණවත් දියර ප්‍රමාණ නොගැනීම හේතුවෙන් අධික දහඩිය දැමීමෙන් ශරීරයේ ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් හා අයන සමතුලිතතාවය පවත්වා ගැනීමට අසමත් වේ. දිගින් දිගටම මෙසේ අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් ශරීරයේ උෂ්ණත්වය සපයන ක්‍රියාවලිය අක්‍රිය වේ. එවිට හිසරදය, සිහිමඳ ගතිය (Confusion), ඇස් පෙනීමේ දුර්වලතා (Disturbances), නිදිමත ගතිය, වමනය, හෘද ස්පන්දන වේගය වැඩිවීම වැනි භයානක තත්ත්වයන්ද ඇතිවිය හැක.
මහලු පුද්ගලයන්, විශේෂයෙන් වයස අවුරැදු හැට පහට වැඩි පුද්ගලයන් මෙන්ම වයස අවුරුදු පහට අඩු දරුවන්, හෘද රෝගීන්, දියවැඩියා රෝගීන් හා මානසික රෝග තත්ත්වයන්ට ලක්වූවන්, එළිමහනේ රැකියාවල නියුතු පුද්ගලයන්, දීර්ඝ වේලාවක් හිරු එළියට නිරාවරණය වන ලෙස කාර්යයවල නිරත වන පුද්ගලයන් මෙවැනි තත්ත්වයන්ට පහසුවෙන් ගොදුරු විය හැක.
විශේෂයෙන් කුඩා දරුවන් උෂ්ණත්වයට වැඩි සංවේදීතාවයක් දක්වන අතර අධික පරිසර උෂ්ණත්වයකදී විජලනයට ලක්විය හැක. එසේම සම ආශ්‍රිත ගැටලුවලටද මුහුණදිය හැක.
මේ නිසා මෙවැනි කාලවලදී ජලය වැඩිපුර පානය කිරීම අවශ්‍යය. ශරීරයට සිසිල් බව ලබාදෙන සව්, බාර්ලි, ඉරමුසු, පොල්පලා, තැඹිලි වැනි පානයන්ද, කෝමාරිකා යුෂද පානය කිරීමෙන් ශරීරයේ දහඩිය මගින් පිටවන දියර ප්‍රමාණයට සාපේක්ෂව ශරීරයේ ජල සමතුලිතතාවය පවත්වා ගැනීමට හැකිවේ. එමගින් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල පාලනය කරගත හැකිය. වැදගත්ම කරුණ වන්නේ පිපාසය දැනෙන තුරුම නොසිට දියර පානයට පෙළඹීමයි.
පරිසරයේ උෂ්ණත්වය අධික කාලවලදී, එළිමහනේ සිදුකරන ක්‍රියාකාරකම් හැකි තරම් අවම කරගන්නට උත්සාහ ගැනීමත්, හැකි තරම් පරිසර උෂ්ණත්වය අවම වන කාලසීමාව ඇතුළත කටයුතු සිදුකරගැනීමටත් වගබලාගන්න. විශේෂයෙන් උදෑසන කාලයේදී සහ සවස් කාලය මේ සඳහා යොදාගත හැක. එකදිගට හිරැ එළියට නිරාවරණය නොවීම, වරින් වර විවේක ගැනීම මෙය පාලනය කිරීමට උදව් වේ.
සැහැල්ලු ලා පැහැති කපු ඇඳුම් භාවිත කිරීම මගින් හොඳින් දහඩිය වාෂ්ප වීම සිදුවේ. එමෙන්ම අධික රස්නය දැනෙන විට ස්නානය කරන්න. එළිමහනේ ගමන් කරන විට කුඩයක්, හිස්වැසුමක් හෝ අව්කණ්ණාඩියක් භාවිත කරන්න. මත්පැන් පානය, සීනි අධික පාන වර්ග, තේ, කෝපි අඩංගු උණුසුම් පානයන් සීමාකරන්න. එමෙන්ම උණුවෙන් ආහාර නොගැනීමත්, සලාද වර්ග, පළතුරැ වර්ග වැඩිපුර ආහාරයට එක් කිරීමත් සිදුකරන්න. මේ කාලවලදී හැකි තරම් දියර වර්ග පානය කරන්න.