ඇතැම් දෙනෙකු තුළ වර්තමානයේ දී ඇතිවී තියෙන ගැටලුවක් වන්නේ හිසකෙස් උඳුගොව්වන් කෑම වශයෙන් හඳුන්වන හිසෙහි තැනින් තැන හිස කෙස් ගැලවී යාමයි. එය ලප ආකාරයෙන් පෙනෙයි නම් උඳුගොව්වන් කෑම ලෙස බොහෝ දෙනා හඳුන්වති. මේ තත්ත්වය ඇති වීම ප්‍රධාන හේතුව වන්නේ ප්‍රතිශක්තිකරණයේ පවත්නා දෝෂ තත්ත්වයකි.
බොහෝ දෙනකු දිනපතා හිස පීරීමේදී හිසකෙස් පනාවට ගැලවී යාම මෙන්ම හිසකෙස් සම්පූර්ණයෙන්ම ගැලවී යාමද සිදුවේ. නමුත් මෙය උඳුගොව්වන් කෑම ලෙස හැඳින්විය නොහැක. පොකුරක් ආකාරයෙන් හිසකෙස් ගැලවී යාම උඳුගොව්වන් කෑම ලෙස හඳුන්වයි. මෙහිදී හිස්කබලේ තැනින් තැන ලප ආකාරයෙන් දැකිය හැක. මෙය හිසෙහි පමණක්ම නොව සිරුරේ රෝම සහිත ඕනෑම ස්ථානයක ඇතිවිය හැකි තත්ත්වයකි. විශේෂයෙන් පිරිමින්ගේ රැවුලේ මේ තත්ත්වය ඇති විය හැක. මෙලෙස හිසකෙස් ගැලවී යාම බොහෝ දුරට සිදුවන්නේ රවුම් ආකාරයට හෝ ඕවලාකාර හැටියටය. නමුත් ඇතැමුන්ගේ ඉඳහිට අක්‍රමවත් ආකාරයට ගැලවී යාමද සිදුවිය හැකි වුවද එය ඉතා දුර්ලභව ඇති වන්නකි. එවැනි තැන්වල සියුම් වේදනාවක් වුවද දැනිය හැක. මෙය ඕනෑම වයස් සීමාවේ පසුවන්නත් අතර දක්නට ලැබුණ ද කුඩා දරුවන් අතරේ ද මේ තත්ත්වය බහුලවම දක්නට ලැබේ.
උඳුගොව්වන් සඳහා ආයුර්වේදයේ ඉතා සාර්ථක ප්‍රතිකාරයක් ලෙසින් කීකිරිඳිය යුෂ, එළබටු ආලේපය හැඳින්විය හැකිය. එළබටු ආලේපය සඳහා තරමක් ඉඳුණු එළබටු ගෙඩි තෝරා ගන්න. ඒවා දෙකට කපා එම එළබටු යුෂ උඳුගොව්වන් කෑ ස්ථානයේ ඇතිල්ලීමෙන් හිසකෙස් ගැලවී යාම පාලනය කරගත හැක.
එමෙන්ම කීකිරිඳිය පැළෑටිය වියළා ගන්න. එය හොඳින් කුඩු කර ජලයේ දිය කර හිසකෙස් ගැලවී ගිය තැන්වල ආලේප කරන්න. මීට අමතරව නෙල්ලි කුඩු, ලුණු විල, කීකිරිඳිය ගෙන හොඳින් මිශ්‍ර කර අඹරා ආලේප කිරීම ද උඳුගොව්වන් සඳහා ඉතා සාර්ථක අත් බෙහෙතකි.
වෛද්‍ය ඉනෝකා බෝධිනායක