2018 මැයි 05 වන සෙනසුරාදා

සල්ලි කොළ වට්ටක්කා ගෙඩි දන්සල් දෙක

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 107

ලංකාවේ මිනිස්සු දන්දීමට රුසියෝය. ලොව අනෙකුත් ජාතීන්ට වඩා එකිනෙකාට උදව් කරගන්නා ජාතියක් ලෙස අපට මුළු ලෝකයෙන්ම ප්‍රශංසා ලැබී ඇත්තේ එබැවිනි. පසුගිය වෙසක් සතිය පුරාවටම විවිධාකාරයේ දන්සල් බොහෝමයක් අපට රට පුරා දක්නට ලැබිණි. වෙසක් සතිය පුරාවටම සම්බුද්ධ තෙමඟුලෙහි අසිරිය විඳිමින් ඔබමොබ ගිය සැදැහැවතුන්ට ආහාර පානවලින් සංග්‍රහ කරනු ලබන දන්සල් පැවැත්වීම සාමාන්‍ය දෙයක් වුවද දැනට වසර කිහිපයක සිට වෙසක් දිනයට සමගාමීව අමුතු ආකාරයේ දන්සල්දීම් රට පුරාවටම දැකගත හැකි විය.

ගාල්ල ගල්වඩුගොඩ ප්‍රදේශයේ පැවැත්වූ බුදුපිළිම දන්සල, බණ්ඩාරවෙල කිණිගම ත්‍රිරෝද රථ වෙසක් හයර් දන්සල, මහියංගණය සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ආදී දන්සල් පසුගිය කාලයේදී සමාජයේ කතාබහට ලක්වූ දන්සල් කිහිපයකි.
මෙවර වෙසක් පෝය දිනයේදී එවැනි දන්සල් දෙකක් පිළිබඳ අපට දැනගන්නට ලැබුණේ මාවනැල්ල ලෝල්ලේගොඩ සහ ගලේවෙල මකුළුගස්වැව යන ප්‍රදේශවලිනි.

මාවනැල්ලේ සල්ලි දන්සල ලබාදුන් සබරගමුව හිටපු පළාත් සභා මන්ත්‍රී ඉඳුනිල් ශාන්ත ගුණසේන මහතාගෙන් සහ මකුළුගස්වැව රැපියල් ලක්ෂ 05ක වට්ටක්කා දන්සල ලබාදුන් පී.ජී. ජයවීර මහතාගෙන් මෙම අපූරැ දන්සල් පිළිබඳව අපි කරුණු විමසුවෙමු.

ඉඳුනිල් ශාන්ත ගුණසේන මහතා:

මුලින්ම කියන්න ඕන මම මේක කළේ මගේ පියාට පින් පිණිස. හැමතැනම තියෙන්නේ බත් දන්සල්. ඉතින් මම හිතුවා වෙනස් විදියේ දන්සලක් දෙන්න. ඒ වගේම තමයි මේකට තවත් හේතුවක් වුණා මගේ පොඩිකාලේ මතකයන්. අපි ඉස්කෝලේ යන කාලේ මල්කැලේ පන්සලට පයින් යනවා. ඒ ගිහින් දන්සල් වැඳලා එන්නෙත් පයින්. ඉතින් ඒ වගේ ළමයි දැනුත් කී දෙනෙක් ඇද්ද කියලා මට හිතුණා. ඒ නිසා තමයි මාවනැල්ල ලෝල්ලේගොඩ මගේ ගෙදර ළඟ මේ විදියේ දන්සලක් දුන්නේ. එක් අයෙකුට රුපියල් සීයක් අපි ලබා දුන්නා. ගෙදරකින් පස් දෙනෙක් ආවා නම් ඒ පස්දෙනාටම මුදල් මම ලබා දුන්නා. එන තරම් සියලුම මිනිස්සුන්ට මුදල් දුන්නේ නැහැ. අපි මේක පවත්වන්න කාලයක් වෙන්කරගෙන හිටියා. ඒ වගේම වෙන්කරපු මුදල අවසන් වුණාම දන්සල අවසන් කළා.

ඒ වගේම දන්සල් පෝලිමේ ඉඳලා හැරිලා ගිය මිනිස්සු හිටියේ නැහැ. ඒක මම වගකීමෙන් කියනවා. ඒ වගේම දන්සල දීලා ඉවර වුණාමත් තව දහනව දෙනෙක් ආවා. මම ඒ අයටත් මුදල් දීලා යැව්වා. මේ දන්සලට විරුද්ධව කවුරුත් මගේ ඉස්සරට ඇවිත් චෝදනා කළේ නැහැ. නමුත් මේක හොර සල්ලි දන්සලක් කියලා කොළකෑලි 50ක් 60ක් විතර බිම දාලා ගිහින් තිබුණා. මම දන්නවා ඒවා කළේ කවුද කියන්න. මට කියන්න තියෙන්නේ කාට හරි ගැටලුවක් තියෙනව නම් පුළුවන් ඒ පිළිබඳව පොලිසියට දැනුම්දෙන්න. මම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් නිසා තමයි මට මේ චෝදනාව කරනවා ඇත්තේ. නමුත් දන්න අය දන්නවා මම කවුද කියන්න. අපේ පවුලේ අයගෙත් සහයෝගයෙන් තමයි මම මේ දේ කළේ.

පී.ජී. ජයවීර මහතා:

මම අක්කර පහක් තියෙන ඉඩමේ ලක්ෂ පහක් විතර වියදම් කරලා තමයි වට්ටක්කා වගාව පටන් ගත්තේ. ඒ වුණාට මේ දිනවල වෙළෙඳපොළේ පවතින මිල ගණන් එක්ක ඒවා විකුණගන්න බැහැ. ඒ නිසා මම මුලින්ම කල්පනා කළා වගාව නෙළන්නෙ නැතුව ඉන්න. නමුත් මම පස්සේ කල්පනා කරලා මේ අක්කර පහේම වට්ටක්කා වගාව මගේ මියගිය මව්පියන්ට පිං පිණිස දන්සලක් විදියට දෙන්න තීරණය කළා. ඊට පස්සේ මගේ ගම්මානයේම ඉන්න තවත් ගොවි මහත්තුරු කිහිප දෙනෙක් එක්ක ට්‍රැක්ටර් සහ ලොරි රථවල පටවලා ගලේවෙල, කලාවැව ප්‍රධාන මාර්ගයේ මකුළුගස්වැව මංසන්ධියට ගෙනැල්ලා මේ දන්සල පැවැත්වූවා.

ඒ පිළිබඳව මට ගොඩක් සතුටුයි. ඒ වගේම කියන්න ඕන අපි ජීවත්වන දේවහුව ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම මිනිසුන් ජීවත්වන්නේ ගොවිතැන් කරලා දැන් ගොඩක් අයට ගොවිතැන එපාවෙලා තියෙන්නේ. මමත් ඉදිරි කන්නවල ගොවිතැන් කරන්න බලාපොරොත්තුවක් නැහැ. වෙනත් රස්සාවක් සොයාගන්නවා. ඒ වුණාට මෙවර වන්දනාවේ ආපු බැතිමතුන්ට වගේම අනිත් ජනතාවටත් මගේ ගොවිපොළේ වැවුණු පලදාව ලබාදීපු එක ගැන මම සතුටු වෙනවා.

පෙර වසරවරලදී ලබාදුන් අමුතු දන්සල් අතරට මෙවර මොවුන් ලබාදුන් දන්සල්ද තවත් කාලයක් යනතුරැ සමාජයේ කතාබහට ලක්වනු ඇත. එමෙන්ම තමන් සතු දෙයක් අනුන්ට ලබාදෙන මුළු ලෝකයේම කතාබහට ලක්වන ලංකාව ගැන දන් පින් ආඩම්බරයෙන් කතාබහ කිරීමට හැකියාව ඇත්තේද මෙවැනි පිංකම් හේතුවෙනි.

 හසිත් අංජන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00