“කැබිනට්ටුව ආයෙත් අලුත් විය” බෙන්ස් කාර්වල, මොන්ටෙරෝ ජීප්වල නැඟුණු මැති ඇමැත්තෝ පැරැණි පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී ටිකකින් පිටවුණෝය. ඇතැමකුගේ මුහුණේ තිබුණේ සතුටකි. තවත් සමහරුන්ගේ මුහුණේ තිබුණේ සුපුරැදු පුළුටු බවමය.
.....................
පුංචි ඡන්දෙන් පස්සේ රටවැසියාට සිද්ධවුණේ දවසේ වැඩ කටයුතු සේරම පැත්තකින් තියලා මැති ඇමැත්තන්ගේ නාඩගම් දිහා බලා ඉන්නයි. අලුත් ආණ්ඩුවක්, අලුත් අගමැති කෙනෙක්, අලුත් කැබිනට් එකක් ගැන විවිධ කතා කරළිය පුරා පැතිර යන්න පටන් ගත්තා. විශ්වාසභංගයක් ආවෙත් ඔය අතරේදීමයි. මාස දෙකක විතර තිස්සේ ඒ මේ අත වැනෙමින් තිබුණු ආණ්ඩුව ආපහු ටිකක් කෙළින් වුණේ පහුගිය සතියෙ සිද්ධවුණු කැබිනට් සංශෝධනයෙන් පසුවයි.
හැබැයි මේ කැබිනට් ඇනිල්ල හින්දා ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඉන්නෙත් ලොකු අවුලක බව පේන්න තියෙනවා. සමහර ඇමැතිවරු ප්‍රසිද්ධියේම ඒ ගැන කතා කරන්නත් යොමුවුණා. “කණගාටුව පමණයි” එක්තරා ඇමැතිවරයෙක් කැබිනට් සංශෝධනයටත් පෙරම බුකියේ එහෙම සටහනක් දාලා තිබුණා. ඒත් ඇමැතිවරුන්ටත් කැබිනට් එක තිත්ත වෙද්දී ජනතාවට කැබිනට් එක ගැන කොහොම තිත්ත වෙන්න ඕනද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
ඇත්තටම මේ ආණ්ඩුව තරම් මිනිස්සුන්ට කැබිනට්ටුව තිත්ත කරපු ආණ්ඩුවක් නිදහසින් පස්සෙ තිබුණෙම නෑ කිව්වොත් හරියටම හරි. අවුරුදු තුනක් ඇතුළත ආණ්ඩුව හතර පාරක් විතර කාඩ් කුට්ටම අනනවා වගේ කැබිනට් එක එහාට මෙහාට අනලා එක එක අය පත් කළා. මෙතන හිටපු කෙනා එතැනට දැම්මා. එතැන හිටපු කෙනා මෙතැනට දැම්මා.
අනිත් ලොකුම විහිළුව තමයි විද්‍යානුකූල විෂයන් බෙදීම කියන කාරණේ. ගිය ආණ්ඩුව සීනි ඇමැතිලා පත්කරද්දී හිනාවුණු මේ ආණ්ඩුවේ කට්ටියගෙ වැඩත් ඊට දෙවැනි වුණේ නෑ. මේගොල්ලෝ උසස් අධ්‍යාපනයයි පාරවලුයි එක්කෙනෙක්ට බාරදුන්නා. ඩිජිටල් ඇමැතිකමක් හදලා දීලා හැමතිස්සෙම කන්කෙඳිරිගාන ඇමැති කෙනෙක් බිහිකළා. ඔය වගේ ලිස්ට් එකක්ම ලියාගත හැකි.
මෙදා ගමන කැබිනට්ටුව අනන්න කලින් ජනාධිපතිවරයා කිව්වේ මෙදාපාර සෙල්ලම් බෑ, විද්‍යානුකූලව තමයි හැමදේම කරන්නෙ කියලා. හැබැයි කැම්පස්වලින් පාරවල් ගලවපු එක තමයි වෙනසකට වුණේ. එහෙම නැත්නම් ක්‍රීඩායි පළාත් පාලනෙයි එකට එකතු කළා. වනජීවී එක ප්‍රාදේශීය සංවර්ධනේට පූට්ටු කළා. ඇයි සමාජ සුබසාධන කියලා ඇමැති කෙනෙකුයි සමාජ සවිබලගැන්වීම් කියලා ඇමැති කෙනෙකුයි දෙන්නෙක් ඉන්නවා. තව ග්‍රාමීය සංවර්ධන ඇමැති කෙනෙකුත් ඉන්නවා. අනේ මන්දා!
සිරි ලංකාව වගේ පනස් ගුණයක් ලොකු ඉන්දියාවේ ඉන්නේ කැබිනට් ඇමැතිවරු 27 යි. රටේ තියෙන හැම විෂයක්ම ඒ ඇමැතිවරු 27 දෙනා යටතේ ගොනුකරලා තියෙනවා. ලංකාවේ වගේ රාජ්‍ය ඇමැතිවරු ඉන්දියාවෙත් ඉන්නවා. හැබැයි ඒ කට්ටියව පත්කරලා තියෙන්නේ අර කැබිනට් ඇමැතිවරු යටතේ තියෙන එක එක විෂයන් බෙදලා දීලායි. ඒ හින්දා හරිම ක්‍රමවත්.
සිංගප්පූරුවේ කැබිනට් එකේ ඉන්නේ 19 දෙනයි. ලංකාවේ ඉන්දියාවේ වගේ වෙන විච්චූරණ නැහැ. ඒ 19 දෙනා අතරේ රටේ වැඩ ටික හරි ලස්සනට බෙදලා දීලා තියෙනවා.
ලංකාවේ පොලිටික්කෝ හිතට ගන්න ඕනෙ ලොකුම කාරණේ මේකයි. ඒ තමයි අපේ රට ආසියාවේ විතරක් නෙමේ ලෝකෙම ඉහළ සාක්ෂරතාවක් තියෙන රටක්. කතිරෙ ගහද්දී මොන මොන මෝඩකම් කළත් මිනිස්සු රට ලෝකෙ ගැන දැනුම්වත්. ඒකට ලොකුම හේතුව තමයි සෝෂල් මීඩියා. සිද්ධවෙන දේ විතරක් නෙමෙයි, ඒ ඒ සිද්ධිවලට අනිත් මිනිස්සුන්ගේ අදහස් මොනවද කියලත් දැන් ඕන මනුස්සයෙක්ට සෝෂල් මීඩියාවලින් දැනගන්න පුළුවන්. ඒ හින්දා මිනිස්සු ඉස්සර තරම්ම දැන් ගොබ්බ නෑ.
► ජා