මම මේ තීරු ලිපියේදී මගේ කන්තෝරු මිත්‍රයන් ගැන ලිවීම මඟ හරින්නේ ඕනෑකමිනි. ඊට හේතුව තව ටික කලක් එහි වැඩට යා යුතු හෙයිනි. එහෙත් මෙවර මම සිරිපුර නමැති අප මිත්‍රයා ගැන යමක් ලිවීමට යන්නෙමි.
සිරිපුර වනාහි අනුන්ගේ සිත රිදේද, නොරිදේද යන්න නොසිතා කියන දෙයක් මූණටම කියා දමන ජාතියේ පුද්ගලයෙකි. සමහරු ඊට කැමති නැත. මා නම් ඊට අකමැති ද නැත.
පසුගිය දිනෙක මා සමඟ තේ පානය කරමින් සිටි මොහොතක සිරිපුර මට මෙසේ පැවසුවේය. “තමුසෙගේ කොලම් එක නරකම නෑ... මේ සැරේ මොනවා ගැනද ලියන්න යන්නේ?”
“වෙසක් ගැන”
ඒ ඇසූ සිරිපුර මා දෙස රවා බැලුවේය.
“මේ මම තමුසෙට එක අවවාදයක් දෙන්නම්. ආගම් ගැනයි, දේශපාලකයෝ ගැනයි එක පේළියක්වත් ලියන්ඩ යන්න එපා. ඒක කවදහරි පඩිසන් දෙනවා.”
“ඒක මාර කෙළියක්නේ. ලෝකෙ ඉන්න හැම කොලම්කාරයෙක්ම ඔය දෙකම ගැන ලියනවා. ශාස්තෘවරු ගැන නොලියා ආගම් ගැන ලියන්න පුළුවන්ද? දේශපාලකයො ගැන නොකියා දේශපාලනේ ගැන ලියන්න පුළුවන්ද?
“ඔය දෙකම මහ භයානක මාතෘකා. ඕවා ලිව්වොත් තමුසෙව අහුවෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මෙට.”
“කොහොමත් දැන් කාලේ පත්තර රස්සාව කියන්නේ එහෙම කර්මාන්තයක් තමයි..”
“මේවා විහිළු නෙවෙයි.. තමුසෙගේ ජීවිතෙන් වන්දි ගෙවන්ඩ වෙයි. මතකද සුදු වෑන්?”
මම තිගැස්සුණෙමි. ඊට හේතුව සුදු වෑන් දැන් නැතත් ඒවායේ අයිතිකරුවන් තවමත් ඉන්නා බව කියැවෙන නිසාය. මගේ බිරිය පවා නිතර අවවාද දෙන්නේ මාධ්‍ය නිදහසට කලින් ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කර ගන්නා ලෙසය. එහෙත් මගේ බෝල්පොයින්ට් පෑන නිතරම මුරණ්ඩුය. අකීකරුය. හිත ඇතුළේ කැකෑරෙන දෑ තීන්ත බවට හරවා ගනී. කඩදාසි මත සටහන් කරයි. සිරිපුරට ඒ බව නොවැටහෙයි.
ඔහු යළිත් කතා කරයි.
මම මේ ළඟදි ඉන්දියන් සඟරාවක කතාවක් කියෙව්වා. ඔන්න එක මාධ්‍යවේදියෙක් මළාට පස්සේ දිව්‍ය ලෝකෙට යනවා. ගේට්ටුව ළඟ හිටපු දිව්‍ය ආරක්ෂකයා මිනිහගේ හැඳුනුම්පත බලලා යටි තොළ පෙරළගෙන කල්පනා කරනවා. ඊට පස්සේ මෙහෙම කියනවා. තමුසෙලත් මෙහෙ එන්ඩ ගත්තොත් මෙතන තියෙන කුණු ගොඩවල් අවුස්සලා දිව්‍ය ලෝකෙත් නරකාදියක් කරාවි. ඒ නිසා පව් නොදී ආපු ලෝකෙටම ආපහු යනවා කියලා එලව ගන්නවා.”
සිරිපුර සිනාසෙන්නට විය.
“සිරී හිතන්නේ මාධ්‍යවේදියා කරන්නේ කුණු අවුස්සන එක විතරයි කියලද?”
“මම නෙවෙයි කිව්වේ. දිව්‍ය ආරක්ෂකයා.”
සිරිපුර යළි සිනාසෙන්නට විය. මා දැන් පූර්ණකාලීන මාධ්‍යවේදියෙකු වශයෙන් ආයතන ගත වී නැතත්, “පත්තර කැක්කුම” තවමත් ශරීරගතව ඇත. එහෙයින් මට සිරිපුරයාගේ හොම්බට දෙකක් අනින්නට සිතුණි. (එහෙත් එවිට කිසිදු සංගමයක් මා වෙනුවෙන් පොලීසි යන්නට නොඑන බව හැඟුණෙන් දහයට ගැන සන්සුන් වීමි.)
ඒ කෙසේ වෙතත් මාධ්‍ය ගරුත්වය උදෙසා මා ඉදිරිපත් විය යුතුය. මොනවා නැතත්, අපට ආචාර ධර්ම පද්ධතියක් ඇත.
“සිරිපුර... පුවත්පත කියන්නේ දෙවැනි ආණ්ඩුවක්. ජනමාධ්‍යයට පුළුවන් රටක ආණ්ඩුවක් පෙරළන්න.” මම ආවේගාත්මකව කියා සිටියෙමි.
“යාළුවා. ඔය දෙකම ඕන නෑ. තමුසෙලා ඔය තරම් බල පුළුවන්කාරයෝ නම්, මේ ඇමති මණ්ඩල හැදිල්ල නවත්තලා දෙනවකො.”
එය සිනාසිය යුතු විහිළුවක්ද නොඑසේනම් මුළු රටේම අවඥාවට ලක් වී ඇති සීරියස් මැටරයක් ද යන ගැටලුව මැද මම මොහොතක් කල්පනා කරමින් සිටියෙමි. අවසානයේදී පිළිතුරක් සිතට ආවේය.
“කාඩ් කුට්ටම කොහොම ඇනුවත් අන්තිමේට තෝරගන්නෙත් කුට්ටමේම කොළනේ.”
“හරියටම හරි. අනන්නෙවත් නැතුව ඔය කුට්ටම පිටින්ම මකර කටට ගිහින් දාන්න තමයි තියෙන්නේ.”
සිරිපුරට ද සිනා ගියේය. කතාව ඇසුණු මගේ බිරිය මුළුතැන්ගෙයි සිට ඉදිරියට දිව ආවාය.
“හානේ මොනවද මේ කියන පව්කාර කතා. තාම වෙසක් සතිය ඉවරත් නෑ.”
“නෑ නෑ.. අපි මේ කතා කෙරුවේ කාඩ් කුට්ටම ගැන.”
බිරිඳ ආපසු ගියාය. ඉන්පසු අපි දෙදෙනා ඇත්තටම කාඩ් කුට්ටම ගැන කතා කරන්නට ගතිමු.
අපේ ජනවහරට අනුව නම්, කාඩ් කුට්ටම යනු බූරු කුට්ටමය. කාඩ් ක්‍රීඩාව, බූරු ගැහීමය. බූරු පොළවලට පනින පොලිස්කාරයන්, බූරු ක්‍රීඩකයන්ට තඩි බා ජීප් රථයට දමා ගනිති.
කාඩ් කොළවලට ද ශ්‍රී ලාංකික නම් පටබැඳ ඇත. හාරත, ඉස්කෝප්ප, රුවිත හා කලාබර යනු ඒ නම්ය. ඔවුන් අතර ඉස්කෝප්ප රැජිනක් මෙන්ම හාරත ආසියාලා ද සිටී. ඇමති මණ්ඩලයේ ද මේ සියල්ලෝ එක එක තානාන්තර නාමවලින් සිටිති.
බූරු කුට්ටමට ඒ නම වැටුණේ එය බූරැවන්ගේ ක්‍රීඩාවක් නිසා නම් නොවේ. ලංකාවට ගෙන්වා සිටි බෝයර් සිරකරුවන්ට කාලය ගත කිරීම සඳහා ලබා දුන්නක් බැවිනි. කාඩ් කුට්ටම, බෝයර්ලාගේ සෙල්ලම නොහොත් බූරු ක්‍රීඩාව යැයි නම් වැටුණු බවට කතාවක් ඇත. ඒ කෙසේ වෙතත් කකුල් දෙකේ බූරුවන් මෙන්ම පකිස් බූරුවන් ද අද බූරු ගසන බව රහසක් නොවේ. එසේම, අද ලංකාවේ බෙහෙතකටවත් බෝයරයකු සොයා ගැනීමට නැත. එහෙත් රට පැටවීමටත් ඇති තරමට බූරුවෝ නම් සිටිති.
මෙසේ නානාප්‍රකාර දෑ කතා කරමින් සිටි සිරිපුර ආපසු යාමට සූදානම් විය. මා සමඟ දොරකඩ වෙත යන අතරේ ඔහු මෙසේ ඇසීය.
“මොකද්ද තමුසේ වෙසක් ගැන ලියන්න යනවය කිව්වේ. රුවන්වැලි සෑයේ ආලෝක පූජාව ගැනද?”
“අනේ නෑ. මම ඔය ලෙඩ දාගන්ඩ යන්නේ නෑ. අනික, හදිස්සියකට සල්ලි කීයක් හරි ඉල්ලගන්ඩ තියෙන තැන් තරහා කරගෙන පුළුවනෑ.”
“එහෙනම් මොනවද ලියන්න යන්නේ... දන්සල් ගැනද?”
“නෑ... වෙසක් ඝෝෂාව ගැන?”
“ඒ මොකද්ද?”
“කිසිම උත්සව කාලෙකට නැති තරම් ඝෝෂාවක්නේ දැන් වෙසක් දවස් ටිකට තියෙන්නේ. පන්සලෙත් ස්පීකර් දන්සලෙන් ස්පීකර්. තොරණෙත් ස්පීකර්. ඒ මදිවට වෙසක් කලාප. ඒවා නිකං නිදහස් වෙළඳ කලාප වගේ. අපිට කනක් ඇහිලා බණක් භාවනාවක් කරගන්න විදිහක් නෑ.”
“එහෙමත් තියෙද්දිද අයිසේ මේ සමහරු බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්නය කියන්නේ?”
සිරිපුර “බූරු හිනාවක්” පා පිටතට බැස්සේය.
► කපිල කුමාර කාලිංග