2018 මැයි 05 වන සෙනසුරාදා

මහ රැජිනටත් රිදී කැටයම් හැදු නිශාන්ත කුමාර

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 268

දන්තුරේ ගම්මානය රටතොට ප්‍රසිද්ධ වූයේ කන්ද උඩරට රාජධානියේ පළමුවැන්නා ලෙස සැළකෙන පළවෙනි විමලධර්මසූරිය රජු, පරංගින්ට හොඳ හැටි බැටදුන් දන්තුරේ හටන නිසා ය. එහෙත් පසුගියදා අපි දන්තුරේ බලා ගමන් ගත්තේ වෙනස්ම කාරණාවකට ය. පිළිමතලාවෙන් හැරී දන්තුරේ පාරට වැටී කිලෝමීටර කිහිපයක් ඉදිරියට ඇදුණු අපි ගිරාගම තේ කම්හල පසුකර මඳ දුරක් ඉදිරියට ගොස් ගමනාන්තයට ළඟා වීමු. අපේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි ‘ඔහු’ හනිකට තමා කර කර හුන් වැඩ ද දමා ඉදිරියට දිව ආවේය. 

ඔහු නමින් ‘අලුත්ගම ගෙදර ශ්‍රී දන්ත ධාතු මකරද්වජ පරාක්‍රම අසරණ සරණ සවූත්තරී ස්වර්ණතිලක නවරත්න මුදලිදවුණ්ඩ පාලාගම ගෙදර උපුල් නිශාන්ත කුමාර ජයසිංහ’ ය. බොහෝවිට කෙනකුගේ නමකට ඇත්තේ නම් කොටස් තුන හතරකි. එහෙත් උඩරට පරම්පරාගත මිනිසුන්ගේ නමකට නම් කොටස් හයක් හතක් තිබීම තරමක් සාමාන්‍ය කරුණකි. නමුත් අපේ කථානායකයා වන නිශාන්ත කුමාර මහතාගේ නම දිගුවීමට හේතුව විශේෂ එකකි. ඒ ගැන අපි පසුවට කතා කරමු. 

නිශාන්ත කුමාර ජයසිංහ යනු පාරම්පරිකව රිදී කැටයම් කලාවට යොමුවූවෙකි. තම පියාගේත්, විශේෂයෙන්ම පියාගේ මලණුවන්ගේත් ආභාසය අනුව රිදී කැටයම් කලාවට පිවිසි ඔහු අද සම්මානලාභී දක්ෂ කලාකරුවෙකි. ඉකුත් දිනක සංචාරක මාර්ගෝපදේශකයන්ගේ රැස්වීමකට කොළඹ පැමිණි අවස්ථාවකදී මුණගැසුණු ඔහු, දන්තුරේට පැමිණෙන ලෙස ආරාධනයක් කළේය. දන්තුරේ බලා ගිය මේ ගමන එහි ප්‍රතිඵලයයි. 

නිවස අසලම ඉදිකර තිබූ කුඩා ප්‍රදර්ශනාගාරය පිරී තිබුණේ ඔහුගේ දෑතින් මැවුණු රිදීමුවා විස්කම්වලිනි. අලංකාර කැටයම්වලින් නිමැවුණු පාත්‍ර, කෙණ්ඩි, කුඩා මංජුසා, ආභරණ බහාලුම්, කරඬුව රැගත් ඇත් රූප ආදී බොහෝමයක් දෑ ඒ අතර විය. දෑතේ හුරුව ඇත්තකුට පමණක්ම කළ හැකි ඒ නිර්මාණ එකින් එක පරීක්ෂා කිරීමෙන් අනතුරුව අපි කතාබහට අවතීර්ණ වූයෙමු. 

“සීයලා මුත්තලාගෙ ඉඳන් අපේ පරම්පරාවේ හැමෝම රිදී කැටයම් කරපු අය. අපේ තාත්තයි බාප්පයි දෙන්නම කළෙත් රිදී වැඩ. ඉතින් පොඩි කාලෙ ඉඳන්ම මේ පැත්තට හුරුවක් තිබුණා”

පාසල් අධ්‍යාපනය හමාර කළ නිශාන්ත ද පවුලේ ආභාසය අනුව රිදී කැටයම් කලාව තෝරාගත්තේ ය. නමුත් ඒ වනවිට ඔහුගේ පියා රිදී කැටයම් කිරීම නවතා දමා තිබුණු නිසා ඔහුට වැඩ ඉගෙන ගන්නට සිදුවුණේ බාප්පාගෙනි. 

අතීතයේදී රිදී භාණ්ඩ යනු තම වත්පොහොසත්කම පෙන්වීමට ගෙදර දොරේ ප්‍රදර්ශනයට පෙනුමට තැබීමට ගත් දෙයකි. එහෙත් කාලයත් සමඟ එය වෙනස් වී තිබේ. නිශාන්ත පෙන්වාදෙන ආකාරයට අද පාරිභෝගිකයන් උත්සාහ කරන්නේ වටිනාකම පමණක් නොව එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකි දෙයක් මිලට ගැනීමට ය. 

“දැන් ගොඩක්ම විකිණෙන්නෙ බන්දේසි වගේ ඒවා තමයි” ඔහු කියන්නේය. 

ඊට අමතරව සමරු තිළිණ ලෙස ද රිදී භාණ්ඩ මිලට ගැනීමට බොහෝ දෙනා හුරුවී සිටිති. අලංකාර රිදී කැටයමින් සැරසුණු එවන් නිර්මාණ ඇතැමුන් මිලට ගන්නේ රුපියල් ලක්ෂ ගණන් මුදල් ගෙවමිනි. 

රිදී කැටයම් කලාව හා උඩරට කලා සම්ප්‍රදාය අතර ඇත්තේ ද අවියෝජනීය බැඳීමකි. කැටයම්වලට ගන්නේ ද උඩරට කැටයම් කලාවේ නිතර දකින්නට ලැබෙන දර්ශන ය. එසේත් නැත්නම් උඩරට පන්සල්වල ඇති සිත්තම් ය. 

“මම එකපාරක් කොළඹ ඉන්න හාමුදුරු නමකගේ පුටුවකුත් කැටයම් දාලා රිදියෙන් හැදුවා” ඔහු අදාළ හිමි නමගේ නම ද කීය. පසුව අන්තර්ජාලය ඔස්සේ එහිමියන් හිඳ සිටින ආසනය දෙස බැලීමේදී ද එහි අලංකාර කැටයම් කවා තිබෙනු දැකිය හැකි විය. 

කන්ද උඩරට රාජධානිය යනු තවමත් සිය අතීත ශ්‍රී විභූතිය ආරක්ෂා කරගත් ප්‍රදේශයක් බව කාගේත් පිළිගැනීම යි. එවන් ශ්‍රේෂ්ඨත්වයක් කන්ද උඩරටට ලැබෙන්නට ප්‍රධාන හේතුවක් වන්නේ දන්ත ධාතූන් වහන්සේ වැඩහිඳීම බව අමුතුවෙන් කිව යුතු නැත. 

“දැනට දන්ත ධාතූන් වහන්සේ වැඩ ඉන්න ඇතුළත රන් කරඬුව හදලා තියෙන්නෙත් අපේ පරම්පරාවේ කෙනෙක්. ඒ කියන්නෙ මගේ මුත්තා කෙනෙක්. ඒක ගැන සතුටු වෙච්ච රජ්ජුරුවෝ අපේ මුත්තට වතුපිටි දේපොල බොහෝමයක් තෑගි කළා කියලත් අපේ සීයා කියනවා මං අහලා තියෙනවා” 

වතුපිටි දේපලවලට අමතරව තානාන්තර පදවි සහ ගෞරව නාම ද රජවාසලෙන් ලැබී තිබේ. නිශාන්ත මහතාට උරුමව තිබෙන දිගු පෙළපත් නාමයට හේතුවී ඇත්තේ ද මෙසේ ලැබුණු ගෞරව නාමයන් ය. 

විදෙස් රටක සිට මෙරටට පැමිණෙන රාජ්‍ය නායකයන්ට හා දූත පිරිස්වලට සමරු තිළිණ ප්‍රදානය කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එනිසාම නිශාන්තලාගේ රිදී කැටයම් අද වනවිට ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රමුඛ බොහෝ අමාත්‍යංශ ඇතුළු රජයේ ආයතනවලට නැතිවම බැරි දෙයක් බවට පත්ව තිබේ. 

“මම විදේශ කටයුතු අමාත්‍යංශෙට මගේ නිර්මාණ දෙන්න පටන් අරන් දැන් අවුරුදු විස්සකටත් වැඩියි”

එසේ ඔහුගේ නිර්මාණ ලබාගත්තවුන් අතර බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජන ද සිටී. එමෙන්ම ලංකාවේ හිටපු අ‍ෙමරිකානු තානාපතිවරයකු වූ රොබට් ඕ. බ්ලේක් ඇතුළු බොහෝ තානාපතිවරුන් වෙත ද විදෙස් අමාත්‍යංශය හරහා මේ රිදී නිර්මාණ ලැබී තිබේ. 

ලංකා පොළොවෙන් රිදී හෙවත් සිල්වර් හමුවන්නේ නැත. රිදී ආනයනය කරන්නේ සිංගප්පූරුවෙනි. එහෙත් බොහෝ වේලාවට රිදී හමුවන්නේ අනවසරයෙන් ගෙන්වූ රිදී රේගුව මගින් අත්අඩංගුවට ගත් පසු ය. නිශාන්තලා වැනි රිදී නිර්මාණ ශිල්පීන්ට ඒවා බැංකු හරහා ලබාගැනීමේ හැකියාව ඇත. ඊට අමතරව පරණ නිවාසවල ඇති රිදී භාණ්ඩ උණු කිරීමෙන් ද අලුත් නිර්මාණ සඳහා රිදී ලබාගනී. 

රිදී මනිනු ලබන්නේ ටෝලා වලිනි. ටෝලා එකක් යනු ග්‍රෑම් 11.65කි. රිදී ටෝලා එකක මිල රුපියල් 1300ක් පමණ වේ. ඩොලරයේ මිල ඉහළ පහළ යෑමත්, ලෝක වෙළෙඳපොළේ රිදී මිල ගණන්වල වෙනසත් මත ටෝලා එකක රුපියල් අගය වෙනස්විය හැක. 

රිදී නිර්මාණයක් කිරීමේ පළමු පියවර වන්නේ රිදී උණු කරගැනීමයි. ඒ සඳහා භාවිත කරන්නේ පොල්කටු අඟුරුවලින් තනාගන්නා කුඩා උඳුනකි. විනාඩි විස්සක පමණ කාලයක් රත් කරගැනීමේදී රිදී, වතුර මෙන් දිය බවට හැරේ. ඉන් අනතුරුව ගොමවලින් තැනූ විශේෂ සාන්ද්‍රණයක් ඇති ඇතිලියකට රිදී වත් කරනු ලැබේ.

ඊළඟ පියවර වන්නේ රිදී හරි ගාණට තලා ගැනීමයි. තලන ලද රිදී කැබැල්ල මත මතුපිට පැන්සල් ඉරි මතින් කැටයම් ලකුණු කරගනු ලැබේ. කැටයම් කැපීම සිදුවන්නේ ඉන් අනතුරුව ය. ඒ සඳහා ද විශේෂයෙන්ම සකසා ගන්නා ලද කටු වර්ග කිහිපයක් භාවිත කෙරේ. 

මෙසේ නිර්මාණය කරගන්නා රිදී නිර්මාණයක් ජීවිත කාලයක් පුරාවට පමණක් නොව පරම්පරා ගණනක් වුවද කිසිදු හානියකින් තොරව තබාගත හැකි බව නිශාන්තගේ අදහසයි. පිත්තල භාණ්ඩවල පැහැය කාලයත් සමඟ දුර්වර්ණ වුවද රිදී භාණ්ඩවල එවැන්නක් සිදුවන්නේ නැත. මුල් සුන්දරත්වය අවුරුදු ගණනාවකට පසු වුවත් එලෙසම දිස්වෙයි. 

“දැන් මේ කර්මාන්තෙ අභාවයට යමින් තියෙන්නේ. අලුතින් කවුරුවත් මේවා ඉගෙන ගන්න යොමුවෙන්නෙත් නෑ. මේවා රැකගන්න ආණ්ඩුවෙන් උනන්දුවකුත් නෑ. නැත්නම් ටුවරිස්ට්ලාට මේවා පෙන්නලා ගොඩක් ලොකු විදේශ විනිමයක් ගෙන්න ගන්න තිබ්බා” සමුගන්නා මොහොතේදී නිශාන්ත කීවේ එවැන්නකි. 

අපට රිදී නැතිවුණත්, රැකගන්නට රිදී කැටයම් කලාවක් අප සතු ය. දේශීයත්වය මුසු කරගත් රිදී කැටයම් කලාව හෙට දවසේ උරුමයක් කරගැනීමට පමණක් නොව නිශාන්තලා කියන හැටියට ඒවායින් හොඳ විදෙස් විනිමයක් උත්පාදනය කරන්නට ද පුළුවන්කමක් තිබේ. අවශ්‍ය වන්නේ නිසි ඇගයීමක් හා අවධානයක් පමණි. 

► සටහන - රජිත ජාගොඩ ආරච්චි
සේයාරූ - සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00