2018 මැයි 12 වන සෙනසුරාදා

වස විස නැති වී කිලෝ කෝටියේ අස්වැන්න ගත්ත හැටි

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

“රජය මඟින් 2016 මාර්තු මස 07 වැනිදා වස විස නැති රටක් - තුන් අවුරුදු ජාතික සැලැස්ම” යන නමින් වැඩසටහනක් එළිදැක්වූවා. මෙය ජනාධිපති කාර්යාලය හා කෘෂිකර්ම අමාත්‍යංශය එක්ව සම්පාදනය කළා. එහි ලංකාවේ ගොවිතැන රසායනික භාවිතයෙන් තොරව ජෛව විද්‍යාත්මක ක්‍රමයට කිරීමේ ක්‍රමයක්ද හඳුන්වා දුන් අතර එය ඉලක්ක කරගෙන ගිය වසර දෙක පුරා වැඩපිළිවෙළක්ද දියත් කළා...” යැයි සෙමා ආයතනයේ සභාපති අශෝක් අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

මේ අනුව ප්‍රධාන වශයෙන් රජයේ අවධානය වී වගාවට යොමුව තිබුණි. ලංකාවේ බොහෝ වගාවන් අතර වී වගාව ප්‍රමුඛ වූ අතර වගා කිරීමේ අපහසුතාවයත් සමඟ එයට අවධානය වැඩිවිය. ඒ අනුව ක්ෂේත්‍රයේ ගොවීන් පන්දහසක් සමඟ කන්න හතරක් මුළුල්ලේ රසායනික පොහොර නොමැතිව ජෛව විද්‍යාත්මක පොහොර භාවිතයෙන් මෙය අත්හදා බැලිණි.

එම අස්වැන්නට ඊළඟ කන්නෙට අඩු වියදමකින්, අඩු මහන්සියකින් හොඳ අස්වැන්නක් ගත හැකි බවට ඔප්පු කර තිබුණි. මේ වනවිට එම ගොවීන් පන්දහසම කෘෂිකර්ම අමාත්‍යංශය සමග ස්ථීරවම සම්බන්ධව සිටිති. මෙම ගොවීන් පසුගිය වකවානුව තුළ වී කිලෝ කෝටියක් නිෂ්පාදනය කර ඇති අතර එයින් කිලෝ ලක්ෂ හැටක සහල් ප්‍රමාණයක් මේ වනවිට වෙළෙඳපොළට මුදාහැර ඇත. එය “වස විස නැති” ලේබලය යටතේ වෙළෙඳපොළේ අලෙවි වෙයි. මේ කන්නයේදී සහල් නිෂ්පාදනය කිරීමේදී රසායනික පොහොර භාවිතා කර නොමැති බවට සහතිකයක්ද ඒ සමඟ නිකුත් කර ඇත.

“නමුත් මෙම සහල්වල කිසිම රසායනිකයක් නැහැම කියලා අදහස් වෙන්නේ නැහැ. එයට හේතුව වන්නේ ඊට පෙර කන්නවලදී භාවිත කළ රසායනික පොහොර හෝ ජලය සමඟ එකතු වූ රසායනික පොහොර මඳ වශයෙන් හෝ තිබිය හැකි වීමයි. නමුත් මෙම කන්නයේදී කිසිදු රසායනික පොහොරක් භාවිත කර නොමැති බව අපි සහතික කරලා තිබෙනවා. ගිය වසරේ මහ කන්නයේදී අස්වනු නෙළන අවස්ථාවේදී කෘෂිකර්ම ඇමතිතුමාට මෙම අස්වනු නිරීක්ෂණය කරන්න ආරාධනා කළා. එතුමා තවත් නිලධාරීන් පිරිසක් සමග ගොස් මේ ප්‍රතිඵල බැලුවා. එවිට ඉතා හොඳ ප්‍රතිඵලක් ලැබී තිබුණා...” අශෝක් අබේගුණවර්ධන පැවසීය.

මේ සම්බන්ධව කෘෂිකර්ම නිලධාරීන්ගෙන් ඔවුන් කළ විමසීමේදී හොඳ අස්වැන්නක් ලැබී තිබුණද එයට යොදා තිබූ පොහොර සම්බන්ධ ඔවුන් තුළ යම් ගැටලුවක් මතුවිය. එබැවින් ජනාධිපති කාර්යාලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ඊළඟ මහ කන්නයේදී මෙය සොයාබැලීම පෙර සිටම කළයුතු බවට උපදෙස් ලැබුණි.

ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නායකත්වයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආශ්‍රිතව ඇති ඒ පර්යේෂණ මධ්‍යස්ථාන නතර තුළදී ආදර්ශ පහක් වෙන්වුණි. එකම භූමියේදී එක නියැදියක් රසායනික පොහොර යෙදීමෙන්ද, අනෙක් නියැදිය ජෛව විද්‍යාත්මක ක්‍රමයටද වගා කෙරුණි. මේ වනවිට එහි ප්‍රතිඵලය ලැබී තිබිණි. ඒ අනුව එම ආදර්ශන පහෙන් ආදර්ශ තුනක ජෛව විද්‍යාත්මක ක්‍රමයට වගාකළ කොටස්වල අස්වැන්න වැඩි වී තිබුණි. එක් කොටසක සමාන වූ අතර අනෙක් කොටසේ රසායනික පොහොර යෙදූ අස්වැන්න වැඩිවී තිබුණි. සමස්තයක් ලෙසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද ජෛව විද්‍යාත්මක පොහොර සම්බන්ධව සාර්ථක ප්‍රතිඵලක් ලැබුණි. එයට සමාන්තරව මෙම මහ කන්නයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ පර්යේෂණ කටයුතු කරනු ලබන ගොවීන් දෙසීයක් සමඟ ලංකාවේ දිස්ත්‍රික්ක නවයක් ආවරණය වන පරිදි ක්ෂේත්‍රෙය්ත් ගොවීන්ගේ නියැදිවලදී ද මෙම පර්යේෂණය සිදුකෙරුණි.
එහි ප්‍රතිඵලය අනුවද එම දිස්ත්‍රික්කවලින් තෙත් කලාපයේ දිස්ත්‍රික්කවලදී ජෛව විද්‍යාත්මක ගොවිතැන රසායනික ගොවිතැනට වඩා ඉදිරියෙන් සිටී. වියළි කලාපයේ දිස්ත්‍රික්ක හයෙන් දිස්ත්‍රික්ක තුනක රසායනික ගොවිතැනේ අස්වැන්න වැඩිවූ අතර අනෙක් තුනෙහි ජෛව විද්‍යාත්මක ගොවිතැනේ අස්වැන්න වැඩිවිය.

“මේ අනුව රසායනික පෙහොර නැතිව වුවත් හොඳ අස්වැන්නක් හෝ සමාන අස්වැන්නක් ලබාගත හැකි බව ඔප්පු වුණා. වියදම් පරීක්ෂා කිරීමේදීද වියදම අඩුයි. මේ සම්බන්ධව ඊළඟ කන්නයේදී හොඳ අස්වැන්නක් ලබාගත නොහැකි වන බවට සමාජයේ මතයක්ද තිබුණි. නමුත් එය අසත්‍යයක්.” අශෝක මහතා දේශයට පැවසීය.

මේ සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදනයද තවත් වැඩපිළිවෙළකි. ඉතා නිවැරදි පෝෂ්‍ය පදාර්ථ යෙදූ පොහොර පමණක්ම නොව ඒවා ශාකයට උරාගත හැකි පරිදි උදව් කරන ක්ෂුද්‍ර ජීවීන් ඇතුළත් කට්ටලයක්ද නිෂ්පාදනය කර ඇත. මේ සම්බන්ධ සහ පොහොර සහ දියර පොහොර ලෙසින්ද කොටස දෙකකට වෙන්කර ඇත. ශාඛයේ වර්ධන අවස්ථාවේදී ශාකයට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් වෙනස් වේ. ඒ අනුව ජෛව විද්‍යාත්මකව එයද සකස් කර ඇත.

“මෙම වසර දෙක තුළ රජයේ රසායනික පොහොර සහනාධාර ගොවි සහනාධාර ලෙසින් මුදලින් දුන් නිසා ගොවීන්ට අපේ වැඩපිළිවෙළ හා සම්බන්ධ වී කරගෙන යාමට නිදහස තිබුණා. රජයෙන් පොහොර සහනාධාර පොහොර ලෙසින් දීමට තීරණය කිරීමේදී යම් ලෙස ව්‍යාකූලතාවයක් ඇතිවුණා.... ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය ඉදිරියේදී එම කන්නයේදීත් රසායනික ක්‍රමයට නැතිව අනෙක් ක්‍රමයට ගොවිතැන් කරන ගොවීන් වෙනම ලියාපදිංචි කොට ඒ අයට එම සහනය මුදලින් ලබාදීමට පියවර ගැනීමට උත්සාහ ගන්නවා. එවිට ඔවුන්ට මෙම ජෛව විද්‍යාත්මක මඟින් මෙම වැඩපිළිවෙළ කරගෙන යාමට පුළුවන්...”

අශෝක් අබේගුණවර්ධන තවදුරටත් පැවසීය.

මීට අමතරව ගොවීන් තුළ ග්ලයිෆොසෙට් සම්බන්ධවද ගැටලු මතුවිය. ග්ලයිෆොසෙට් නම් පූර්ණ වල්නාශකය තහනම් විය. නමුත් වෙනත් තෝරා නසන වල්නාශක හා වෙනත් පළිබෝධනාශක කිසිවක් තහනම් නොවුණි.

“පොළොවේ සිටිනා ගොවිතැනට හිතකර සහ අහිතකර සියලු ක්ෂුද්‍ර ජීවීන් සහ ජීවීන් මෙම ග්ලයිෆොසෙට් නාශකයෙන් විනාශ වෙනවා. මේ නිසා මෙමගින් ගොවිතැනට හිතකර ක්ෂුද්‍රජීවීන්ගේ ග්‍රහණය වැඩි කිරීමත් කළයුතු වෙනවා. ඒ නිසා පූර්ණ වල්නාශක තහනම් කිරීමත් සිදුවුණා. මේ නිසා පූර්ණ වල්නාශක නොමැතිවීම වී ගොවිතැනට කිසිදු බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. වල් පාලනය ඉබේම කළහැකි වෙන ක්‍රම ඕනතරම් තියෙනවා.”

මේ සම්බන්ධව වැඩි ගැටලුවක් ඇතිව ඇතිව ඇත්තේ තේ වගාවටය. මේ සම්බන්ධවද අප අශෝක් අබේගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළෙමු.

“තේ ගස කප්පාදු කරන නිසා තමයි එය පඳුර ලෙස තියෙන්නේ. ගොයම් ගසටත් වල් පාලනය කරගෙන පැවතිය හැකිනම් තේ ගසට මෙය පාලනය කිරීමට නොහැකි විය නොහැකියි. මෙම වල් ගස ඉඩමේ හිස්තැන්වල සෑදෙන්නේ. තේ වගාවේදී එම ගස ඉවත් කළයුතු වෙනවා. නිසි ලෙස මෙය නඩත්තු කිරීමක් සිදුවෙනවා නම් එහි ප්‍රශ්නයක් නැහැ. එමෙන්ම වල් පැලෑටි පස දියුණු කිරීම සඳහා පාවිච්චි කළ හැකියි. හොඳ වැස්මක් ඇති පොළොවක කිසිසේත්ම වල් මතුවීමක් සිදුවන්නේ නැහැ. තේ දලු නෙලීමේදී ප්‍රධාන අස්වැන්න වන්නේ තේ කොළය. එම දළු නෙළීමේදී දලු වර්ධනයට හිතකර තත්ත්වයක් නිර්මාණය කරන ක්ෂුද්‍ර ජීවීන් හිඟ වෙනවා. එම නිසා අපගේ වෙනස දියර පොහොර මගින් එම ගසට උත්තේජනයක් ලබාදී දලු වැඩෙන වේගය වැඩිකිරීමක් කළ හැකියි.”

සමස්තයක් ලෙසින් අද වෙද්දී ලංකාවේ තේ කර්මාන්තයේ විශාල අර්බුදයක් පවතී. එයට හේතුව වන්නේ එහි අස්වැන්න අඩුවීමත්, වියදම් වැඩිවීමත් සහ ජනතාව තේ වතුවල වැඩකිරීමට දක්වන අකමැත්තය.

කාබනික ක්‍රමයට තේ වගා කිරීමේදී වැඩි ආදායමක් ලබාගැනීමට පුළුවනි. ජෛව විද්‍යාවට අනුව පොළොව සාදා ගැනීමෙන් වල් මර්දනය වැනි හේතුන් සඳහා මුදලක් වැය නොවීමෙන් වියදම අඩුකරගත හැක. මේ නිසා ජෛව විද්‍යාත්මක වගා කිරීමෙන් වැඩි ලාබයක් ලැබිය හැකි අතර එය කම්කරුවන් අතර හුවමාරු කිරීමෙන් ඉදිරියේදී තේ කර්මාන්තයට හිඟව පවතින ශ්‍රම හිඟයට හොඳ විසඳුමක්ද වේ. මෙවැනි ක්‍රම මගින් පොළොව සරුසාර වන අතර තේ කර්මාන්තයට නැවත පිබිදීමක්ද ඇතිවිය හැක.

♦ දිශානි ජයමාලි කරුණාරත්න