2018 මැයි 12 වන සෙනසුරාදා

පම්පෝරිය අප්පිරියයි, මෝඩයි

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 166

මට තේරෙන්නෙම නැති දෙයක් තමයි ඇයි අවුරුදු දාහකට දෙදාහකට කලින් කවුරුහරි හදපු දෙයක් ගැන, හොයාගත්ත දෙයක් ගැන හරි මොකක් හරි මාතාවගේ වස්ත්‍රයක් ගැන ඊට කිසිම සම්බන්ධයක් නැති, කිසිම දායකත්වයක්වත් දක්වපු නැති, කොහේවත් ඉන්න අය ආඩම්බර වෙන්නෙ කියන එක. එකම තර්කය ඒක තියෙන තැන ජීවත් වෙන එකයි.

ඊළඟට එන ප්‍රශ්නෙ තමයි ඔය ලොකුම දේවල් හැදුවය අරක හොයාගත්තය මේක හොයාගත්තය, අහවල් වටින අවුරුදු ගාණක සංස්කෘතියය ඒක හින්දා ආඩම්බරය කියලා කියන අය ඒවයෙ සිද්ධවෙච්ච මනුෂ්‍යත්වයට නිගාදෙන අපරාධ ගැන ආඩම්බර වෙනවද කියන එකයි.

උදාහරණයක් විදිහට අහවල් රජා අහවල් තට්ටු ගාණක, අහවල් බිල්ඩිම හැදුවා ඩෝ අපිට මාර ආඩම්බරයි කියන අය ඒ රජා ගම්වල ඉන්න අහිංසක ගෑනු ළමයි පැහැරගෙන ගිහින් දූෂණය කරලා දාහයි පන්සීයයි කිය කිය අන්තඃපුර තියාගත්ත එක ගැන, හිතිච්ච හිතිච්ච වෙලාවට බල්ලො බළල්ලු වගේ මිනිස්සු මරපුවා ගැනත් එතකොට ආඩම්බරයි කියනවද? අරවා ගැන ආඩම්බරයි කියන අය අනිත් ඒව ගැන ලජ්ජ වෙනව නම් කවදාවත් දැකලා නෑ.

පිරමීඩ ගැන දැන් ඉන්න ඊජිප්තුවෙ උන් ආඩම්බර වෙන්නෙ මොකටද? ඒවට උන් ගඩොල් කැටයක්වත් ඇද්දද? නෑ... ආඩම්බර වෙන එකම පදනම තමයි ඒක තියන රටේ උන් හරි උන්ගෙ පරම්පරාව හරි ජීවත්වෙන එක. මොකක් හරි වටිනව කියලා සම්මත වෙච්ච දෙයක් තියන තැනක ජීවත් වෙන තර්කෙ මත පිහිටලා ඒක හින්දා ඒකෙ නිර්මාණයට කිසිම අදාළත්වයක් නැති එකෙක් අවුරැදු දාහකට විතර පස්සෙ ආඩම්බරයි කියන එක සති ගාණක් හිනාවෙන්න පුළුවන් ජෝක් එකක්.

අභයගිරිය ගැන ලංකාවෙ අය අමෙරිකන්කාරයින්ට පෙන්නලා දැන් ආඩම්බරයි කිව්වට අඟහරුවල ජීවියො හොයාගත්තම මුළු පෘථිවියෙම උන් තමයි අභයගිරිය ගැන ආඩම්බරයි කියන්නෙ. එතකොට අපිට පුළුවන්ද උඹලා ආඩම්බර වෙන්න එපා කියලා උන්ට කියන්න? බෑ... මොකද අඟහරැට සාපේක්ෂව බලද්දි අපි ඔක්කොම එක ගෝත්‍රයක් වෙලා. ඒක හින්දා අපි ආඩම්බර වෙන්නෙ අපේ ගෝත්‍රයෙ ලොකුකම පෙන්නන්න මිසක් වෙන දෙයක් හින්දා නෙමෙයි‍.

මිනිස්සු එක එක දේවල් කරන්නෙ ඒ ඒ කාලවල අවශ්‍යතාවයට මිසක් අවුරුදු දාහකට විතර පස්සෙ උපදින එවුන්ට ආඩම්බරයි කිය කියා මරාගන්න නෙමෙයි. දැන් වික්ටෝරියා ජලාසෙ හැදුවෙ යුගයේ අවශ්‍යතාවයට කෘෂිකර්මාන්තෙටයි විදුලිය ගන්නයි. ඒක හැදුවා දැන් ඉවරයි. වික්ටෝරියා මෙහෙ තියනවා කියලා දැන් ඉන්න අය ආඩම්බරයි කියනවද? නෑ.... ආඩම්බර වෙන්න හේතුවක් නෑනෙ ඒකට. ඉතින් 3018 දි කවුරැහරි(වික්ටෝරියා ජලාසෙ) තියන රටේ මම ඉන්න හින්දා ආඩම්බරයි කිව්වම ඒකට හිනා යන්නැද්ද? ඒ වගේ තමයි...

අනිත් එක තමයි කවුරුහරි ගොඩනඟපු අපිට කිසිම සම්බන්ධයක් නැති ඉතිහාසෙ ගැන, අධ්‍යයනය නොකර ඒක ගැන පම්පෝරි ගහ ගහ ආඩම්බරයි කිය කියා ඉන්න ජාති හැමදාම ඒ පම්පෝරි උඩම තැම්බි තැම්බි ඉන්නවා මිසක් කිසි දියුණුවක් නොලබන බව හොඳට බැලුවොත් පේනවා.  උන් හැමදාම අර හීන ලෝකවල කිමිදිලා පීන පීන ඉඳලා මැරිලා යනවා මිසක් අලුත් ලෝකෙ එක්ක ඉස්සරහට යන ජාතියක් වෙන්නෙ නෑ.

ඒ වගේම එහෙම පම්පෝරි නොගහ ආඩම්බරයි කිය කිය දඟලන්නෙ නැතුව ඉතිහාසෙන් ගන්න ඕනෙ ටික අරන් අලුත් දේවල් එකතු කරලා අලුතෙන් හිතන මිනිස්සු මේ ලෝකෙ දවසින් දවස ඉස්සරහට අරන් යනවා. පොඩ්ඩක් ලෝක සිතියමක් ගත්තොත් වටපිට බැලුවොත් ඒවට උදාහරණ ඕන තරම් පෙනෙයි. 

ශිෂ්ටාචාරයක් ඉදිරියට යන්න ඉතිහාසය හදාරන්න ඕනෙ. ඒකෙ තර්ක දෙකක් නෑ. හැබැයි ඒ හරිගිය, වැරදුණු තැන් වලින් පාඩම් ඉගෙන ගෙන ඒක ඉදිරිය වෙනුවෙන් යොදාගන්නෙ කොහොමද කියලා බලන්න මිසක්, බොරු පම්පෝරි ගහ ගහ ආඩම්බරයි කියන්න නෙමෙයි. ඉතිහාසෙ රසවත් පාඩම් පොතක්. ඒ නිර්මාණ අපි රකින්න ඕනෙ ඒ පාඩම් ඉගෙනගැනීම සඳහා මිසක් ඒක ගැන පම්පෝරි ගහන්න කරපින්නගෙන ආඩම්බරයි කියන්න නෙමෙයි.

ඒක හින්දා අවුරුදු ගාණකට කලින් කවුරැහරි කරපුවා ගැන ආඩම්බර වීම තේරැමක් නැති දෙයක්. ඒවයින් ඉගෙනගන්න. බැරි නම් නොකර ඉන්න. හැබැයි පම්පෝරි ගහන්නෙපා. මෝඩයි!

► චමල් අකලංක පොල්වත්තගේ

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00