2018 මැයි 12 වන සෙනසුරාදා

කොරියන්කාරයෝ එක තැනක ඉන්න‍ෙ එක දවසයි

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකය ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේරාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරැය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනෙකු සමඟ කළ සංවාද සටහන් පෙළක විසි දෙවැන්නයි. මෙවර ද අප හා කතාබහට එක්වන්නේ ආර්.ඒ.ජේ. ලයනල් මහතා ය. ඔහු Chaffer Tourist Guide කෙනෙකු හෙවත් මෝටර් රථය පදවාගෙන යමින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන්නෙකි. 2013 වසරේ සිට ඉංග්‍රීසි සහ කොරියානු භාෂාවලින් සේවා සපයන ඔහු සංචාරකයින් සමඟ ගෙවුණු කාලයේ ලබාගත් අත්දැකීම් අප හා බෙදාගත්තේ මෙසේය. 

ලංකාවේ A පාරවල් කීයක් තියෙනවද? 

සංචාරක මාර්ගෝපදේශකයෙකු යනු ඇසූ පිරූ තැන් ඇත්තෙකි. සංචාරක මණ්ඩලයේදී ගයිඩ් පාඨමාලාව හැදෑරීමේදී ලබන විධිමත් අධ්‍යාපනයට අමතරව රට තුළ සංචාරය කරමින් පොතපත ඇසුරැ කරගනිමින් දැනුම හඹායාමත් ඒ දැනුම අවශ්‍ය පරිදි සංචාරකයින් වෙත ලබාදීමත් ගයිඩ් මහතුන්ගේ සිරිතයි. එහෙත් ලංකාවට එන සුද්දන් අහන බැරැරූම් ප්‍රශ්න ගැන මීට පෙර ලිපිවලදී ද අපට අසන්නට ලැබුණි. 

“ගෙස්ට්ලා අපෙන් අහන හැම ප්‍රශ්නෙකටම ඒ වෙලාවෙම උත්තර දෙන්න අපිට බැරි වෙන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ටුවර් එකක් පටන් ගනිද්දීම ඒ ගැන කියනවා. ඔයාලා අහන ප්‍රශ්න හැම එකකටම මට ඒ වෙලාවෙම උත්තර දෙන්න බැරිවෙයි. හැබැයි ඒකට කමක් නෑ, තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න. මම පස්සෙ හොයාලා හරි කියන්නම් කියලා. ඒකට එයාලාට සතුටුයි” 

ලයනල් පවසන ආකාරයට සාමාන්‍යයෙන් තමන් හා ගමන් කරන සංචාරකයෙකු එල්ල කරන ප්‍රශ්නවලින් සියයට හැත්තෑවකට පමණ ඒ මොහොතේදීම සාර්ථකව පිළිතුරු දීමේ හැකියාව ඔහු සතුය. යම් හෙයකින් පිළිතුරු දීමට අපොහොසත් වන අවස්ථාවකදී පසුදිනයේදී හෝ අදාළ තොරතුර සොයාගෙන වුත් සංචාරකයින්ට කියාදීමට ඔහු උපරිමයෙන් මහන්සි වේ. 

“ගයිඩින් පටන් ගත්තු කාලෙදි මට ඔය ගැන ලොකු අදහසක් තිබ්බේ නෑ. ඒ හින්දාම බොරු උත්තර කියන්න ගිහින් නා ගත්තු තැනුත් තිබ්බා.”

ලයනල් පවසන ආකාරයට, ඒ ඔහු ගයිඩින් පටන් ගත් මුල් අවධියේදී සිදුවූවකි. 

එංගලන්තයේ සිට පැමිණි සංචාරකයින් දෙදෙනෙක් ලයනල් සමඟ දඹුල්ලේ සිට මහනුවර - යාපනය හෙවත් A-9 පාර දිගේ මහනුවර බලා එමින් සිටියහ. 

“ලයනල්, ලංකාවේ A පාරවල් කීයක් තියෙනවද?” 

“ම්ම්...ලංකාවේ... A පාරවල්... නේද?” ලයනල් ගොත ගැසීය. 

“හතයි” නිවැරදි උත්තරය ගැන කිසිදු නිනව්වක් නොතිබුණු ඔහු උත්තර දුන්නේය. 

“හතයි නම් මේ පාර මොකක්ද? මේක A-9 කියලා ගහලා තියෙනවනෙ” සුද්දා කීවේය. 

වැරැදි උත්තරයක් පැවසීමේ බරපතළකම ලයනල්ට වැටහුණේ එතැනදී ය. 

“සමාවෙන්න මම හිතාගෙන හිටියේ 7යි කියලයි. මම හෙට උදෙන්ම හරි උත්තරේ හොයලා සර්ට කියන්නම්” ඔහු සමාව ගන්නට පැකිළුණේ නැත. 

ලංකාවේ A කාණ්ඩයේ මාර්ග 35ක් පවතින බව අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කර දැනගත් ඔහු පසුදිනයේදීම නිවැරදි තොරතුර ප්‍රශ්නය නැඟූ සංචාරකයාට පැවසීය. 

“එදායින් පස්සෙ කවදාවත් මම ඒ වැරැද්ද කළේ නැහැ. අහන ප්‍රශ්නෙකට උත්තර දන්නෙ නැත්නම් මම ලජ්ජා නැතුව දන්නෙ නෑ කියලා කියනවා. ඊටපස්සෙ හරිම උත්තරේ හොයලා දෙනවා” 

සිය රට දේ - සිරි සැප දේ

ලයනල් පවසන ආකාරයට කොරියානුවන් යනු තමන්ගේ රටට අසීමිත ආදරයක් ඇති ජාතියකි. ඔවුහු ලොව වෙනත් ජාතීන් පිළිකෙව් නොකරන මුත් තමන්ගේ රට ගැන ඔවුන් තුළ ඇත්තේ දැඩි ආදරයකි, විශ්වාසයකි. තම රටේ හදන භාණ්ඩ කෙරෙහිද ඒ විශ්වාසය එලෙසින්ම පවතී. 

කොරියාවට වඩා කිහිප ගුණයක් පිටුපසින් සිටින රටක් වුවද අපේ රටේ මහාමාර්ගවල මිනිත්තු කිහිපයක් ඇතුළත මර්සිඩීස් බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්, අවුඩි වැනි මිලාධික මෝටර් රථ රැසක්ම දැකිය හැකි නමුත් කොරියාවේ තත්ත්වය ඊට වෙනස් ය. එරට වැසියෝ ප්‍රමුඛතාව දෙන්නේ කොරියානු කර්මාන්තශාලාවලින් පිටවන මෝටර් රථවලට ය. 

“මම කොරියාවේ හිටපු කාලෙදි දැකපු දෙයක් තමයි ඒ ගොල්ලෝ පාවිච්චි කරන්නෙම හුන්ඩායි කාර්, නැත්නම් කියා කාර්. වැඩියෙන්ම ජනප්‍රිය හුන්ඩායි කාර්”

කොරියානුවන් තමන්ගේ රටේ නිෂ්පාදනයට මුල් තැනක් දෙන තවත් මොහොතක් වන්නේ ජංගම දුරකථන මිලදීගැනීමයි. තම මව්රටේ නිෂ්පාදනයට ඇළුම් කරන කොරියානුවන් සියල්ලන්ම පාහේ භාවිත කරන්නේ ද අමෙරිකානු ඇපල් නොව කොරියාවේ සැම්සුන්ග් ය. ලයනල් මහතා ද ඊට සාක්ෂි දරන්නේය. 

කොරියාවේ සැම්සුන්ග් සමාගම යනු ජංගම දුරකථන පමණක් නොව තවත් බොහෝමයක් ව්‍යාපාර අංශවල අතු පතර විහිදූ දැවැන්ත ව්‍යාපාර වෘක්ෂයකි. විකිපීඩියාවට අනුව කොරියානු ආර්ථිකයෙන් සියයට 17ක් නියෝජනය කරන්නේ ද සැම්සුන්ග් සමාගමයි. 

හඳේ හාවෝ? 

කොරියානුවන් ලංකාවට පැමිණි පසු වැඩිම ඇල්මක් දක්වන්නේ සංස්කෘතික වටිනාකමක් ඇති ප්‍රදේශයන්හි සංචාරයේ යෙදීමට ය. ඒ අනුව කොළඹින් ඇරඹෙන සංචාරයක දෙවැනි දවස බොහෝදුරට අනුරාධපුර වීමේ ඉඩකඩ වැඩිය. ඉන්පසුව පොළොන්නරුවට හා සීගිරියටත් අවසාන වශයෙන් මහනුවරටත් යාම සාමාන්‍යයෙන් කොරියානුවන්ගේ සිරිතයි. 

“කොරියන්ස්ලා එකම තැනක එක දවසකට වඩා ඉන්න කැමති නැහැ.  දවස් පහක ටුවර් එකකට ආවොත් තැන් පහක නවතින්න තමා එයාලා බලන්නෙ” 

එහෙත් මහනුවරට කොරියානුවන්ගේ ඇල්ම වැඩිය. එනිසා දින දෙකක් වුවද මහනුවර රැඳී සිටීමට ඔවුහු මනාප ය. මහනුවර සංචාරය කරන ඕනෑම සංචාරකයෙකුගේ වැඩිම ආකර්ෂණය දිනාගන්නේ දළදා මන්දිරය බව අමුතුවෙන් කිව යුතු නැත. මෙරටට ආවේණික වූ සංස්කෘතික ලක්ෂණ රැසක් දළදා මන්දිරය ඇසුරෙන් දැකගත හැකිවීම ඊට හේතුවයි. 

“එක පාරක් දළදා මැඳුර බලන්න ගිය වෙලාවක ගෙස්ට් කෙනෙක් මාර ප්‍රශ්නයක් ඇහුවා” ලයනල්ට අලුත් සිද්ධියක් මතක් විය. 

දළදා මන්දිරයේ ඇතුළත ඉර සහ හඳ කැටයමක් ඇති අතර එය, හඳේ හාවා ද ඉන්නා ආකාරයට නිරූපණය කර තිබේ. හඳ තුළ හාවෙකු සිටීම අපට අලුත් දෙයක් නොවුණ ද හඳේ හාවෙකු දැකීම සුද්දන්ට අමුතු දෙයකි. කුතුහලයක් ඇතිවීම සාමාන්‍ය ය. 

“ඇයි මේ හඳ ඇතුළෙ හාවෙක් ඉන්නෙ” කුතුහලය වචනවලට පෙරළූ සුද්දා ලයනල්ගෙන් ඇසීය. 

අවසානයේදී දළදා වහන්සේ ගැන කතාබහට මඳ විරාමයක් දුන් ලයනල් ශක්‍ර දේවේන්ද්‍රයා සහ හඳේ හාවා හා බැඳුණු ජනශ්‍රැති කතන්දරය සුද්දාට කියාදුන්නේ ය. අපූරු කතාවක් අසන්නට ලැබීම නිසා සුද්දා ද බෙහෙවින් සතුටට පත්විය. 
බස් එක වගේ නෙමේ කාර් එක

ලයනල් යනු සංචාරක රියදුරු මාර්ගෝපදේශකයෙකි. ඔහුට ලංකාවේ ඕනෑම තැනක සංචාරක මාර්ගෝපදේශකයෙකු ලෙස සේවය කළ හැකි නමුදු එක් වරකට ගෙන යා හැකි උපරිම සංචාරකයින් සීමාව හතකි. ඔහු බොහෝවිට සංචාරයේ යෙදෙන්නේ ටොයොටා ප්‍රීමියෝ වර්ගයේ තමාගේම මෝටර් රථයෙනි. 

“බස් නොවන වාහනවලින් වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ ටොයාටා කේ.ඩී.එච්. වෑන් එකට තමා. ඉන්පස්සේ කාර්වලින් ප්‍රීමියෝ එකට, ඇක්ෂියෝ එකට හොඳ ඉල්ලුමක් තියෙනවා” 

ගයිඩ් ලයිසන් ලබාගැනීමට පෙරද බස් රථවල සංචාරයක් දෙකක් මෙහෙයවා ඇති ලයනල් බස් රථයේ ගමන හා මොටෝ රියේ ගමන ගැන ද සංසන්දනයක් කළේය. 

“බස් එකේ යද්දි ටිකක් ලේසියි. මොකද එක්කෙනයි දෙන්නයි ප්‍රශ්න අහන්නෙ. අනිත් අය මම කියන දේවල් අහගෙන ඉන්නවා. හැබැයි කාර් එකේදි එහෙම නෑ. මහත්තයගෙ ප්‍රශ්නෙට උත්තර දීලා ඉවර වෙද්දි නෝනා තව ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්න ඇහිල්ලෙ කෙළවරක් නෑ” ලයනල් කීවේ සිනාසෙමිනි. 

මෝටෝ රිය පදවාගෙන යන ගයිඩ් මහත්වරුන්ට ලංකාවේ සාමාන්‍ය රියැදුරන් මෙන් වාහනය ධාවනය කිරීමට නොහැක. වෙට්ටු දමමින් අස්සෙන් රිංගා යමින්, පොලිසිය නැති තැන ඉරි කපමින් අධික වේගයෙන් යන සාමාන්‍ය ලාංකික සම්ප්‍රදායට අනුව ගියොත් වැඩ වරදින්නට වැඩි කල් යන්නේ නැත. 

“පැයට කිලෝමීටර 40 තමා අපේ වේග සීමාව. ඊට වඩා වැඩියෙන් යන්න පුළුවන් ගෙස්ට්ගේ ඉල්ලීමක් අනුව විතරයි. කොහොමත් ඊට වැඩි වේගෙකින් ගියොත් ගෙස්ට්ලාට වටපිට බලන්න විදිහකුත් නෑනෙ” 

යම් හෙයකින් රථයේ ගමන් ගන්නා සංචාරකයින් ත්‍රාසයට භීතියට පත්වන අයුරින් රථ ධාවනයේ යෙදුණොත් සිදුවන්නේ අනිකක් නොව අදාළ ගයිඩ්වරයාට එරෙහිව පැමිණිලි ගොනු වී ඔහු අසාදු ලේඛන ගත වීම ය. එනිසා සෑම රියදුරු ගයිඩ් මහතෙකුම උත්සාහ කරන්නේ තම රටේ සිරි නරඹන්නට පැමිණි සංචාරකයින්ට උපරිම ආරක්ෂාවක් සහ සේවාවක් ලබාදෙමින් ඔවුන්ට රට තොට පෙන්වීමට ය. 

(තවත් කොටසක් ලබන සතියේ) 
►රජිත ජාගොඩ ආරච්චි 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00