2018 මැයි 19 වන සෙනසුරාදා

ඉතාලි රස්සා පෙන්වා කෝටි ගණන් ගැරූ ඉන්ද්‍රානි කොටුකළ මෙහෙයුම

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 429

සමාජයේ ඇති වටිනාම සම්පත මානව සම්පත බව නිසැකවම කිව හැකිය. මිනිසාට විවිධ අවශ්‍යතා ඇති අතර එම අවශ්‍යතා සපුරා ගැනීමට මුදල් අත්‍යවශ්‍ය වී ඇත. කුලී පදනම මත හෝ රැකියාවක් නොමැති බොහෝ පිරිස් මෙරට දුගී භාවයෙන් පෙලී සිටිති. එවන් අවස්ථාවලදී මුදල් ඉපැයීමට කුමන හෝ රැකියාවක් සොයා යෑමට සිදුවේ. පහසුවෙන්ම වැඩි මුදලක් රැස් කර ගැනීමට හැකි එකම මාර්ගය විදේශ ගතවීම යැයි සමහරු සිතති. විදේශ ගතවීමේ එම සිහිනය සැබෑ කර ගැනීමට යැමේදී වංචාකාරයන්ගේ මුසා බස්වලට හසුවී මුදල් ගෙවූ බොහෝ පිරිස් මෙරට අන්ත අසරණ තත්ත්වයට පත්වී සිටිති.

තමන් උපයා ඉතිරි කර ගත් මුදල් හෝ ඉඩකඩම්, දේපල උකසට තබා ලබා ගත් මුදල් රැකියා සඳහා විදේශ ගත කරන බවට කියා පැමිණෙන වංචාකාරයන්ට ලබාදී විදේශ ගතවීමට නොහැකිව ගෙවූ මුදලුත් ආපසු ගන්නට නොහැකිව ඔවුහු අසරණ තත්ත්වයට පත්වෙති. මෙරට පවතින විදේශ රැකියා ආයතන හරහා විවිධ රටවල්වලට යෑමට හැකියාවක් තිබුණ ද ඉතාලි රටේ රැකියා සඳහා යෑම පහසු නොවන බව බොහෝ දෙනා නොදන්නා රහසකි. රුපියල් ලක්ෂ විස්සක් පමණ ගෙවා යා යුතු රටකට අඩු මුදලකින් යවන බව කීයූ සැණින් විදේශ ගත වීමට සිහින මවන පුද්ගලයෝ පහසුවෙන් මුලා වෙති. 

එලෙස මුලා වූ සිය ගණනක් දෙනා අතරින් සුළු පිරිසක් තම මුදල් ආපසු ලබා ගැනීමට වෙර දරමින් සිටිති. ඒ උත්සාහයක ප්‍රතිපල ලෙස ඉතාලි රටේ රැකියා දෙන බවට කියමින් වංචා සහගත ලෙස රැපියල් මිලියන ගණනින් මුදල් ලබා ගත් බව කියන ඉන්ද්‍රානි ඩාවිඩ් නැමති කාන්තාව දික්වැල්ල ප්‍රදේශයේ කුලී නිවසක සිටියදී  නීතියේ රැහැනට කොටු වීය. ඇය එහි රැඳී සිටි බව කියන්නේ තමන්ගේ නිවස ඉදිකරන තෙක් බවද කියයි.

මෙම කාන්තාව පසුගිය 12 වැනිදා විද්‍යුත් මාධ්‍යයක විකාශනය කිරීමත් සමඟ පැය භාගයක් පමණ කාලයක් ඇතුළත මුදල් වංචාකර සැඟව සිටි ඉන්ද්‍රාණි ඩාවිඩ් නැමති කාන්තාව සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් දික්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. දික්වැල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ගයන්ත කරවිට මහතාට ලැබුණු දුරකථන ඇමතුමක් මගින් මේ අතුඅඩංගුවට ගැනීම සිදු විය.

කාන්තාවට අමතරව අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයකු කාන්තාවට නිවසක් කුලී පදනම මත රැගෙන දුන් තැනැත්තා අනෙක් සැකකරු කාන්තාවගේ සහෝදරයකු බවත් පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් ඉතාලි රටේ රැකියාවට යවන බව කියමින් මුදල් ලබා ගෙන සැඟව සිටි ඉන්ද්‍රාණි ඩාවිඩ් සහ අනෙක් දෙදෙනා මාතර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව තිස්ස දිසානායක වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධානගාර ගත කරන ලෙසයි. මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමත් සමඟ ඉතාලි යාමට මුදල් ලබා දුන් විශාල පිරිසක් දික්වැල්ල පොලිසියට කතා කර ඇති අතර ඒ අයවලුන්ට විදේශ සේවා කාර්යංශයේ පැමිණිලි කිරීමට යොමු කළ බව දික්වැල්ල පොලිසිය පවසයි.  

කෝටිපති කාන්තාවක් ලෙස පෙනී සිට ඉතාලියේ රැකියා අවස්ථා සඳහා පිටත් කර යවන බවට ප්‍රචාරය කරමින් රුපියල් මිලියන ගණනින් මුදල් චංචා සිදු කරන කාන්තාව පිළිබඳ වාර්තා වූයේ පුත්තලම වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයෙනි.
පොලිස් ස්ථානයට ආසන්නයේ පිහිටි ඉඩමක් 2017 වසරේ අවසන් භාග්‍යයේදී මිලදී ගෙන ඉතා කෙටි කාලයක් තුළ ඇය සුපෝඛභෝගී නිවසක් ඉදිකර ඇත. මෙම නිවස වටා විශාල තාප්පයක් බැඳ කැමරා පද්ධතියක් සවිකර ප්‍රධාන දොරටුව අසල යසිරු සෙවන නමින් නාම පුවරුවක් ද සවිකර තිබේ.

රටේ විවිධ පළාත්වල ජනතාව රවටා ලබා ගත් මුදල්වලින් විවිධ ප්‍රදේශවල ඉඩම් මිලදී ගෙන නිවාස ඉදි කරමින් සිටින බවට විදේශ ගත වීම සඳහා මුදල් ලබාදී සිටි පුද්ගලයන්ට තොරතුරු ලැබී තිබුණ ද සත්‍යතාවය තහවුරු කර ගැනීමට අවස්ථාවක් ඔවුන්ට තිබී නැත.

පසුගිය රජයේ සහ වර්තමාන රජයේ ප්‍රධාන පොළේ දේශපාලනඥයන්ගේ නම් භාවිත කරමින් ඔවුන් සමඟ හිතවත්කම් පවත්වන බවට ඡායාරූප පෙන්වමින් ජනතාවට විස්වාසය ඇති කිරීම මෙම කාන්තාවගේ උපාය මාර්ගයක් බව මුදල් ලබා දුන් බොහෝ දෙනකු රැවටීමෙන් පසුව තේරුම් ගෙන තිබිණි. කිසිවක් කර කියා ගැනීමට නොහැකි වන ආකාරයට ඔප්පු කිරීමට නොහැකි නිත්‍යානුකූල නොවන ආකාරයෙන් ඇය මුදල් ලබා ගෙන ඇති බව සඳහන්ය.

ඉතාලි රටේ රැකියාවලට යවන බව කියමින් රුපියල් මිලියන ගණනින් මුදල් ලබාගෙන  මග හැර ගිය ඉන්ද්‍රානි ඩාවිඩ් නැමති කාන්තාවට විරුද්ධව ඇතැම් පිරිස් කළ පැමිණිලි හමුවේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇයට විරුද්ධව අධිකරණ කටයුතු සිදුවී වරෙන්තු නියෝග ලබා සිටි බව මෙම කාන්තාවට රැවටී සිටි පිරිස් කළ සොයා බැලීම්වලදී අණාවරණය තිබේ.

සැකකාර කාන්තාවට අයත් වනාතවිල්ලුව යසිරු සෙවන නැමති නිවසේ පදිංචිව සිටිමින් ජනතාව රවටා මුදල් ලබා ගැනීමේ කාර්යය සඳහා ඇය හදා වඩා ගන්නා වයස අවුරුදු 16 පාසල් යන දරුවකු යොදා ගෙන ඇත්තේ විශ්ව ළමා ප්‍රඥප්තිය ද උල්ලංඝණය කරමින් බව පැහැදිලි වේ. නීති විරෝධි ක්‍රියාවක් සඳහා දරුවකු පෙළඹවීම ළමා අපයෝජනයකි. එම වරදෙහි ස්වභාවය අනුව ඒ සඳහා ද දඬුවම් ලබාදිය යුතුය. 

මෙම කාන්තාව පිළිබඳ දිනෙන් දින විවිධ තොරතුරු අනාවරණය වන්නට විය. වංචාවට හසුවී ඉතාලි රටේ රැකියාවට යෑම සඳහා මුදල් ලබා දුන් පිරිස් බස් රථවලින් පැමිණ නිවස ඉදිරිපිට දවස පුරා රැඳී සිටිය ද ඇය හමු වීමට රාත්‍රි 10 පසුව එන ලෙස නිවසේ සිටින වයස අවුරුදු 16 දරුවා ලවා කියවා මුදල් ඉල්ලා එන පිරිස ආපසු හරවා යවා තිබිණි. කුරුණෑගල සහ රාජාංගණය ප්‍රදේශයේ වංචාවට හසුවූ පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන්ට පැමිණිලි කර තිබූ අතර මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම හෝ සත්‍ය තොරතුරු විමසීමට නිලධාරීන් කණ්ඩායමක් වනාතවිල්ලුවට පැමිණ තිබුණි.

එම නිලධාරීන් මෙන්ම මුදල් වංචාවට හසුව සිටී කිහිප දෙනෙක් ද මාධ්‍යවේදීහු ද මේ විමර්ශනය සඳහා සහභාගී වී සිටියහ. වංචාකාර කාන්තාව යසිරු සෙවණ නිවසෙහි සිටී ද යන්න සොයා බැලීමට යෙදවූ උපාය දූතයා හමුවට යකඩ පොල්ලක් රැගෙන නිවසින් එළියට පැමිණි වයස අවුරුදු 16 දරුවා සහ වයස අවුරුදු 35 පමණ වයසේ වූ සැකකාර කාන්තාවගේ සහෝදරයාගේ දරුවකු යැයි කියන පුද්ගලයා උපාය දූතයාට අසභ්‍ය වචනවලින් බැණ තර්ජනය කර නිවස ඉදිරිපිට ඇති ප්‍රධන ගේට්ටුවෙන් එළියට පන්නා දැමීමට ක්‍රියාකර තිබුණේ මැරයන් මෙන් හැසිරෙමිනි.

12 වැනි දින උදෑසන පැමිණ සිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීහු රාත්‍රි අටට පමණ වනාතවිල්ලුව පොලීසියේ ද සහය ඇතුව නිවස වටලා එහි සිටි පුද්ගලයන් දෙදෙනාගෙන් ඉන්ද්‍රානි ඩාවිට් නැමති කාන්තාව පිළිබඳ තොරතුරු විමසූහ. වයස අවුරුදු 16 දරුවා වයසින් මුහුකුරා ගිය චරිත මවමින් “මගේ ආච්චී ඉතාලි ගියා” යැයි කියමින් නිලධාරීන් නොමග යැවීමට දැඩි උත්සහයක නිරත වීය. නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඉතාලි ගිය බවට කියූ ඉන්ද්‍රානි ඩාවිඩ් නැමති කාන්තාවගේ දියණියගේ දරුවා යැයි කියන නිවසේ සිටි වයස අවුරුදු 16 දරුවාට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට සිදුවීය.

එම දුරකථන ඇමතුමෙන් කාන්තාව ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිටින බව තහවුරු කර ගැනීමට හැකි වීය. නිවස පරික්ෂා කර සොයා ගත් විදේශ ගත කිරීමට උපයෝගී කර ගන්නා යැයි සැක සිතිය හැකි ලේඛන කිහිපයක් සොයා ගත් නිලධාරීන් දුරකථනයෙන් ඉන්ද්‍රාණි ඩාවිඩ් යන කාන්තාවට කතා කළ ද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් බව විශ්වාස නොකළ ඇය දුරකථනයෙන් ඉවත්වී නැවත එම දුරකථනයටම ඇමතුමක් ගෙන කතා කරමින් දරුවාට පැවසුවේ ඔය ඉන්න එවුන් රාජාංගනයේ එවුන් බවයි.

“ඔයා බය නැතුව ඉන්න. ඔය ඇවිත් ඉන්නේ විදේශ සේවා එකෙන් නෙවෙයි. රාජාංගනයේ උන්. මම වනාතවිල්ලුව පොලීසියට කීවා. දැන් එයි. ගේ චෙක් කළාද? දැන් පොලිසිය එයි බය නැතුව ඉන්න.” යැයි ඇය දුරකථනයෙන් ප්‍රකාශ කර තිබිණි.

යළිත් දරුවාගෙන් දුරකථනය ලබා ගත් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියකු ඇයට පැවසුවේ “අපි විදේශ සේවා එකෙන්. රට යවනවා කියා මහ ජනතාව රවටා මුදල් ගත් බවට පැමිණිලි තිබෙනවා. ඇවිත් විසඳා ගන්න” යැයි පැවසීය. “මම සල්ලි අරන් තිබෙන්නේ අත මාරුවට. මමත් ඉල්ල ගන්නවා. මමත් දෙනවා. ඔයාල කියන විදිහට මම එන්නේ නැහැ. වනාතවිල්ලුව පොලිසියට ලියුමක් දීලා යන්න. එතකොට මම එන්නම්. මම හොඳට නීතිය දන්නවා.” යැයි කියමින් ඇය දුරකථනය විසන්ධි කළාය.

ලබාගත් සියලු තොරතුරු පිළිබඳ පොලිසියට වාර්තාවක් ලබා දී ඔවුන් එම නිවසින් පිටව ගියේ ඉන්ද්‍රානි ඩාවිඩ් නැමති වංචනික ලෙස ජනතාව රවටා මුදල් ලබා ගන්නා කාන්තාව නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුම් පියවරක් ඉදිරියට තබමිනි. රජාංගනයේ ප්‍රදේශයේ පදිංචි තිලක් ප්‍රේමතිලක මහතා ඇතුලු පස් දෙනකු ඉතාලි රටේ රැකියාවට යෑම සදහා ලක්ෂ 40කට ආසන්න මුදලක් මෙම කාන්තාවට ලබා දී තිබුණි. දේශයට අදහස් දක්වමින් තිලක් මහතා මෙසේ කීය. 

“අවුරුදු 22 ආරක්ෂක හමුදාවේ සේවය කර ඉතිරි කර ගත් මුදලින් සහ කුඹුර උකස් කර ලබාගත් මුදල් තමයි ඔය ගෑනි මුලා කරලා අපෙන් අර ගත්තේ. බැංකුවට සල්ලි ටිකක් දැම්මා. වැඩි හරියක් මුදල් මුද්දර උඩ අත්සන් කරලා අතට දුන්නා. කුඩා කාර් එකකින් ඇවිත් රටේ වර්තමාන ජනාධිපතිතුමාගේ දුව කසාද බැඳලා ඉන්නේ එයාගේ ඥාතී පුතෙක් කිව්වා. නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මර්වින් සිල්වා, එයාගේ යාළුවෝ කෑමටත් අපේ ගෙදර එනවා කිව්වා. මෙච්චර කල් ආමි එකේ හිටපු මාවත් සුපිරියටම මේ ගෑනි ඇන්දුවා.

මගේ නෝනා මට කිව්වා මම ඇහැව්වෙ නෑ. අන්තිමට සල්ලිත් නෑ. කුඹුරත් නැහැ. ඉතාලි යන්නත් නැහැ. සැනසීමෙන් ඉන්නත් නැහැ. ඔය ගෑනි අර තියාගෙන ඉන්න පොඩි ළමයා අවුරුදු 20-25 වෙන කොට රටේ නම ගිය අපරාධකාරයෙක් බවට පත් වෙනවා. ඒ දරුවාව දැන්ම බේරා ගත්තොත් නම් ලොකු දෙයක්.”

කුරුණෑගල මැල්සිරිපුර පදිංචි සචින්ත මධුෂාන් ඇතුලු තරුණ තරුණයන් සය දෙනකු ද රුපියල් ලක්ෂ 80 පමණ මුදලක් වංචාකාර කාන්තාවට ලබාදී තිබේ. ඒ පිළිබඳ සචින්ත මධුෂාන් පැවසුවේ මෙවැන්නකි. 

“මමයි මල්ලියි තවත් හතර දෙනෙක් මේ කාන්තාවට රැවටිලා ඉතාලි යන්න සල්ලි දුන්නා. අපේ පාස්පෝට් ලියකියවිලි අරගෙන ගියා. මේ කාන්තාව කිව්වෙ ජනාධිපතිතුමාත් ඥාති කියලා. එහෙම කියලා අපිව රැවටුවා. අඩු මුදලකට නීත්‍යානුකූලව ඉතාලි යන්න පුළුවන් නම් හොඳයි කියලා අපි එක්කෙනා රුපියල් ලක්ෂ දහය, හත, අට දුන්නා. අපි අනාතයි. රටේ ඉන්න ප්‍රබල චරිත හැම කෙනෙක්ම වනාතවිල්ලුව ගෙදරට එනවා කීවා. ඒ අය සමඟ ඉන්න පොටෝ පෙන්නුවා. මුහුණු පොතේ දැන්වීමකින් තමයි. මේ කාන්තාව හමු වුණේ. මේ ගෑනු කෙනා ලෝකේ කාලා වතුර බීපු කෙනෙක්. පොලිස්පතිතුමා එයාගේ දකුණු අත වගේ කිව්වා. දෙයියනේ ඉගෙනගෙන රැකියාවක් නැතුව ඉතාලි යන්න හිටපු අපි මේ කතා අහලා විශ්වාස කළා. අන්තිමට හෙට උදේ රට යවනවා ලියකියවිලි අවශ්‍ය දේවල් අරගෙන එන්න කියලා අපි ගියහම මග ඇරියා. මේ වගේ අයට කවදාවත් හොඳක් වෙන්නේ නැහැ. සමහර අය සල්ලි දීලා තියෙනවා කිසිම ලියවිල්ලක් නැහැ. පව් ඒ අයට ඉදිරිපත් වෙන්න විදිහක් නැතුව ඉන්නවා.”

► රෝවන් පෙරේරා - පුත්තලම

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00