2018 මැයි 26 වන සෙනසුරාදා

වැදි බණ

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 257

මේ දවස්වල එකම චරිතේ හැරී කුමාරයාගේ මඟුල. ඒ මඟුල ගැන විචාරකයෝ නහුතෙට. සමහර අය මේගන් මේකප් දාලා නෑ කියලා අනේ චෝයි කියනවා. සමහර අය අනේ ඒ වෙඩින් එක හරි චාම් නේ අනේ කියලා බොරු වාව් පාරක් දානවා.

මේ අතර මම දැක්කා වැදි බණ කියන සැට් එකක්. ඒ කට්ටිය කියනවා මෙන්න මේම බලන්නකෝ හැරී රාජ කුමාරයෙක්, ඒත් බැන්දේ කසාද බැඳලා හිටිය කෙනෙක්. කොච්චර සරල මිනිස්සුද? කොච්චර ආදරයක්ද? කොටින්ම රැජන පවා කැමති වෙච්ච එක මදිද? වගේ බණ කියනවා ලොකුවට. මට ඒක දැක්කම හිනත් යනවා, ඇඬෙනවත් එක්ක.

දැන් බලන්න ඔය කියන අය අපේ ගමේ සීලවතීගේ කෙල්ල පළවෙනි කසාදේ කරලා අත්ඇරලා එනවා. ඔන්න ගමේ උන් කියන කතා. අන්න අරකි කෙලවිලා ඇවිත් ඉන්නවා. ගියා ලොකු අතු අල්ලන්න. උන්ගේ අම්මණ්ඩි ගියේ උඩින්. ඕකුන් කොහෙද පවුල් කන්නේ. එහෙම කාලා පුරුදු උන්ද? වගේ කතා. ඒ කෙල්ල ඉවරයි ගමේදී. හැබැයි මූණට හම්බුණාම. අනේ අර වසර්තියා උඹට ඉන්න දුන්නේ නෑලු නේද කෙල්ලේ. උඹ බේරුණා රත්‍තරනේ. ඔහොම උන් එක්ක ඉන්නේ නැතුව ආපු එකම හොඳයි කියලා කෙල්ලගේ ඔළුව අතගාලා ටොකු අනිනවා. දැන් මාසයක් දෙකක් ගියාම සීලවතීගේ දුව යාළු වෙනවා ගමේ ග්‍රාමසේවකගේ පුතා එක්ක. ඔන්න ගමේ උන්. අන්න අර උඩැක්කිය අපේ ග්‍රාමසේවක මහත්තයගේ අහිංසකයා අල්ලගෙන. ඕකී හොඳ නැට්ටිච්චි. ඉස්සෙල්ලා එකා දාලා ගියෙත් ඔය හුටපට නිසාලුනේ. ඕකිගේ අම්මත් ඔහොමමයි වගේ දහසකුත් අපවාද බැණුම් කෙළවරක් නෑ. ඊට පස්සේ ගමේ අයියලා සීලවතීගේ දුව පාරේ යද්දී ෂ්.. ෂ්.. ආ නංගී... ගණන්ද? දැන් ලොකු ඒවට අල්ලන්නේ නේද? ඇයි අපි කළුද? වගේ කුපාඩි, මජර කතා කියනවා.

ඒ ගමේ. දැන් නගරයට එමුකෝ. ටවුමේ පච්චා ගහපු කෙල්ලෙක් දික්කසාද වෙලා වෙන එකෙක් එක්ක යාළු වුණා කියමුකෝ. ඔන්න සිටි එකේ කොල්ලන්ගේ කතා. ඕක මචන් සතාලු. අල්ලන්න පුළුවන් ගින්නක් නැතුව. අපෝ මගේ පස්සෙනුත් ආවනේ (පස්සෙන් තියා ඌව දැකලවත් නෑ කෙල්ල). කෝමද සයිස් එක? වගේ කතා කෝටියයි. ඒ කෙල්ලව නිකන්ම වාචිකව විනාශ කරලා.

දැන් එහෙම හැසිරෙන අයියලා, අක්කලා, නංගිලා, ඇන්ටිලා, මාමලා කියනවා හැරී මාර පොරක්ලු. මේගන් හරි ලකීලු. ඒක පට්ට ආදරයක්ලු. එතකොට අපි කළොත් ඒක ආදරේ නෙමෙයිද? වල්කමද? වැඩිමල් කෙනෙක් එක්ක යාළු වුණාම එතන ආදරයක් තියෙන්න විදිහක් නැද්ද? ආදරේට තියෙන්න පුළුවන් සීමාවල් මොනවද? මේ කිසිවක් ගැන තකන්නේ නැතුව සමහර ආදරණීය මිනිස්සුන්ව විනාශ කරනවා ඔය බණ කියන සමහර අය. ඒ නිසා හැරීටයි මේගන්ටයි විතරක් නෙමෙයි අපේ ගමේ උන්ටත් ඒ වගේ ආදර කතා තියෙන්න පුළුවන්. ඒවා රාජකීය නොවුණත් රසවත් වෙන්න පුළුවන්. ඒත් ඒවා හිතෙන්නේ නෑ. දැනෙන්නේ හැරීගේ ලව් එක විතරයි.

මේ අස්සේ තවත් කට්ටිය අමුතු ස්වයං වින්දනයක් ගන්නවා. මොකක්ද? කෝමද රැජනගේ පූස් පාට් බස්සපු හැටි. ඩයනා ඒවා කළ නිසානේ වැඩේ දුන්නේ. ඒ පලිය තමයි ඔය හැරී ගත්තේ බැන්ද ගෑනියෙක් ගෙනල්ලා. දැන් රැජනගේ උණ බහී. හොඳ වැඩේ. ඕකුන් රටවල් අල්ලගෙන වහල්කම් කරපු දේවල්වල පව් පඩිසන් දෙන්නත් එපැයි. අන්න එහෙම ත්‍රිල් එකක් ගන්න කට්ටියත් ඉන්නවා.

දැන් ඇත්තටම එහෙම රැජන කඩා වැටිලත් නෑ. එහෙම මේ මඟුලට අවුලෙන් රැජන එදා රෑ දේව්දාස් වගේ බීලා යකා නටලත් නෑ. හැබැයි අපේ අය කියනවා රැජනට කෙලවෙලාලු. මේ රෑට පානුයි පරිප්පුයි කකා. පව්. ඒ අය හිතන්නේ මෙහේ ඉන්න ජාතියේ මොඩ්ල් තමයි රැජනත් කියලා. එහෙම නෑ. ඒ මිනිස්සු ඕපන් මිනිස්සු. ඒ මිනිස්සු දන්නවා සල්ලි, කෑම, බීම, ධනයට වඩා බැඳීම කොච්චර වටිනවද කියලා. එහෙම හිතන නිසානේ හැරීට වෙන කෙනෙක් අත ගත්ත කෙනෙක් ගන්න වුණේ. දැන් ඔය බණ කියන අය හෙට උදේට බැඳපු කෙනෙක් බඳින්න පුළුවන්ද කියලා ඇහුවොත් හා කියයිද? නෑනේ. ගත් කටටම අම්මෝ බෑ කියන්නේ. ඇයි සමාජයට බයයි බැන්ද ගෑනියෙක් ගත්තා කියලා විනාශ කරයි කියලා. එහෙව් සමාජයක් මේක.

ඒ නිසා අනුන්ගේ රාජකීය බැඳීම් දැකලා ෂා වාව් කියන එක නෙමෙයි දේ. අපි කරන්න ඕනේ ඒවගේ බැඳීම්වලට වටිනාකමක් දෙන්න. බැන්ඳා කියලා ඒ ගෑනිවත් මිනිහවත් අශීලාචාර, වනචාරී වෙන්නේ නෑ. උනුත් හදවත් ඇති උන්. අන්න උන්ට ආදරේ කරන්නත් මේ වගේම දීපල්ලා ගල් නොගහා. උනුත් හැරීලා, මේගන්ලා වගේ කියලා හිතපල්ලා. එහෙම නැතුව උන් අමුතු ජාතියේ උන් නෙමෙයි.

කොහොම වුණත් ලාංකික සමාජය ඇතුළේ ආදරය සම්බන්ධයෙන් තියෙන්නේ පුදුම භීතියක්. ඒ භීතිය ඇතිකරගෙනම තියෙන්නේ අපි විසින්. අපි බයයි අපේ ආදරේ ගැන. ඇයි? මේ සමාජයෙන් ආදරේට දීලා තියෙනවා විවිද හැඩතල. එකක් ලිංගික සම්බන්ධතා, මුදල්, බලය, ධනය වගේ දේවල්. ඒ නිසා මිනිස්සු බයයි එළිපිට ආදරේ කරන්න. අරයා දොස් කියයි, මෙයා දොස් කියයි වගේ සැකයක ලජ්ජාවක ජීවත් වෙන්නේ. පාරෙදී අපි ආදරේ කරන කෙනාගේ නළලට හාදුවක් දුන්නොත් කී දෙනෙක් හිතෙන් ඒ දෙන්නව කාමරේකට යවලා, එක ඇඳේ නිදකරවලා, ළමයෙක් හදලා, දික්කසාදත් කරලා තියෙනවද? ඇත්‍තටම ඒ හාදුව දුන්නේ ආදරයෙන් වෙන්න බැරිද? ඒක ඒ දෙන්නගේ ආදරේ සංකේතයක් වෙන්න බැරිද? නෑ. හිතෙන්නේ නෑ.

හිතෙන්නෙම උන් වැරදිකාරයෝ කියලා. ඒ නිසා හැරීගේ ගුණ කියන කට්ටියට කියන්න තියෙන්නේ අපි සතුටු වෙන්න ඕනේ හැරී දිහා බලලා නෙමෙයි. අපි සතුටු වෙන්න ඕනේ අපේ ආදර කතාවත් ඒ වගේම මේ රට ඇතුළේ පිළිගත්ත දවසට. එතකල් හැරී දිහා බලලා වාව් ගෑවට වැඩක් නෑ.

මම
බ්‍රෝ

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00