2018 මැයි 26 වන සෙනසුරාදා

ත්‍රී.මලේ පරෙවි දූපත් මුහුදේ ත්‍රාසජනක ස්නෝක්ලින් සවාරි

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 146

ඔබට මුහුද අද්දර නිවාඩුවකට යන්න කැමැත්තක් තිබෙනවා නම්, ඒ වගේම මුහුදාශ්‍රිත පොඩි ත්‍රාසජනක ක්‍රියාකාරකමක යෙදෙන්න කැමැති නම් ඒකට සුදුසුම තැනක් ගැනයි අපි මේ සතියේ කතා කරන්නේ. ඒ තමා ත්‍රිකුණාමලයේ Trinco Blu හෝටලය විසින් ලබාදෙන snorkelling අත්දැකීම. 

විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශය කියන්නේ මුහුදු ජීවීන් නරඹන්න ලංකාවේ තියෙන හොඳම තැනක්. පරෙවි දූපත පිහිටා තිබෙන්නේ Trinco Blu හෝටලයේ සිට කිලෝ මීටර 13ක දුරකිනුයි. 

යුද්ධයේ අවසානයත් සමඟ පරෙවි දූපතට තිබෙන සංචාරක ආකර්ෂණය ගොඩක් වැඩිවුණා. ස්නෝක්ලින්වල යෙදෙන්න කැමැති ගොඩක් අයට එතැන හිත ඇඳ බැඳ ගන්න තැනක් වෙලා ඉවරයි. මේ අවට මුහුදේ කොරල් ජීවී විශේෂ 100කට වැඩි ප්‍රමාණයකට අයිති සජීවී කොරල් දකින්න පුළුවන්. මේ කොරල් පර අතර 300කට වැඩි මත්ස්‍ය ජීවී විශේෂ වගේම මුහුදු කැස්බෑවන් විශේෂත් ජීවත් වෙනවා.

පරෙවි දූපත ආශ්‍රිතව ස්නෝක්ලින් සඳහා සුදුසුම කාලය ලෙස සැලකෙන්නේත් මාර්තු සිට සැප්තැම්බර් දක්වා කාලසීමාවයි. 

සිනමන් හෝටල් ජාලයට අයිති Trinco blu හෝටලය මේ ස්නෝක්ලින් සවාරි සංවිධානය කරන්නේ Cinnamon Nature Trails කණ්ඩායමේ ද සහාය ඇතිවයි. ඒ නිසා හරි අවබෝධයක් සහිතව මේ අත්දැකීම ලබාගන්න වගේම පරිසරයට අවම හානියකින් යුතුව කටයුතු කරන්නත් සංචාරකයන්ට හැකියාව ලැබෙනවා. 

කෙසේ වුවත් දශක කිහිපයක් පුරා තිබුණු යුද්ධයත් අනතුරුව අවිධිමත් විදිහට සිදුකරපු ස්නෝක්ලින් සහ වෙනත් සංචාරක ක්‍රියාකාරකම් නිසාත් මෙතැන කොරල්වලට ලොකු හානියක් සිදුවුණා. ඒ නිසාම දැනට ස්නෝක්ලින්වල යෙදීමට ඉඩ ලබාදී තිබෙන්නේ සීමිත ප්‍රදේශයක පමණයි. 

ස්නෝක්ලින් අත්දැකීමට අමතරව ත්‍රිකුණාමලයට යන ඔබට පොදු රාජ්‍ය මණ්ඩලීය යුද ස්මාරකය, වරාය, මාළු වෙළෙඳපොළ, ෆෙඩ්‍රික් කොටුව, කෝනේෂ්වරම් කෝවිල, ලවර්ස් ලීප්, ස්වාමි කන්ද වැනි බොහෝ දේ දැකගන්න පුළුවන්. 

♦ සනත් වීරසූරිය