2018 මැයි 26 වන සෙනසුරාදා

වැස්සත් එක්ක පැතිරෙන ලෙඩ ගොඩක්!

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 133

මේ දිනවල පවතින අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය නිසා ඇති වන ආපදා හේතුවෙන් බොහෝ දෙනාට එදිනෙදා ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබේ. මහ වැසි හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටලු පැන නැගීමත් රෝග සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී යාමත් දැකගත හැකිය. එබැවින් ඒ පිළිබඳව දැනුම්වත් වීම, රෝගවලින් ආරක්ෂා වීමට අත්‍යවශ්‍ය වේ.

අධික වර්ෂා කාලයත් සමඟ සිදුවන කාලගුණික විපර්යාස හේතුවෙන් මෙවැනි සෞඛ්‍ය ගැටලු ඇති වීම සාමාන්‍ය දෙයක් වුවද පෙර සූදානම හා අවශ්‍ය පියවර ගැනීම මඟින් සිදුවිය හැකි බොහෝ උපද්‍රවවලින් ආරක්ෂා වීමට ඉඩකඩ හදාගත හැක.
මෙවැනි කාලවකවානුවක ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග පැතිරීම, ආරම්භයේදීම දක්නට ලැබෙන්නකි. උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ ආසාදන ආදිය සීඝ්‍රයෙන් පැතිර යයි. කුඩා ළමුන්, මහලු පුද්ගලයන්, දීර්ඝ කාලීන කායික රෝගවලින් පෙළෙන්නන්, ඇදුම ආදි කාලීන ශ්වසන ආබාධවලින් පෙළෙන්නන්, ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයන් ඉතා ඉක්මනින් මෙසේ පැතිර යන රෝගවලට ගොදුරු වේ. එබැවින් විශේෂයෙන් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

සෑමවිටම උතුරවා නිවාගත් ජලය පානය කිරීම ජනාකීර්ණ ස්ථානවල නිතර නිතර ගැවසීමෙන් වැළකීම, පොදු ස්ථානවල ගැවසීමෙන් පසුව හොඳින් දෑත් පිරිසිදු කිරීම හා ස්නානය කිරීම, කැස්ස හා කිවිසීමේදී ලේන්සුවක් භාවිතා කිරීම ආදී ක්‍රම මඟින් රෝග පැතිරීම වළක්වා ගත හැකිය. රෝග තත්ත්වයන්වලදී අවශ්‍ය නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතුය.

විශේෂයෙන්ම අධික වර්ෂාවත් සමඟ ඇතිවන ගං වතුර තත්ත්වය හේතුවෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සීඝ්‍රයෙන් පැතිරීම සිදු වේ. විශේෂයෙන් අසූචි මිශ්‍රිත පිටාර ජලය හේතුවෙන් E.Coli වැනි බැක්ටීරියා හා වෛරස් ආසාදන බහුලවම පැතිරීම සිදු වේ. අපවිත්‍ර ආහාර හා ජලය මඟින් ආසාදන හට ගනී. මෙවැනි අවස්ථාවන්හිදී අප ගන්නා ආහාර හා ජලය ඉතාමත් සුපරික්ෂාකාරීව භාවිතා කළ යුතු අතර සනීපාරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. මෙවැනි ආසාදනයන්ට ලක්වීමට ඉඩ ඇති ආහාර වර්ගවලින් ඈත්වීම ද ආරක්ෂාකාරී පියවරකි.

හොඳින් උතුරවා නිවාගත් ජලය පානය කරන්න. හැකි සෑම විටකම නිවසේ පිළියෙල කරගන්නා ආහාර පමණක් ආහාරයට ගන්න. එළවළු සහ පලතුරු ඉතා හොඳින් සෝදා පිරිසිදු කර භාවිතා කරන්න. අමුවෙන් භාවිතයට ගන්නා එළවළු පලා වර්ග ආදිය වෙළඳපොළෙන් ලබා ගන්නේ නම් වඩාත් ආරක්ෂාකාරී පිරිසිදු තැන්වලින් පමණක් මිලදී ගන්න. ගනු ලබන සෑම විටම හොඳින් සෝදන්න. පලා වර්ග සඳහා කතුරුමුරුගා වැනි පලා වර්ග පමණක් ආහාරයට ගන්න. විශේෂයෙන් මේ දිනවල තැන් තැන්වල ඇති කොළ කැඳ අලෙවිසැල්වලින් කොළ කැඳ බීම සීමා කරන්න. මස්, මාළු, බිත්තර හොඳින් පිස ආහාරයට එක්කරගන්න.

මෙවැනි ආසාදනයන්ට ලක්වූ විට වමනය, බඩ පිපුම, වේදනාව, අතීසාරය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ. මෙවැනි රෝග ලක්ෂණ පහළ වූ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. නිසි ප්‍රතිකාරවලට යොමුවිය යුතුය. රෝගියාගේ ස්වභාවය අනුව ඇතිවන තත්ත්වයන් ද වෙනස් වේ. එසේම රෝගියාගේ මෙන්ම නිවෙසේ අනෙකුත් සාමාජිකයන්ගේ සනීපාරක්ෂාව පිළිබඳව වඩාත්ම සැලකිලිමත් විය යුතුය. එමඟින් රෝගය පැතිරීයාම වළක්වා ගත හැක.

මීට අමතරව මෙවැනි කාලවලදී හමුවේ මතුවිය හැකි තවත් රෝග වන්නේ පිටාර ජලය හා අපද්‍රව්‍ය, මඩ ස්පර්ශ වීම හේතුවෙන් සමේ විවිධ ආසාදන තත්ත්ව ඇති වීමයි. එසේම තුවාල, සීරීම්, සමේ පළුදු වීම් ඇති විට මෙම තත්ත්වය භයානක විය හැක. මන්ද මාරාන්තික විෂබීජ ශරීරගතවීමට ඇති හැකියාව වැඩි බැවිනි. 

මී උණ, පිටගැස්ම වැනි රෝගයන්ට ගොදුරු වීමේ අවකාශ මෙවැනි කාල සීමාවල ඇති විය හැකිය. එබැවින් එය නොසලකා හැරිය යුත්තක් නොවේ. මෙවැනි ස්ථානවල ගැවසීම, අපරික්ෂාකාරී ලෙස වතුරට බැසීම ආදියෙන් ප්‍රවේසම් වීම වැදගත් වේ. රෝග ලක්ෂණ පහළ වූ වහාම නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත යුතුය.

ගං වතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යාමත් සමඟ මදුරු උවදුර හිස එසවීම බලාපොරොත්තු විය යුතුය. පහත් බිම්වල ජලය එක්රැස් වී ඇති ස්ථානවල කැලි කසළ අපද්‍රව්‍ය, බෝතල්, ටින් කැබලි, ටයර් ආදිය තැන තැන ගොඩ ගැසී තිබීමෙන් එම ස්ථානවල මදුරු කීටයන් වර්ධනය වීමෙන් සති කිහිපයක් තුළදී මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවේ.

මේ පිළිබඳව සැලකිලිමත් වීමෙන් පෙර සූදානම මඟින් මෙවැනි ව්‍යසනයන්ගෙන් බොහෝ දුරට වැළකී සිටිය හැකිය. තම අවට පරිසරයේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, තම තමන්ට පැවරෙන රාජකාරියක් ලෙස ක්‍රියාත්මක වීමෙන් එය පහසු කාර්යයක් වනු ඇත. එය පුද්ගල මට්ටමින් නොව කණ්ඩායමක් ලෙස සාමූහිකව සංවිධානාත්මකව කළ යුතු කාර්යයකි. මීට අමතරව මේ කාලවලදී ආයුර්වේදීය ආලේපන, ඖෂධීය දුම් භාවිතා කිරීමෙන් මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමට ද පියවර ගත හැකිය.

තමා අවට පරිසරයේ පැතිරී යන රෝග පිළිබඳව අවබෝධයක් තිබිය යුතු අතර රෝග උපද්‍රවවලින් ආරක්ෂා වීමට, පෙර සූදානමක් ද තිබීම ඉතා වැදගත් වේ. අවබෝධය තුළින් රෝග පැතිරී යාම වැළැක්වීම සඳහා පුද්ගල මට්ටමින් ගත හැකි පියවර ගැනීමෙන් මෙම ආපදා හානි වළක්වා ගැනීමට සියල්ලටම දායක විය හැක.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00