2018 ජුනි 02 වන සෙනසුරාදා

පිච්චෙන අව්වේ කොන්ක්‍රීට් තට්ටුවක පියා අතහැර ගිය පුතුන් දෙන්නා

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 193

දරුවන් විසින් මහමඟ දමා ගිය වයෝවෘද්ධ පියකු අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන හා මුදාගැනීමේ ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රතිකාර සඳහා රෝහලට යොමු කළ පුවතක් අනුරාධපුර රෝහලෙන් අසන්නට ලැබිණ. 
වාර්තා වන පරිදි මෙසේය.

උදේ වරුව වුවත් තදින්ම ඉර පායා තිබුණි. දැඩි හිරු රස්නෙට එළියට බැස ඇවිදීමත් අසීරුය. රටේ බොහෝ ප්‍රදේශවලට වැසි වැටුණ ද අනුරාධපුර නගරය හා අවට අධික උණුසුම උසුලන්නට බැරි තරම්ය. ඉරිදා නිවාඩු දවසේ ප්‍රසන්න නිවසින් පිටත් ගියේ අසළ ඇති වෙළඳසල වෙත යාමටය. අනුරාධපුර අභය පෙදෙසේ පිහිටි නගර සභා නිවාස සංකීර්ණය තුළින් පිටත් වූ ප්‍රසන්න අතුරු පාරක් දිගේ පැමිණ බැංකු පෙදෙසට ළං වූවේය. ගිනි ගහන අවුවේ මග තොට කිසිවෙක් පෙනෙන්නට නොවීය. මේ අතර නගර සභා නිවාස සංකීර්ණයේ අතුරු පාරකින් වේගයෙන් ගිය මෝටර් රථයකි. හදිසියේම රථය මාර්ගය පසෙකට කර නැවැත්වූවේය. එසැණින් ඉන් බැසගත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් රථයේ පසුපස අසුනේ උන් වයෝවෘද්ධ පුද්ගලයකු ඔසවා සැණෙකින් අසළ වූ නිවෙසක ගේට්ටුව ඉදිරිපිට වූ කොන්ක්‍රීට් තට්ටුව මත තබා පළා ගියහ.

සිදුවීම සියැසින් දුටුව ද ඒ වනවිට ප්‍රසන්න සිටියේ වයෝවෘද්ධ පුද්ගලයා අතහැර ගිය ස්ථානයට වඩා මීටර් 50කට පමණ ඈතිනි. රථයේ පැමිණි අයගේ නොමනා ක්‍රියාව දැක එය වළකන්නට හඬ නැගුව ද පළා ගිය වාහනයට ප්‍රසන්නගේ හඬ ඇසුණේ නැත. පළා ගිය පිරිසේ ක්‍රියාවත්, දුටු දෙයින් වූ කළබලයත් නිසා ප්‍රසන්නට පළා ගිය රථයේ අංකය හෝ පැහැදිලිව බලා ගැනීමට හැකි වූයේ නැත. මේ අතර පය ඉක්මන් කොට ගිය ප්‍රසන්න බිම වැටී සිටි වයෝවෘද්ධ තැනැත්තා අසළට කිට්ටු විය.

අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔහු ප්‍රසන්න හමුවේ යමක් පැවසීමට උත්සාහ කළේය. එහෙත් ඔහුට ඊට ශක්තියක් නැත. ඔහුගේ මුවින් හඬ නංවා යමක් ප්‍රකාශ කරන්නට තරම් ඔහුට සවියක් නොවීය. සිද්ධියෙන් කම්පා වූ ප්‍රසන්න කාටත් ඇසෙන පරිදි හඬ නැගුවේය. ඒ වන විටත් වයෝවෘද්ධ තැනැත්තා දමා ගිය තැන පිහිටි නිවෙස් හිමි කාන්තාව සිදුවීම දැක පාරට පැමිණියාය.

ඒ අතර එම නිවෙස ඉදිරිපිට අලුතින් ඉදිකරමින් සිටි නිවසක කටයුතු කළ කම්කරුවන් පිරිස ද සිදුවීම දැක තිබුණි. එහෙත් ඔවුනට පාරට බැසීමට තරම් වේලාවක් නොවූයේ උඩු මහලේ වැඩ කරමින් සිටියදී එකවර පැමිණීම අසීරු වන නිසාය. අවස්ථාවේ හැටියට කළ යුතු හොඳම දේ තීරණය කළ ප්‍රසන්න වහාම අනුරාධපුර ගිනි නිවීමේ හා මුදාගැනීමේ ඒකකයට දුරකථන ඇමතුමක් ලබා දී සිදුවීම සැල කළේ හැකි ඉක්මණින් රෝගියෙක් රැගෙන යාම සඳහා ගිලන් රථය බැංකු පෙදෙසට එවන ලෙස දන්වමිනි. ඒත් සමඟම ඔහු තවත් ඇමතුමක් ලබාගෙන වයෝවෘද්ධ පුද්ගලයකු මහමඟ දමා ගිය පුවත කියා සිටියේ අනුරාධපුර මූලස්ථාන පොලීසිය වෙතය.

ගිනි නිවීමේ ඒකකයේ ගිලන් රථය හෝ පොලීසියේ නිලධාරීන් පැමිණෙන තෙක් වුවද අසාධ්‍ය තත්ත්වයේ පසු වූ රෝගියා බලා ගැනීම දුෂ්කරය. ඒ තරමට වයෝවෘද්ධ පුද්ගලයා ගිලන්ව සිටින බව පෙනෙන්නට තිබිණ. පැය ගණනක් තද අව්වට රත් වී තිබුණු කොන්ක්‍රීට් තට්ටුවක් මතට අතහැර දමා සිටි වයෝවෘද පුද්ගලයා එහි පිළිස්සෙමින් සිටින්නේ අව් රස්නය ද ඉවසන්නට බැරි තරම් තිබියදීය. ඔහුගේ ඇඟ පත සොලවන්නට තරම් වාරු නැතත් අව් රස්නෙට පිච්චෙන නිසාම ඔහු ඒ මේ අත හැරීමට උත්සාහ කරයි. ඔහුගේ එක් පාදයක ගැට ගැසූ රෙදි පටියකි. බැලූ බැල්මට එතැන තුවාලයක් ඇතැයි සිතිය හැකිය. ඒ මදිවාට එහි පිටින් ගැට ගසා තිබුණේ යකඩ කම්බි පොටක් ආධාරයෙනි.

ඔහු විඳින වේදනාව දකින්නට බැරි අසල්වැසි නිවසේ කාන්තාව ප්‍රසන්නගේ උදව්වට පැමිණියාය. ඇය ඉදිරිපත් වී නිවසේ තිබූ ඇඳ ඇතිරිල්ලක් සමඟ කුඩයක් රැගෙන ආවාය. රෙදිකඩ කොන්ක්‍රීට් තට්ටුවත් වයෝවෘද්ධ පුද්ගලයාගේ සිරුරත් අතර දමා ඉතිරි කොටස ඔහුගේ සිරුර ආවරණය වන ලෙස දමන්නට ඔවුහු ක්‍රියා කළෝය. අනතුරුව කුඩය ඉසලා ඔහුගේ හිස අද්දරින් තැබුවේ ඉර එළියෙන් මඳක් හෝ ආරක්ෂා වන්නටය. ඊට වැඩි යමක් කරන්නට ප්‍රසන්න හෝ අසල්වැසි නිවසේ කාන්තාව ඉදිරිපත් නොවුණේ වයෝවෘද්ධ පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීමත්, මග අත්හැර දැමූ පුද්ගලයකු වීමත් නිසාය.

මේ වනවිටත් අඩ හෝරාවක් පමණ ගත වී අවසන්ය. පොලීසියේ නිලධාරීන් කිහිපදෙනකු එහි පැමිණෙන අවස්ථාවේදී නගර සභාවේ ගිලන් රථය ද එහි පැමිණියේය. රියදුරු රාජපක්ෂ සමඟ සහායක ජයසිංහ එහි වූහ. ප්‍රසන්න ජයසිංහ සමඟ එක්ව වයෝවෘද්ධ පුද්ගලයා ගිලන් රථයට නංවාගෙන වහාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළෝය.
දින කිහිපයකින් ආහාර වේලක් හෝ නොලබා සිටින්නට ඇතැයි අනුමාන කළ තැනැත්තා පෙනුමින් වයස අවුරුදු 80 ඉක්මවූවෙකි. රෝහල්ගත කළ සැණින් ඔහු දැඩිසත්කාර ඒකකයට යොමු කරන්නට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළේය. මෙම රෝගී පුද්ගලයා නිල් පැහැති රථයකින් පැමිණ මඟ දමා යන ආකාරය දැක එතැන් පටන් මෙකී කටයුතු සිදු කරන්නට වෙහෙස වී තිබුණේ අංක. 75, නගර සභා නිවාස, අනුරාධපුර ලිපිනයේ පදිංචි නගර සභා ගිනි නිවීම් ඒකකයේ සේවය කරන ඩබ්ලිව්. කේ. ප්‍රසන්න මධුසංඛ (26) තරැණයා සමඟ අභය පෙදෙසේ අසල්වැසි කාන්තාවකි.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර