2018 ජුනි 02 වන සෙනසුරාදා

ආරුගම්බේ උල්ල කදිම නවාතැන්පොළ සනීපා හොලිඩේ

2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00280

අපේ රටේ ගිනිකොණ වෙරළ තීරයේ පිහිටා ඇති ආරුගම්බේ කියන්නේ ලෝකය පුරා රළ පැන්නුම් (සර්ෆින්) ක්‍රීඩාවේ යෙදී සිටින බොහෝ දෙනකු අතර ජනප්‍රිය ලෝකයේ හොඳම සර්ෆින් ස්ථාන 10 අතරට අයිති වන තැනක්. ලයිට් හවුස් පොයින්ට්, විස්කි පොයින්ට්, පොතුවිල් පොයින්ට්, සටාර්ඩස්ට් පොයින්ට් වගේ ජනප්‍රිය රළ පැන්නුම් ස්ථාන කිහිපයක්ම මේ මුහුදු තීරයේ දකින්න පුළුවන්. 

ආරුගම්බේ උල්ල නමින් හඳුන්වන ස්ථානයේ පිහිටල තියෙන සනීපා හොලිඩේ බංගලාව කියන්නේ මේ ප්‍රදේශයේ පිහිටලා තියෙන නවීන පන්නයේ සුවපහසු සංචාරක නවාතැනක්. ආරුගම්බේ සර්ෆින් ඉසව්වේ සිට මිනිත්තු 10ක දුරින් පිහිටා තිබෙන මේ හෝටලය මුහුදට, සර්ෆින් ක්‍රීඩාවට ඇදෙන සංචාරකයන්ට වගේම වනජීවී සුන්දරත්වය විඳින්නට ත්‍රාසජනක අත්දැකීම් විඳින්නට පැමිණෙන අයටත් පුරාවස්තු, නටබුන්වලට ඇල්මක් දක්වන සංචාරකයන්ටත් කදිම නැවතුම්පොළක්.

වෙල් යායකට මුහුණලා ඉතාමත් නිස්කලංක පරිසරයක පිහිටා ඇති මේ හෝටලයේ තිබෙන්නේ කාමර හයක් පමණයි. මේ කාමර හයම නිර්මාණය කර තිබෙන්නේ පවුලේ කාමර ලෙසයි. එනම් ප්‍රධාන නිදන ඇඳට උඩින් තවත් ඇඳක් ළමුන් වෙනුවෙන් වෙන්කර තිබෙනවා. මූලිකව පවුලේ නවාතැනක් ලෙස පවත්වාගෙන යන මේ හෝටලයේ ළමුන් සඳහාම වෙන්වුණු විනෝද උයනකුත් තිබෙනවා.

කුඩා හෝටලයක් වුවත් මෙහි 24 පැයේ කාමර සේවාව, උණු ජලය, විදුලි පංකා, සේප්පු, වායුසමනය, වයිෆයි වැනි පහසුකම් රැසක් පවතිනවා.  මේ හෝටලයේ ආහාරපාන අතරින් ප්‍රමුඛතාවය ලැබෙන්නේ දේශීය ආහාරපාන වෙනුවෙනුයි. ඊට අමතරව අමුත්තන්ගේ කැමැත්ත පරිදි ඉතාලියානු, වෙනත් බටහිර සහ පෙරදිග ආහාර වර්ග ඇණවුම් කළ හැකියි. 

හෝටලයේ සිට කුමන, ලාහුගල සහ ගල්ඔය වැනි ජාතික වනෝද්‍යාන කරා පහසුවෙන් ළඟා විය හැකියි. අලි, කිඹුලන්, දිවියන්, වලසුන්, වල් ඌරන් සහ විවිධ පක්ෂි විශේෂ මේ තැන්වලදී නරඹන්න පුළුවන්. 

ඊට අමතරව පොතුවිල් - මුහුදු මහා විහාරය, විහාරමහා දේවිය ගොඩබට කොමරි නම් ඓතිහාසික ස්ථානය, කාවන්තිස්ස රජු හා විහාරමහා දේවිය විවාහ වූ බවට සැලකෙන ලාහුගල මඟුල් මහා විහාරය, මෙරට එකම සිලින්ඩරාකාර දාගැබක් සහිත කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය, අතීත පානම ගම්මානය, ඔකඳ හින්දු කෝවිල, කුඩා කැබිලිත්ත, උරනිය කලපුව වැනි සංචාරක ආකර්ෂණ රුසක් මේ අවට පිහිටා තිබෙනවා. 

♦ සනත් වීරසූරිය
සේයාරූ - රංජිත් පෙරේරා

2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00