බැඳීම් හරි අපූරුය... ඇහැ ගැටෙන සියල්ලෙන් සතුට පමණක්ම ගෙනෙන්නටත්, සියල්ල හොඳින් තිබියදී පුංචිම පුංචි දේකින් ජීවිතය කඩා බිඳ දාන්නටත්, බැඳීම්වලට හැකිය... ඉතින් මම හැමදාමත් බැඳීම්වලට බියවීමි. බැඳීම්වලින් පැන දිවීමි.
නමක් නැති බැඳීමක් අරගෙන... මගේ හිත අස්සේ ලැඟුම්ගන්නට, එහෙව් මම උඹට ඉඩ දුන්නේ කොහොමදැයි මම තවමත් සිතමි... උඹෙන් පැන දුවනු වෙනුවට... උඹේ ඇස් ළඟ නතරවන්නට... හිත තීරණය කළේ කොහොමදැයි මම දන්නේත් නැත...
මට උඹෙන් මිදෙන්නට උවමනාය...
පොඩි එකකු මෙන් උඹ ළඟ දැවටෙන්නට නොහැකි බව දැනෙනවිට... ඔක්කෝම ඕපාදූප.. වරැ ගණන් උඹත් එක්ක කියවන්නට ඕනා වූ වෙලාවක - තත්පර ගණනකින් සමුගන්නට සිදුවනවිට... උඹේ හඬ නැතිව හිතම ගොළු වී යන විට... නෙතු අගිස්සට උනන කඳුළු නවත්තාගන්නට මට උවමනාය...
උඹේ හඬ ඇහෙනතුරු... උඹේ ඇස් දකිනතුරු... ලෝකයම කළුවර වෙනවිට.... සීත වැහිකෝඩය අස්සේ උඹේ උණුහුමට තුරුලු වී ඇස් පියාගන්නට ඕනා වූ විට... හිත හීරෙන මේ බැඳීමෙන් නිදහස්වෙන්නට මට උවමනාය... වෙනදා වාගේ කිසිත් ගැන වගක් නැතිව ඔහේ පාවෙවී හිනාවෙන්නට මට උවමනාය...
ඉතින් මම වචන අහුලමි. උඹත් සමඟ ඇති බැඳීමෙන් නිදහස් වෙන බව උඹට කියන්නට වචන අහුලමි..
උඹේ හඬ ඇසෙනතුරු පෙරමඟ බලමි. කතාව සූදානම්ය... උඹ පරක්කුය...
තත්පර දවස් වී දැනේ... උඹෙන් මිදෙනු වෙනුවට, උඹ නැති පාළුවෙන් හිත පිරී යයි. සමුගැනීමේ කතාව වෙනුවට, නෝක්කාඩුවලින් උඹට දමා ගසන්නට හිතෙයි... හිත අස්සේ උපදින කඳුළු නෙතු අස්සෙන් එළියට පනියි...
උඹේ හඬ ඇහෙනවිට... ඉතින් මට කතාව අමතකය... අහසේත්, පොළොවේත්, හිත අස්සේත් මල් පිපෙන්නට ගනී... තරු දිලෙන්නට ගනී... හිත හිරිවැටෙන්නට ගනී...
උඹ මාව අතරමං කොට ඇත...
►රජිතා අබේසිංහ