2018 ජුනි 02 වන සෙනසුරාදා

ගංවතුර ආධාර

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 133

දුම්රියේ යන දෙදෙනෙක් කතා කරමින් සිටිති. එක් අයෙක් කවුළුවෙන් පිටතට හිස දමා බැලීය.

“වතුර මට්ටම නම් බැහැලා වගෙයි නේද?”

“ඒත් එක්කම අපේ ආර්ථික මට්ටමත් සීයට තුනකින් නගිනවා කියන්නෙ.”

“හැබෑට? වතුර මට්ටම නම් බැහැලා කියලා පේනවා. ඒත් ආර්ථික මට්ටම නැගලා කියලා පේන්නෙ නෑනෙ.”

“කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියන්නෙ ඕක තමයි.”

“සමහර විට ඕකේ ඇත්තකුත් ඇති. ආර්ථිකය නැගලා ඇති. ඒත් අපේ නෙමෙයි, ඒගොල්ලන්ගෙ.”

දෙදෙනාම සිනාසෙමින් මා දෙසද බැලූහ. එය නොදුටුවාක් මෙන් මා ඉවත බලාගත්තේ, ප්‍රසිද්ධ ස්ථානවල දේශපාලනය කතා කිරීම මගේ ප්‍රතිපත්තිය නොවන බැවිනි. එහෙත් තීරුලිපි ලියන්නකු වශයෙන් මම හොඳ අසන්නකු ද වෙමි. මගීන් දෙදෙනා යළිත් කතාවට වැටුණි.

“ලක්ෂ ගණන් පඩි ගන්න මහජන සේවකයන්ගෙ නම් ආර්ථිකය නගිනවා ඇති. පහුගිය දවස්වල හෙළිවුණේ ඡන්ද වැඩවලට ලක්ෂ දහයේ මලු ලැබුණු හැටිත්.”

“ඒත් එක උන්නැහේ කෙනෙක් කියල තිබුණෙ, ඒ ලක්ෂ දහය හරියට මුහුදට වැටුණු පොල් ලෙල්ලක් වගේය කියලා.”

“එහෙනම් එයා බලාපොරොත්තු වෙන්න ඇත්තේ පොල් මුරයක්ම වෙන්නැති.”

“නිකම් ඉන්න පලියට පොල් ලෙල්ලක් වුණත් බාරගන්න අයත් ඉන්නවනෙ. ඒකනෙ ප්‍රශ්නෙ.”

“අනේ මේ අපිට තමයි පොල් ලෙල්ලක් තියා මුඩ්ඩක්වත් නැත්තෙ.”

“මුඩ්ඩක් දුන්නත් ඒකටත් බද්දක් ගහයි”

ඒ ඇසූ අසල අසුනක මගියෙක් උස් හඬින් සිනාසුණේය. සිනාවද, විරෝධය දැක්විය හැකි මාර්ගයකි. අනෙක් අතට හඬා වැළපීමට වඩා සිනාසීම සෞඛ්‍යයට හිතකරය. විකට නළු ෆ්‍රෙඩී සිල්වා පැවසූ අන්දමට මේ රට කොමඩි කන්ට්‍රියකි. තවත් ප්‍රකට විකටයකු වූ දීපාල් සිල්වා කියූ අන්දමට මේ රටේ මිනිස්සු කෙළින්නේ තනිකර පිස්සුය. ඒ පිස්සු දකින විට සිනා පහළවීම සාධාරණය.

පිස්සු කෙළින්නේ සොක්කන් නොව ලොක්කන් වීම, සිනාවට තුඩුදෙන තවත් කාරණයකි. ඔවුන්ගෙන් සමහරු පිස්සු කෙළින්නේ, තමන්ගේ නම පත්තරේ හෝ ටී.වී. එකේ දමාගැනීමටය. ඒවා පිස්සු වැඩටත් වඩා ළංවන්නේ ගොන් පාට්වලටය. මිනිස්සු ඒවාටද සිනාසෙති. ඒ සිනාව පතුළේ තිබෙන්නේ හිරිකිතයකි.

මේ රටේ “නම්බර් වන්” ලොක්කෙක්, වැඩ බාරගැනීමේදී කියා සිටියේ, ලංකාවේ ජනතාව දේශපාලනඥයන් පිළිකුල් කරන බවය. එය සැබෑවක් බව ඒ ලොක්කන් විසින්ම, අද සනාථ කරමින් සිටීමද සිනාවට කරුණකි. මේ ආකාරයෙන් බැලූවිට ලංකාව “කොමඩි ස්ටාර්ස්”ලාගෙන් අඩුවක් නැති දේශයකි. බඩු මිල ඉහළ යනවිට පටි තදකරගන්නැයි ජනතාවට අවවාද උපදේශ ලැබුණද, “සිනා සී තරවෙනු” යන ආප්තෝපදේශයට අනුව කටයුතු කරන නිසා රටවැසියා තරබාරුය. පුෂ්ටිමත්ය. පොඩි පරහකට ඇත්තේ, මන්දපෝෂණයෙන් පෙළීම පමණි. ඔවුන්ගේ පාලකයෝද පුෂ්ටිමත්ය. තරබාරුය. පරහකට ඇත්තේ අධිපෝෂණය සහ නිදිමතයි. නින්දෙන් අවදිව සිටින විට ඔවුහු මරු කතා කියති.

එක්තරා ප්‍රාදේශීය දේශපාලනඥයකුට අනුව, ගංවතුර වැනි ස්වාභාවික ආපදාවන්ද, ජනතාවට සැඟවුණු ආශිර්වාදයකි. ආපදාවට පත්වූවන්ට විශාල වශයෙන් ආධාර ලැබේ. එහෙයින්, ඊළඟ ගංවතුර එනතුරැම ඔවුනට සුඛිත මුදිතව ජීවත් විය හැකිය. (ගිය අවුරුද්දේ ගංවතුර ආපදා ආධාර, මේ වසරේ ගංවතුර දක්වාම නොලැබුණු තැන්ද තිබිය හැකිය. ඒවා බාරකළ යුත්තේ පූරුවේ කරුමයටය.)

ගංවතුරින් සිදුවන ජීවිත අනතුරු අවම කරගැනීම සඳහා, තරුණ දේශපාලනඥයෙක් අලුත් යෝජනා කිහිපයක් ගෙන ආවේය. ගංවතුරට ලක්වන පළාත්වල බාල, මහලු සැමට පිහිනුම් පන්ති පැවැත්විය යුතුය. ඊට අමතරව සෑම නිවසකටම බෝට්ටුවක් බැගින් ලබාදිය හැකිය. තනි තට්ටුවේ ගෙවල් සඳහා උඩුමහලක් ඉදිකර දිය යුතුය. එවිට, ගංවතුර බැසයන තෙක් උඩුමහලට වී, අවට සිරි නරඹමින් කල්ගත කළ හැකිය. අනාථ කඳවුරැවල දුක් විඳිය යුතු නැත.

ගංවතුර ඇතිවන්නේ ගංගාවක් නිසා බැවින්, පහත් බිම් ගොඩකිරීමේ මණ්ඩලය ලවා, අනවශ්‍ය ගංඟා වසාදැමීමට මෙම දේශපාලකයාට කල්පනා නොවීම පුදුමයකි.

“කියන දේ නාහන එකා උලේ හිටියත් එකයි, පිලේ හිටියත් එකයි” කියන කතාව, අපේ බොහෝ මිනිසුන් සම්බන්ධයෙන් ප්‍රායෝගික සත්‍යයකි.

එක් ගමක් හරහා ගලායන ගංගාව වර්ෂා සමයේ පිරී ඉතිරී, අවට නිවෙස් යටකරමින් දෝරේ ගලන්නට විය. තනිවම විසූ මහළු පුද්ගලයෙක් තම නිවසේ වහලයට නැඟ ගත්තේය. ජල මට්ටම ටිකෙන් ටික ඉහළ යද්දී බෝට්ටුවක් පැමිණ මහළු මිනිසා එහි නංවාගැනීමට උත්සාහ කළේය.

එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය.

“මම දෙවියන්ගෙන් උදව් ඉල්ලල තියෙන්නෙ. උන්වහන්සේ මාව බේරගනීවි.”

බෝට්ටුව ආපසු ගියේය. වැස්ස වැඩි විය.

ජල මට්ටම තවත් ඉහළ ගියේය.

වහල මුදුනේ සිටින මහල්ලා දුටු, නාවික හමුදා යාත්‍රාවක් එහි ළඟාවිය.

“ලොකු උන්නැහේ, ඉක්මනට මේකට නැගගන්නවා.” නාවික භටයෝ කෑගැසූහ.

“නෑ මම දෙවියන්ගෙන් උදව් ඉල්ලලා තියෙන්නෙ. උන්වහන්සේ මාව බේරගනීවි.”

නාවික යාත්‍රාවද නික්ම ගියේය.

තවත් දිනක් යද්දී නිවස වතුරින් යටවී, නොපෙනී යන්නට ආසන්න විය. ඒ දුටු හෙලිකොප්ටරයක් නිවසට පහත්ව, මහල්ලා එහි නංවාගැනීමට උත්සාහ දැරුවේය. මහල්ලා සුපුරුදු පිළිතුරම දුන්නේය.

එදින රාත්‍රියේ, ගංවතුරට හසුවී, මහල්ලා මියගියේය.

ශ්‍රද්ධාවන්ත පුද්ගලයකු බැවින් ඔහු, දෙව්ලොව උපන්නේය. මහල්ලා දෙවියන් හමුවට ගොස්, මෙසේ දොස් පැවරුවේය.

“මම ඔබවහන්සේ කෙරෙහි විශ්වාසයෙන් බලන් හිටියා. ඒත් මට උදව් කළේ නැත්තේ ඇයි?”

එවිට, දෙවියෝ මෙසේ පැවසූහ.

“ඇයි ලොකු උන්නැහේ, මම තමුසෙට බෝට්ටු දෙකකුයි, හෙලිකොප්ටර් එකකුයි එව්වා. තමුසෙ ඒවට නැග්ගෙ නැතුවට මම පලිද?”

►කපිල කුමාර කාලිංග

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00