කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
එදිනෙදා ජීවිතයේදී ගෘහනියන්ට, අරක්කැමියන්ට සහ සමාජයේ ඇති නැති සැමටම ගිනි පෙට්ටිය නැතිවම බැරි මෙවලමක් බවට පත්ව තිබේ. එහෙත් මේ වනවිට ලංකාව පුරාවටම ගිනිපෙට්ටි හිඟයක් ඇතිවෙමින් පවතින බව වාර්තා වෙයි. මෙම හිඟය නිසා රට පුරාවටම පාරිභෝගිකයන්ද දැඩි අපහසුතාවයට පත්වීමට වැඩි කලක් ගත නොවනු ඇත.
ගිනිකූරු නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යය ගෙන්වා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස ගිනි පෙට්ටි නිෂ්පාදනය ක්‍රමවත්ව පවත්වා ගෙන යාමට නොහැකි වී තිබෙන අතර අට දහසක පමණ මෙමගින් යැපෙන වෘත්තිකයන්ගේ පවුල්වලටද කණකොකා හඬන තත්ත්වයක් මේ හේතුවෙන් උදා වී ඇත.
මේ වනවිට මෙරට තුළ ගිනිපෙට්ටි කර්මාන්ත ශාලා 11 පමණ ක්‍රියාත්මක වේ. මේ යටතේ විවිධ නම් වලින් ගිනිපෙට්ටි වෙළෙඳපොළේ දැකිය හැකි අතර සූර්යා, ශක්ති, ජෙට්, ඩයමන්, පැන්ඩා, ඇලඩින් ආදී විවිධ නම් යටතේ ඒවා හඳුන්වා දිය හැකිය. ගිනිපෙට්ටි සකස් කරන්නට වැයවෙන අමුද්‍රව්‍යයවල කිලෝවක මිල රුපියල් 265 සිට 285 හා රුපියල් 1360 දක්වා ගණන් වෙයි. එමෙන්ම වෙඩි බෙහෙත් හා රසායනික සංයෝගවල එකතුවක් මත මෙම මුදල තක්සේරු වෙයි.
දැනට ලංකාවේ ඉටි ගිනිකූරු හා ලී ගිනිකූරුවලින් සකස් කළ ගිනි පෙට්ටි දැකිය හැකි අතර මෙම කර්මාන්තයේ නියැලෙන කම්කරුවන්ට රුපියල් 18,000 සිට ඉහළ මාසික වැටුපක් ලබාදෙන බව දැනගැනීමට ලැබුණු අතර ඔවුන් කියා සිටියේ මෙම කර්මාන්තය අර්බුදයට ලක් වුවහොත් තමන් සියල්ලන්ටම ආ ගිය මඟක් සොයාගැනීමට නොහැකි වන බවයි.
සේයඩ් අලි:
“මේ වෙනකොට ගිනි පෙට්ටි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ අර්බුදයක් මතුවෙලා තියෙනවා. අපි වැඩකරන ආයතනයෙත් තවත් සතියක්, දෙකක් ගිනිපෙට්ටි නිෂ්පාදනය කරන්න විතරයි අමුද්‍රව්‍යය තිබෙන්නේ. මේ කර්මාන්තයෙන් තමයි අපේ පවුලේ අය ජීවත් වෙන්නේ. මට පාසල් යන වයසේ දරුවන් ඉන්නවා. මේ කර්මාන්තය වැසී ගියොත් එකපාරටම අපිට යන එනමං නැතිවෙනවා. එකපාරටම රස්සාව නැතිවුණොත් අපේ මේ කර්මාන්තයේ යෙදී ඉන්න සේවකයන්ට මොකද වෙන්නේ? ඒ නිසා අපි වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේකට අවශ්‍ය පියවර ඉක්මණින් ගන්න කියලා.
ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් කේ.කේ.එස්. හයිදර් අලි:
පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස්වලින් තමයි ගිනිකූරු නිෂ්පාදනය කරන්නේ. මේවා නැතුව ගිනි පෙට්ටි හදන්න බැහැ. මේ පුපුරණ සුළු ද්‍රව්‍යය දෙකම අපිට ගෙනල්ලා දේනනේ ආරක්ෂක අංශය විසින්. නේවි එකෙන් ටෙන්ඩර් ක්‍රමයට තමයි අපිට මේවා ගෙනත් දෙන්නේ. ආරක්ෂක අංශ මගින් අලුතින් ටෙන්ඩර් කැඳවපු නිසා මේ වෙනකොට අපිට අමුද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඉතින් මේ අමුද්‍රව්‍යය හිඟවීම මේ රටේ ගිනිපෙට්ටි නිෂ්පාදනය කරන කර්මාන්ත එකොළහටම බලපාලා තියෙනවා. තව සතියක් දෙකක් යනකොට මේ අමුද්‍රව්‍යය නොලැබුණොත් රටපුරා ගිනිපෙට්ටි හිඟයක්ද ඇතිවෙන්න පුළුවන්. මෙහෙම වුණොත් අපිට සිදුවෙනවා මේ ගිනිපෙට්ටි නිෂ්පාදනය අතහැර දාන්න. ඒ වගේම තමයි 8000ත් 8500ත් පමණ වන සේවකයන් පිරිසක් මේ කර්මාන්තයේ නියැලී සිටිනවා. යම් හෙයකින් මේ කර්මාන්ත ශාලා වැසී ගියහොත් මේ අමුද්‍රව්‍යය හිඟය නිසා ඒ පිරිසට රැකියා අහිමිවීමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා අපි ඉල්ලනවා ඉතා ඉක්මණින් මේකට විසඳුමක් ලබාදෙන්න කියලා.
මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනිපෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමය පසුගියදා කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවූ අතර එහිදී අමාත්‍යවරයා ඔවුන්ගේ හමුවෙන් අනතුරුව මාධ්‍යයට මෙලෙස අදහස් දක්වා තිබුණි.
“ගිනි පෙට්ටිකරුවන් ලෙස ඔවුන් පත්වී තිබෙන තත්ත්වය ගැන මම කනගාටු වෙනවා. අපි ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශය සමග සාකච්ඡා කර එම රසායනික අමුද්‍රව්‍යය ගෙන්වීමට ඇති බාධක සියල්ලම ඉවත්කර අවශ්‍යය අමුද්‍රව්‍යය ලබාදීමට මුලින්ම පියවර ගන්නවා. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය කඩිනමින් විසඳා දීමට මගේ අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් පියවර ගන්නවා. ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකස් කරලා මෙම ගැටලුවට විසඳුමක් ලබාදෙන්න සැම පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවා.
කෙසේ නමුත් අනාදිමත් කාලයක සිට ලෝකයේ ගිනි පෙට්ටි කර්මාන්තය පැවතිණි. ගිනි පෙට්ටියක් නැති නිවෙසක් අප රටේ සොයාගත නොහැකිය. එතරම්ම ගිනි පෙට්ටිය අපේ ජන ජීවිතයට සමීපය. ගිනි පෙට්ටි අර්බුදයෙන් පාරිභෝගික ජනතාව මුදා ගැනීමට විසඳුමක් ලබාදීමටත් ගිනි පෙට්ටි කර්මාන්තයේ නියැලී සිටින සේවක පිරිසගේත් රැකියා ආරක්ෂා කර මෙයට හැකි ඉක්මණින් විසඳුම් ලබාදීමත් බලධාරීන් සතු යුතුකමකි.
►හසිත් අංජන