මේ දිනවල රටේ පරිසරය විපරිත බවට පත්ව ඇත. වර්ෂාව හා බිහිසුණු ජලගැලීම් එක් පැත්තක සිදුවන අතර තවත් කොටසක ජනතාව නියඟයෙන් පීඩාවිඳිති. නායයාම්, අකුණු සැර, ජල රකුසාට බිලිවීම් ආදිය මෙන්ම භයානක ලෙඩරෝග නිසාද ජනතාව කබලෙන් ලිපට වැටී සිටිති. බොහෝ දෙනා පවසන්නේ තමන් මෙලෙස විපතට වැටීමට හේතුවන ස්වභාව ධර්මය කිපී ඇත්තේ රටේ පාලකයන්ගේ වැරදි නිසා බවය. රටේ වංචා දූෂණ ක්‍රියා ඉහළ යාම, පාලකයන් ක්‍රෝධයෙන් කටයුතු කිරීම, එකිනෙකාට රොස් පරොස් තැබීම ආදී ක්‍රියා මෙම ස්වභාවික විපත්වලට හේතුවන බවද ඔවුහු සලකති. පෙර රජදරුවන්ගේ කාලවලදීද අධාර්මික පාලකයන් ඇතිවූ විට රටේ ජනතාවට විවිධ විපත් ගෙන දුන් බවද ඉතිහාසය කියයි.
කෙසේ වුවද අද ඇතිවෙමින් පවතින ස්වභාවික කාලගුණ විපර්යාසයට ලංකා කේන්ද්‍රය පමණක් බලපාන්නේද, නොඑසේ නම් පාලකයන්ගේ පාලිතයන්ගේ ජන්ම කේන්ද්‍ර බලපානවාද යන්න පිළිබඳ සාකච්ඡා කළ යුතුව ඇත.
කිසියම් රටක ජීවත්වන ජනතාවගේ ජීවන රටාවට අනුගතව ඔවුන්ගේ ආහාර පාන, ඉඳුම් හිටුම්, සිතුම් පැතුම් ආදිය මෙන්ම පවතින භූමියේ ස්වභාවය හා දේශගුණික බලපෑම මත එයට ආවේණික වූ සංස්කෘතියක් තුළ පැවතීම ස්වභාවයයි. එය යහපත් පැවැත්මකට උරුමයකි. එය තව තවත් ශක්තිමත් කරන්නට අතීතයේ විසූ රජදරුවන්ගෙන් ලද සහයෝගය අතිමහත්ය. රටේ දේශගුණයට හා සංස්කෘතියට හානි නොවන ආකාරයේ කාලයට උචිතව රට ගොඩනැගීමට හෙළ රජවරුන් ගත් උත්සාහය අතිමහත්ය. ඔවුන් වැඩි අවධානයක් යොමුකළේ ජනතාව සමඟ දැහැමි පිළිවෙත් අනුගමනය කරමින් රට ගොඩනගන්නටයි. පෘථිවියෙහි වෙසෙන මිනිසුන්ගේ ප්‍රඥාව වර්ධනය කරන්නට හා සිත සමාධිගත කරන්නට බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාගේ බලපෑම එක එල්ලේම දායකත්වය සැපයේ. අනුරාධපුර රුවන්වැලි මහසෑය ගොඩනැගීම නිසා සෑම දිනකම කිසියම් මොහොතක මහ සෑයේ කොත් වහන්සේ වෙත ගුරු ග්‍රහයාගේ මුදුන්වීම රටට මහත් වූ ආශිර්වාදයකි. ඒ තුළින් රටේ ජනතාව මෙන්ම ඉදිරි රජවරුන්ද දැහැමින් රට කරවීම නිසා සමෘද්ධිමත් රටක් බවට පත් විය. සූර්යයා අස්විද නැකත මුල්කොටගත් මේෂ රාශියට සංක්‍රමණය වන මොහොතේ මුළු මහත් ජනතාවම දැහැමි සිත් පෙරදැරිව නැකැත් පද්ධතියක් තුළ එකම මොහොතක යහපත් ධනාත්මක සිතිවිලි විශ්වයට මුදාහැරීම නිසා ස්වභාව ධර්මයේ යහපත් ප්‍රතිචාර භුක්ති විඳිමින් සෞභාග්‍යමත් රටක් තුළ ජීවත් වන්නට අපට හැකි විය.
මිහිතලයෙහි වෙසෙන ජීවීන්ගේ බලය, ක්‍රියාකාරකම් මෙන්ම කඳු හා ගොඩනැගිලි ආදියට මෙන්ම භූ චලන, ගිනිකඳු, පර්වත ආදිය ඇතුළු මුළු භූමිය කෙරෙහි බලපවත්වන ග්‍රහයෙක් හැටියට අඟහරු හෙවත් කුජ ග්‍රහයා ජ්‍යොතිෂයේදී හඳුන්වනු ලබයි. පෘථිවි ගෝලයෙහි එක් පසෙක මෙම අඟහරු ග්‍රහයා ගමන් කරන පථය පිහිටා ඇති අතර අනිත් පසින් ජීවීන්ගේ පස්කම් සැප ඔවුන් වෙත ළඟාකරගැනීම උදෙසා බලපෑම් කරන්නට දායක වන සිකුරු ග්‍රහයාගේ ගමන් පථය පිහිටා ඇත. මෙම ග්‍රහයන් දෙදෙනාගේ බලපෑම් ක්‍රියාවට නගන්නට මිනිසාගේ සිතිවිලි තුළට යොමුකරන්නේ පෘථිවිය වටා ගමනේ යෙදෙන සඳු ග්‍රහයා වේ. ඒ අනුව ජීවීන්ගේ අසීමිත ආශාවන් සංතර්පණය කරන්නට මේ ග්‍රහයන් තිදෙනා නිරන්තරයෙන් සැදී පැහැදී සිටිති. ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර දෙයි. මෙහිදී අසීමාන්තික ආශාවන් පසුපස හඹායන මිනිසා පරිසරය ගැන නොසිතා තම අභිමතාර්ථයන් ගැන පමණක් සිතීම එහි අවසානය මහා ව්‍යසනයක් ඇතිකරන්නට හේතුවක් වෙයි. සූර්යයා ඇතුළු සියලුම ග්‍රහයන් අපේ රටට මුදුන්වීම නිසා ග්‍රහයන්ගේ වැඩි බලපෑමක් ඇති කරයි. ඒ නිසාම අපට උරුම සංස්කෘතිය, දර්ශනය, විද්‍යාව හා ආගම අපේ රටේ දියුණුව වෙනුවෙන් බෙහෙවින් බලපායි.
කඳුවැටියෙන් ගලා හැලෙන දිය දහරාවන්ගෙන් පෝෂණය වන රටම විනාශ කරන්නට මුල් අඩිතාලම දැමුවේ සුද්දන් මේ රට අල්ලාගැනීමත් සමඟය. ඒ කඳුකරය මුඩුබිම් බවට පත් කිරීමෙනි. ලෝකයම මවිත කරවූ අපේ වාරිමාර්ග පද්ධතිය විනාශ වන ආකාරයට මහා මාර්ග තනන්නට සැලසුම් කිරීම ඊළඟ පියවරයි. අපට උරුම බුද්ධිමය දේපල විනාශ කර අපට උරුම වූ සංස්කෘතිය අවඥාවට ලක්කොට ඔවුනට ලැදි අයට නිලතල හා වරප්‍රසාද ලබාදීම සුද්දන් අපට කරනු ලැබූ බරපතළම විනාශයයි. ඒ නිදහසින් පසු මේ රට පාලනය කරන්නට සුදුසු පුද්ගලයන් ඔවුන් වීම මහා ඛේදවාචකය විය. එහි ප්‍රතිඵලයක් වූයේ තම බලය රැකගැනීම උදෙසා ඕනෑම පහත් ක්‍රියාවක් කරන්නටත් එකිනෙකා අතරේ වෛරීය සිතුවිලි මල්පල ගන්වන්නටත් උත්සාහ දැරීමය. අපේ රටට නොගැලපෙන නමුත් සංවර්ධනයක් කරනවා යැයි කියාගන්නා අතරේ තමන් දැහැමි යැයි ජනතාවට හැඟවෙන සේ කිසිම දැහැමි බවකින් තොරව වුවද මහා සංඝරත්නය වඩම්මවා දාන මාන පිළිගන්වන්නටත් ප්‍රදර්ශනයට මල් වට්ටි පූජා කරන්නටත් මෝස්තරයක් ලෙසට මහ නායක හිමිවරුන් බැහැදැකීමද අද පවා නිරන්තරයෙන් යොමුව ඇත. සාදාචාරාත්මක බවින් ඉහළ අගයක සිටි ලෝකයේ උතුම්ම රට බවට පත්ව තිබූ ශ්‍රී ලංකාව වර්තමානයේ ප්රචණ්ඩත්වය අතින් ප්රමුඛ ස්ථානයක සිටිනවා පමණක් නොව ස්වභාවික විපත් අතින් ලෝකයේ 4 වැනි ස්ථානයට පත්වී ඇති බවටද අනතුරැ අඟවා තිබේ. නමුත් දේශපාලනඥයන්ට අවශ්‍යව ඇත්තේ 2020 මැතිවරණයට මුහුණදීමට සූදානම් වීම පමණි.
දේශපාලනඥයන්ගේ දායකත්වයෙන් අපේ රටේ දැන් පවතින පරිසරය තුළ අපට යහපත් ලෙස ජීවත් වන්නට උචිත නොවන තැනට කටයුතු සැලසී හමාරය. මිනිස් සමාජයක් විසින් නිර්මාණය කරනු ලබන පරිසරයට අනුගතව ග්‍රහයන්ගේ බලපෑම සිදුවීම ස්වභාවයයි. මෙහිදී රටේ කේන්ද්‍රයට වඩා රට කරවන අයගේ සහ පාලිත ජනතාවගේ කේන්ද්‍ර හා මානසික ස්වභාවය මේ තත්ත්වයට තදින් බලපායි.
2018 මැයි 2 වැනි දින කුජ ග්‍රහයා වසර 48කට පසු බලවත් රාශිය වන මකර රාශියේ මාස 7ක කාලයක් ගත කිරීම ජලගැලීම්, නාය යාම්, ගිනිගැනීම්, ගොඩනැගිලි කඩාවැටීම්, හදිසි අනතුරු ආදිය සිදුවන බව මින් පෙර ලිපියකදීද මා පෙන්වා දුනි. ඉදිරියටද ජූනි ජුලි මාසවල අනතුරු ඇතිවන්නට ඉඩ ඇත. අවශ්‍ය වන්නේ පරිසරය රැකගනිමින් දැහැමිව හා නිවැරදි නායකත්වයක් රටේ ස්ථාපිත කිරීමයි.