2018 ජුනි 09 වන සෙනසුරාදා

පොදු අනාගතයකට ලාංකික ලේ මාවතක්

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 385

“ඔබ විසින් අනාගතය නිර්වචනය කරගැනීමට අවශ්‍ය නම් ඊට පෙර ඔබ විසින් ඔබේ අතීතය හදාරා ඒ ගැන හොඳින් දැන ගත යුතුය”

මෙම ප්‍රකාශය කොන්පියුසියස්තුමා විසින් කරන ලද්දකි. ලංකාවට අදාළ කර සිතීමේදී අපට අනාගතය වෙනුවෙන් අතීතය නිවැරදිව හැදෑරීමේ අවශ්‍යතාවයක් ඇති බව පෙනී යන්නේ අපට අහිමි පොදු ඉතිහාසය නැවත සිහිකර ගැනීම සඳහා ය. අන් කවරදාටත් වඩා වේගයෙන් ලංකාවේ ජාතීන් අතර සහජීවනය අඩුවෙමින් පවතින අතර වෙනස් ඉතිහාසයන් තුළ ජාතීන් ළංකරනු වෙනුවට ඈත් කරමින් ඇත. මෙම තත්ත්වය අනාගතයේ දැවැන්ත ව්‍යසනයකට පාර කපන බව නොඅනුමානය. එහෙයින් ඉතා ඉක්මනින් අප අපේ අතීතය කරා ගොස් ජාතීන් අතර සහජීවනය පිළිබඳ අතීත පාඩම නැවත වරක් කියවිය යුතු වේ.

ජාතිය පිළිබද කුමන නිර්වචන ඉදිරිපත් කළද ඒ තුළ නොගැලපෙන පර්යන්ත අවස්ථා අනිවාර්යයෙන් පවතී. එසේම වෙනස් වෙනස් අදහස් සඳහා ද නිමක් නැති ඉඩක් පැවතීම ජාතිය නැමති සංකල්පයේ සුවිශේෂී ලක්ෂණයකි. ලංකාවේ ජාතිය පිළිබඳ වෙනස් කියවීම් පිළිබඳ අවධානය යොමු කරන විට මෙය පැහැදිලි වේ. ජාති යනු උපතයි. ඒ අනුව අතීතයේ ජාතිය නැමති සංකල්පය වර නැඟුණේ කෙනෙකුගේ කුලය හැඳින්වීමට ය. ජාතියේ කෙනෙක් යනුවෙන් පවසන විට ඉන් අදහස් කරනු ලැබුයේ අඩු කුලයක අයෙකු බව ය. පසුකාලීනව ජාතිය යන්න එක් මූලයකින් පැවත එන පිරිසක් යන්න හැඳින්වීමට භාවිත විය. එහිදී සිංහල ජාතිය සඳහා ඉතිහාසයක් නිර්මාණය කරන ලදී. මහාවංශය ලිවීම තුළ සිදුකරනු ලැබූයේ සිංහල ජාතිය සඳහා පොදු මූලයක් නිර්මාණය කිරීමකි. 

මෙය භාෂාව මත පදනම් වූ අතර දෙමළ සහ මුස්ලිම් ජාතින් ඒ අනුව වර නැඟුණද මුස්ලිම් ජනයා ආගම පදනම් කරගෙන ජාතියක් ලෙස වෙන් කරනු ලැබීය. ඒ අනුව එකම ක්‍රිස්තියානි පල්ලියක වැඳුම් කරන සිංහල හා දෙමළ වැසියා භාෂාව පදනම් කරගෙන තම ජාතිය විස්තර කරන අතර, පාකිස්ථානයේ සහ බංගලිදේශයේ දේශ සීමාව පදනම් කරගෙන ජාතිය නිර්වචනය කරන විට රුවන්ඩාවේ හුටූ සහ ටුට්සි ගොත්‍රිකයින් ගෝත්‍රික පදනම මත ජාතිය විස්තර කළා පමණක් නොව එකම ආගමක් අදහන එකම භාෂාවක් කථාකරන ලක්ෂ ගණනක් මරාදමන ලද්දේ ගෝත්‍රික පදනම ජාතිය ලෙස අර්ථ ගැන්වීම නිසාවෙනි.

රූපට් එමර්සන් නැමති දේශපාලන චින්තකයාගේ නිර්වචනයන්ට අනුව ජාතිය යනු, පොදු ඉතිහාසයක ගැඹුරු වූ වැදගත් අංග සමසේ උරැමකරගත්තෝ යන අදහසත්, අපි එක පොදු අනාගතයක උරුමකරුවන් යන අදහසත් යන දෙයාකාර හැඟීම නිසා එකම ජන සමූහයක් වීමේ විශ්වාසය දරන්නා වූ ජනතාවකි. මේ අනුව අමෙරිකාව තුළ ජාතිය යනු තවදුරටත් භාෂාව හෝ ආගම විසින් සීමා පනවන ලද්දක් නොව, පොදු අතීතයක සහ  අනාගතයක උරුමකරුවන් වීම මත නිර්මාණය වූවකි. එහෙයින් ඇමෙරිකාව තුළ අමෙරිකානු පුරවැසියා යනු තවදුරටත් හමේ පැහැය හෝ භාෂාව හෝ ආගම මත තීරණය වූවක් නොවේ. ඒ තුළ පොදු අතීතය හා අනාගතය විශ්වාස කිරීම පමණක් ඇති අතර සෑම පුරවැසියෙක් ම අමෙරිකාව වෙනුවෙන් ක්‍රියා කිරිම එරට ලෝක බලවතා කිරීමට හැකියාව ලබා දී ඇත. ඔවුන් පොදු  ඉතිහාසය තුළ  අමෙරිකානු විප්ලවය  විසින් බිහිකරන ලද නිදහස් අමෙරිකාව වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් වේ. 

චීනය තම ජාතිකත්වය ගොඩනඟා ගනු ලැබූයේ 1937 දී චින කොමියුනිෂ්ට් පක්ෂය ප්‍රසිද්ධියට පත් කළ ජනතා ආයාචනයකිනි. ස්වාධීන සංතුෂ්ඨිමත් නව චීනයක් සඳහා අපේ සහෝදර රටවැසියන් හුං-ටී (චීනයේ පළමු අධිරාජ්‍යයා) ගෙන් පැවත එන සෑම පුද්ගලයෙක්ම එකාවන්ව අනවරතව මෙම අරගලයට සහභාගි විය යුතු බව අපි දනිමු. දීර්ඝ ඉතිහාසයක් ඇති අපේ ශ්‍රේෂ්ඨ චීන ජාතිය අනභිභවනියයි. ඔවුහු කීහ. මෙහිදී මාක්ස්වාදය තුළ ප්‍රතික්ෂේපිත ජාතිවාදී සංකල්පයක් චීන කොමියුනිෂ්ට් පක්ෂය චීන ජාතිය ගොඩනැගිම සඳහා භාවිත කළ අතර මා ඕ සේතුං ගේ දාර්ශනික දැක්ම චීන විප්ලවය සාර්ථක කළා පමණක් නොව චීනය ලෝක බලවතෙකු කරන ලදී.

ඊශ්‍රායලය තුළ පොදු ශුද්ධ භුමියක් පිළිබඳ අතීත ආගමික විශ්වාසය හා එම ශුද්ධ භූමිය වෙනුවෙන් සටන් වැදීම හරහා යුදෙව් ජාතිකත්වය එරට ඉතා වේගයෙන් සංවර්ධනය කරා ගෙන යන ලදී. ඉතා ශුෂ්ක භූමියක බලවත් රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමට යුදෙව් ජාතිකයින්ට හැකි විය.

මේ අනුව පැහැදිලි වන්නේ අප විසින් ජාතිකත්වය නිර්මාණය කිරීම සඳහා උපක්‍රමයන් භාවිතා කරනු නොලැබුවහොත් පොදු සතුරෙකුට විරුද්ධව දැවැන්ත අරගලයකින් ජයග්‍රහණය නොකරන ලද සෑම රටකම ජාතිකත්වය යනු ඇල් මැරුණු සංකල්පයක් වන අතර ජාතින් අතර විරසකයන් සහ ගැටුම් අනිවාර්ය වන බවයි. අපට දැන් කළ හැක්කේ කුමක්ද යන්න අප ගැඹුරින් විමසා නොබැලුවහොත් අතීතය විසින් අප රුගෙන යනු ඇත්තේ ව්‍යකූල අනාගතයක් වෙතය. මක්නිසාදයත් අප දන්නා ඉතිහාසය තුළ පොදු ගැඹුරු වැදගත් අංග කිසිවක් අප හවුලේ උරුම කරගත් ඒවා ලෙස විස්තර නොවන හෙයිනි.  

අපට අවස්ථා මඟ හැරී ඇත. අතීතයේ මෙන්ම වර්තමානයේද අපි අවස්ථා මඟ හැර ඇත්තෙමු. මැද මාවත් සහ එම මාවත්වල මිනිසුන් රුගෙන යා හැකි නායකයින් ධ්‍රැවීකරණය වූ ජාතිවාදි නායකයින් විසින් ඝාතනය කර ඇත. එසේම අපිට තිබූ වැදගත්ම අවස්ථාව වන ඉංග්‍රීසින්ගෙන් නිදහස දිනාගැනීමේ අරගලය තුළ නිර්මාණය කරගැනීමට අවස්ථාව තිබූ පොදු ජාතිය බ්‍රිතාන්‍යයන්ගේ උගුල්වල වැටීම නිසා අපි අහිමි කරගත්තෙමු. එසේම 1987 – 1990 කාල පරිච්ජේදයේ දකුණේ වාමාංශික අරගලය, උතුරේ දමිළ තරුණයින් දිනාගැනීම වෙනුවට ඉන්දියන් ව්‍යාප්තවාදයක් හා සිංහල ජාතිවාදී ස්ථාවරයක් කරා රැගෙන ගිය අතර නිෂ්මි වැනි මුස්ලිම් තරැණයින් සමඟ උමා මහේෂ්වරන් වැනි තරුණ කොටස් සම්බන්ධ කරගත් පුළුල් අරගලයක්  කරා සංවර්ධනය වුයේ නම් දේශපාලන වෙනසක් සමඟ ලාංකික ජාතිකත්වයක් නිර්මාණය කරගැනීමට අවස්ථාව තිබිණි. ලංකාව දිනවිය හැක්කේ බෙදී වෙන්වීමෙන් නොව සියලු ජාතීන් එකාවන්ව ලාංකික ජාතිය නිර්මාණය කර ගැනීම තුළිනි. මෙම වගකීම අප තරුණ පරම්පරාව සතු කල් දැමිය නොහැකි වගකීමකි.

වරින්වර හැමු ජාතිවාදි සුළං විසින් විනාශ කරනු ලැබුයේ පැළ කිරීමට හැකියාව තිබූ ජාතිකවාදි බීජයන්ය. තිස් වසරක යුද්ධය අවසන් වීම තුළ නැවතත් ජාතිකත්වය ගොඩ නැඟීම වෙනුවෙන් වූ ඉතා සියුම් එසේම ගැඹුරැ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සඳහා අවස්ථාව ලබා දී ඇති අතර ඒ සඳහා අවශ්‍ය කරනුයේ නිර්මාණශීලි ව්‍යපෘතීන් සහ අවංක වුවමනාව පමණි. පොදු අතීතයක අක් මුල් සොයාගොස් පොදු අනාගතයක් සඳහා මඟ විවර කර ගැනීම ඉතිහාසය හැදෑරිමකට එහා ගිය දේශපාලන ව්‍යපාරයක් විය යුතු වන්නේ එහෙයිනි...

 වජිර කාන්ත උබේසිංහ

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00