ගෞරි සශිකලා විසිහය හැවිරිදි දෙදරු මවකි. ඇගේ වැඩිමහල් දියණිය පස් හැවිරිදි ජෙගදීෂ්වරන් සුදර්ශනීය. විනෝත් ඇගේ දෙවැනි දරැවාය. ආගරපතන, නිව් පෝර්ට් වත්ත, ග්ලැනග් ලඩින්වත්ත ලිපිනයේ පිහිටි නිවසේ පදිංචිව සිටි ඇයගේ සැමියා, කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටියේය. මසකට වතාවක් නිවාඩුවට නිවසට එන ඔහු නිරතුරුවම නිවසේ නැති හෙයින් ඇය දරු දෙන්නා සමඟ කල් ගෙවුවාය. දිනක් සැමියා නිවසට එද්දී බිරියත් දරු දෙදෙනාත් ආගිය අතක් නොමැතිව අතුරුදන්ව සිටියහ.
කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදන් වූ දරු පවුලේ අවනඩුව කියා ඔහු ආගරපතන පොලීසියට පැමිණියේය. ඔහු පොලීසියට පැවසූ ආකාරයට බිරිය දරුවන් සමඟ අවසන් වරට නිවසේ රැඳී සිට ඇත්තේ ඉකුත් වසරේ ජුනි මස මුල් දින තුන හතරක් පමණය.
තනිවම නිවසේ රැඳී සිටි ගෞරි සශිකලාගේ ජංගම දුරකථනයට පැමිණි ඇමතුම් රාශියකි. එහි ඇතැම් ඇමතුම් ඇයට බලකිරීම්ය. ඊට අකමැති වූ ඇයට පසුව පැමිණි ඇමතුම්වලින් බැලපෑම් හා තර්ජන එල්ල වී තිබුණි. එසේ ඇමතුම් ලබාගෙන තිබුණේ ජයන්ත පිරිස් නැමැත්තෙකි. ගිය වසරේ ජුනි 04 වැනිදා ඔහු දුරකථනයෙන් කතා කොට ගෞරි සශිකලාට රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී ඇයගේ දරු දෙන්නා සමඟ තලවාකැලේ බස් නැවතුම අසළට පැමිණෙන ලෙස දන්වා තිබුණි.
ඊට අවනත වූ ගෞරි ඇඳුම් පැළඳුම් හා ලියකියවිලි රැගෙන එහි ගියාය. එහිදී ඇය හා දරු දෙන්නා ත්‍රිරෝද රථයක නංවාගත් අය ජයන්ත ඉෂාර මංචනායක නැමැති ළිඳල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් තිබුණි. ජයන්තගේ උපදෙස් මත දින කිහිපයක් එහි නවාතැන් ගෙන සිටි පිරිස යළි ඉන් කැටුව ගොස් තිබුණේ තලවාකැලේ දෙව්සිරිපුර පිහිටි ඉෂාර මංචනායකගේ සොහොයුරාගේ නිවෙසටය. එහි දින දෙකක් නවත්වාගෙන සිට යළිත් ඉෂාර මංචනායකගේ නිවසට පැමිණ තිබුණි. මේ දිනවලදී ඉෂාර මංචනායක කියා තිබුණේ ගෞරිට රැකියාවක් ලබාදෙන බවය.
ඊට කැමැත්තෙන් පසු වූ ගෞරි තවත් දින කිහිපයකින් අශෝක සේපාල නැමැති ලිඳුල නගර සභාවේ සභාපතිවරයාගේ නිවසට කැඳවාගෙන යනු ලැබුවාය. ඒ අනගිපුර දෙව්සිරිපුර පිහිටි නිවෙස වෙතය.
එහි රැඳී සිටි දින කිහිපයේදී විවිධ තර්ජන හා යෝජනා මතින් ගෞරිගේ කැමැත්ත ලබාගෙන තිබූ පිරිස ලිපි කිහිපයක් සඳහා ඇගේ අත්සන බලහත්කාරයෙන් ලබාගෙන තිබූ බවට චෝදනා එල්ල වෙයි. ගාල්ල ප්‍රදේශයෙන් එහි පැමිණ සිටි කාන්තාවක හා පුරුෂයකු වෙත ඇගේ දියණිය හදාවඩා ගැනීමට බාර දී ඇත්තේ ඉන්පසුවය. පැමිණ සිටි යුවළේ පිරිමි පුද්ගලයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකි. තවත් දින තුනකට පසුව ඇගේ කුඩා පිරිමි දරුවා ඔවුන් විසින් බලෙන් රැගෙන ගොස් තිබුණි.
ඉන් පසුව ගෞරි සශිකලා සිටියේ තනිවමය. මේ අතර ත්‍රිරෝද රථ රියදුරෙක් වන තිලකරත්න නැමැත්තා ගෞරි කොළඹට රැගෙනවිත් තිබුණේ විදේශ ගමන් බලපත්‍රය සැකසීමට හා විදේශ රැකියාවක් සඳහා යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහාය. මෙම කාන්තාව පීරිස් නැමැත්තා විසින් පැහැරගෙන ගිය දාම ඇය සතුව තිබූ ජංගම දුරකථනය හා සිම්පත විනාශ කරන්නට ඔවුන් කටයුතු කර තිබුණි. මේ හේතුවෙන් ඇගේ සියලු හිතවතුන් හා තිබූ සබඳතා ගිලිහී ගියේය.
මේ කාලය තුළ කාන්තාව කොළඹ ප්‍රදේශයේ ඇඟළුම් කම්හල් සේවිකාවක් වශයෙන් යොදවන්නට පෙර කී පිරිස කටයුතු කළ බවද කියති. කාන්තාවට සිය ඥාති සබඳතාවයක් හෝ නොතිබුණු ඒ කාලය තුළදී අවස්ථා කීපයක් තිලකරත්න විසින් ඇයව දූෂණයට ලක්කර තිබූ බවත් ඒ පිළිබඳව වූ බිය හා ලජ්ජාව හේතුවෙන් එම කරුණු ඇය සඟවාගෙන සිට ඇති බවත් කියති. මේ අතර කාලයේ ඇයට ලැබුණු වැටුප යොදවා ජංගම දුරකථනයක් ලබාගත් ඇය සිය පුරැෂයා වෙත දුරකථන ඇමතුමක් ලබාගෙන තමා පත්වූ තත්ත්වය පිළිබඳව දන්වා ඇත. මැයට තිලකරත්න නැමැත්තා විසින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර ඇතත් එය ඇයට ලබා දී නොමැත. ඒ අතර කාලයේ මැය පිළියන්දල හා බත්තරමුල්ල ප්‍රදේශවල ධනවත් නිවෙස් හිමියන්ගේ ගෘහ සේවිකාවක වශයෙන් ද යොදවා සිටියාය. අවසානයේ සිය සැමියා වන ජෙගදීෂ්වරන්ට කරුණු පහදා දී පසුගිය ජුනි 1 දින නුවරඑළිය පොලීසියට පැමිණ ඇය පැමිණිල්ලක් සටහන් කළාය. එහිදී ඇගේ තාවකාලික ලිපිනය වශයෙන් දෙහිවල, ඕබර්න් සයිඩ් පෙදෙසේ ලිපිනයක් දන්වා තිබුණි.
කටයුතු මෙසේ යද්දී ආගරපතන බෝගහවත්ත පන්සල භූමියේ සිටියදී කුඩා දරුවකු හමුව තිබුණි. ඒ පිළිබඳව විමර්ශනයේදී හෙළි වූයේ එම දරුවාගේ මව ගෞරි හා පියා ජෙගදීෂ්වරන් බවය. ඒ අනුව දරුවා ජෙගදීෂ්වරන් භාරයට පත් කළ අතර වැඩිදුර විමර්ශන සඳහා කාන්තාවගේ සහාය ලබාගෙන තිබුණි. ඇගේ කට උත්තර මත සැකකාර පුද්ගලයන් එකිනෙකා නුවරඑළිය පොලිස්ථානයට කැඳවා තොරතුරු පහදාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණි. මෙහිදී “තැනැත්තන් වෙළඳාම” සම්බන්ධයෙන් විතානගේ ඔසඳ බුද්ධික (30) නැමැත්තා ද අත්අඩංගුවට ගනු ලැබූ අතර ඊට අනුබල දුන් බවට සැකකර තිබුණේ අනගිපුර අශෝක සේපාල (58) ලිඳුල නගර සභාවේ සභාපතිවරයාය. පහළ විතානගේ ඉෂාර අනුරුද්ධ මංචනායක එහි නාගරික මන්ත්‍රීවරයෙකි. මෙහි අනෙක් සැකකරැ ඔරුකඳ ලියනගේ ජයන්ත පීරිස් නැමැත්තා ඩයගම රෝහලේ සේවකයෙකි. පැහැරගැනීමට දායකත්වය සපයා ඊට මුලින්ම මැදිහත්ව සිටි හේරත් මුදියන්සේලාගේ තිලකරත්න (54) ත්‍රිරෝද රථ රියදුරෙකි.
පැමිණිලිකාරිය කුඩා කාලයේ මව, පියා මියගොස් ඇති බවත් පසුව පිළියන්දල ප්‍රදේශයේ ළමා නිවාසයක හැදී වැඩී ඇති බවත් අවුරුදු 19දී විවාහ වීමෙන් පසුව තලවකැලේ පදිංචියට ගොස් ඇති බවත් වාර්තා වේ. මේ කරුණු සියල්ල අනාවරණය වූයේ කාන්තාව සමඟ දරු දෙන්නා අතුරුදන්ව හරියටම වසරක් ගතවූ පසුව පසුගිය 01 වැනිදා නුවරඑළිය මූලස්ථාන පොලීසියේදී කළ පාපොච්ඡාරණයට පසුවය.
පොලීසියේ දැනුම්වත් කිරීමෙන් පසුව ගාල්ල ප්‍රදේශයේ නිවසක හදාවඩාගෙන සිටි දරුවා සමඟ එම යුවළ නුවරඑළිය පොලීසියට පැමිණ සිටි අතර තැනැත්තන් වෙළෙඳාමට එරෙහිව දරු දෙන්නාගේ මව සමඟ සැකකරුවන් 4 දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
► සමන්ත ප්‍රදීප් විල්තෙර