2018 ජුනි 16 වන සෙනසුරාදා

කොහොමද යකෝ අදම මිලදී ගන්නේ...

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 253

ඒ කාලයේ අද මෙන් වොෂින් මැෂින් තිබුණේ නැත. නළ ජලය තිබුණේද නාගරික ගෙවල් කිහිපයකටයි. රෙදි සෝදන්නන් හට ගලේ ගසා රෙදි සෝදන්නට පැතලි ගලක් බොහෝ ළිඳවල් සමීපයේ තිබිණි. මේ කියන්නට යන වෙළෙඳ දැන්වීමේ රෙද්දක් සෝදන විට ගලේ ගසන හඬ අපට මුලින්ම ඇසෙන්නට සලස්වයි. ඊළඟට ඇසෙන්නේ නිවේදකයාගේ හඬයි.“හා හා ඔය ඇඳුම් ගලේ ගසා නාස්ති කරන්න එපා, මේ තියෙන්නෙ, සන්ලයිට්!”

“ටයිප්රයිටර් ගැනීම, විකිණීම සහ අලුත්වැඩියාවන් සඳහා විමසන්න ප්‍රේමදාස කළුආරච්චි” යන්න තවත් එවැනි කාලාන්තරයක් මුළුල්ලේ ඇසුණු දැන්වීමක් විය.

විලාසිතා නිර්මාණකරුවන් විසින් විලාසිතා ලෝකයට හඳුන්වාදෙන විලාසිතා ශ්‍රව්‍ය මාධ්‍ය මගින් ශ්‍රාවකයාට හඳුවන්වාදීම ඉතා අසීරු කටයුත්තකි. යම්කිසි විලාසිතාවක් ගැන පුන පුනා කීම ශ්‍රාවකයා වෙහෙසට පත් කරන්නකි. 1972 – 73 කාලයේ දැඩි ඝනකම් කොලරය පිරිමින්ගේ කමිසයට එක්වුණු අලුත් විලාසිතාවක් විය. එක් වෙළෙඳ ආයතනයක් එම කොලරය හැඳින්වූයේ “පරමා ෆියුස්” කොලරය නමිනි. නිවේදකයාගේ කටහඬෙන් ඝනකම කොලරය පොල්කට්ටක් මෙන් ඝනකම යැයි කියැවේ. වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවා එයින් සෑහීමකට පත් නොවුණේය. ඔහු පොල්කට්ටකට ඇඟිලිවලින් තට්ටු කරන හඬ උපයෝගී කර ගත්තේය. අනතුරුව වෙළෙඳ දැන්වීමේ මෙසේ කියයි. “මම කොලර් එකට තට්ටු කරන කොට, අම්ම කිව්වා ඔන්න පුතේ කවුද දොරට තට්ටු කරනවා කියලා”

වෙළෙඳ දැන්වීම්වලින් ප්‍රචාරය කරන නිසාම මිස ඝනකම කොලරයක් ඇඳීමේ අවශ්‍යතාව පොදුවේ මිනිසුන්ට තිබුණේ නැත. ටික කලක් පැවති එම කොලරය කමිස විලාසිතාවලින් ඉක්මනින් වියැකී ගියේය.

පොඩි කාලේ අපට ගෙදරින් අනුබලයක් ලැබුණේ පාසලෙන් එක්කරගෙන යන චිත්‍රපටයක් නරඹන්නට පමණි. එකක් පාසා එකක් සිලෝන් තියටර්ස් හා සිනමා සිනමාස්, රැඟුම්හල් පෙළවල ප්‍රදර්ශනය වූ චිත්‍රපට නරඹන්නට අපට මාපියන්ගෙන් අනුබලයක් ලැබුණේ නැත. එහෙත් එකක් පාසා එකක් එන චිත්‍රපටවල ගීතත්, ඒවායේ රඟපාන නළු නිළියන් ගැනත්, ඇතැම් දෙබස් ගැනත් අපි හොඳින් දැන සිටියෙමු. එසේ දැනගත්තේ ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ ප්‍රචාරය වුණු චිත්‍රපට පිළිබඳ විනාඩි 15 වේ, ප්‍රචාරාත්මක වෙළෙඳ වැඩසටහන් නිසාය. මේ හැරුණුකොට දවස පුරා ප්‍රචාරය වූ චිත්‍රපට වෙළෙඳ දැන්වීම්වල කී දෑද අපගේ මතකයේ සනිටුහන් වූයේය.

“ත්‍රාසය, භීතිය, සන්ත්‍රාසය දනවන හාරලක්සෙ”

හාරලක්ෂ මංකොල්ලයේ කතාව පසුබිම් කරගෙන ටයිටස් තොටවත්ත ශූරීන් නිර්මාණය කළ “හාරලක්සෙ” චිත්‍රපටය ගුවන් විදුලි ශ්‍රාවකයන්ට හඳුන්වා දුන්නේ එම වැකියෙනි.

ඩී.බී. නිහාල්සිංහ ශූරීන් නිර්මාණය කළ (වැලිකතර) චිත්‍රපටය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු අගනා චිත්‍රපටයක් වග කුඩා කාලයේම තේරුම් ගියේ ඊට අදාළ ප්‍රචාරාත්මක, වෙළෙඳ වැඩසටහන් නිසාය. අනෙක් චිත්‍රපටවලට වඩා වෙනස් බවක් ඊට අදාළව ප්‍රචාරය වූ වෙළෙඳ වැඩසටහන්වලින් ඇසිණි. අමරදේවයන් ගායනා කළ එම චිත්‍රපටයේ තේමා ගීතය වන “එනුමැන රණ සෙබලාණනි, ගිනිගත් මරු කතරේ” ගීතයත්, චිත්‍රපටයේ තේමා වාදනයට අයත් ත්‍රාසය උද්දීපනය කරන (සෝමදාස ඇල්විටිගල සංගීතවේදියාණන් නිර්මාණය කළ) තබ්ලා වාදනයත් එම දැන්වීම්වල නිතර ප්‍රචාරය විය.
වරින් වර ශ්‍රාවකයාට දිනය පුරා ඇසෙන්නට සැලැස්වූ චිත්‍රපටයේ දෙබස් ඛණ්ඩයක් පහත දැක්වේ.

“මට බණින්න එපා දෙයියනේ, මං ඔයාගෙ වැරදි කියනවා නෙවෙයි, සුරංගනා කතාවල ඉන්න රාජකුමාරයෙක් වගේ තමයි මට ඔයාව පේන්නෙ”

“රජ දැක්මට අවසරද?”

“අවසරයි”

දයා රාජපක්ෂ එකල සිළුමිණ පුවත්පතට නිර්මාණය කළ “නිසංසලා” චිත්‍ර කතාවේ ගසක් උඩ නැගගෙන ඉන්න අසිත, තමාට බැණවදින නපුරු මිනිසකුට ඉහත කී දෙබස ඔලොක්කුවට කියනු ඇඳ තිබිණි. එසේ අඳිනු ලැබූයේ එකී දෙබස බාල, මහලු, හැමදෙනාම ගුවන් විදුලි ප්‍රචාරය නිසා හොඳින් දැන සිටි බැවින්ය.

ගොපළු හඬ චිත්‍රපටය එකල බලාගන්නට නොලැබුණත් 1973 චීනයෙන් පැමිණි (වුහාන්) සර්කස් කණ්ඩායම පෙබරවාරියේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ඉදිරිපත් කළ සංදර්ශනය නරඹන්නට මට වාසනාව තිබිණි. එම සර්කස් සංදර්ශනය රූගත කරනු ලැබ ගොපළු හඬ චිත්‍රපටයත් සමඟ චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට පෙන්වනු ලැබුවේය. ගොපළු හඬ චිත්‍රපටය ගැන කෙටියෙන් කියූ ඊට අදාළ වෙළෙඳ දැන්වීම්වල වඩාත්ම තලුමරමින් දිගින් දිගට කීවේ චීන සර්කස් ගැනයි. චීන සර්කස්වල අරුම කියන්නට විරිඳු ගීත බොහෝ සෙයින් උපයෝගී කර ගැනුණේය. තම උර මතත්, දෑතේත්, බයිසිකලය පුරාත් ක්‍රීඩකයන් පටවාගෙන රවුමට ගිය “චීන ගෑනු කෙනා” (සින්දුවේ ඇය හඳුන්වා දුන්නේ එලෙසයි) ගැන “එකෙක් අතේ, එකෙක් කරේ, එකෙක් ඉඟේ...” යනුවෙන් එක ගීයක කියැවිණි. චීන සර්කස් නිසා ගොපළු හඬ ලාභ ලබමින් වැඩි කලක් දිව්වේය. චීන සර්කස් ගැන ගීත අමතකව ඇතත් අද පවා ශ්‍රාවකයන් ගොපළු හඬ චිත්‍රපටයේ හරූන් ලන්ත්‍රා ගැයූ “මගෙ නාමලී බැඳි ආදරේ, මනමාලියයි මැණිකේ ඔයා” ගීය මතකය. අද පවා අපි එම ගීතය රස විඳිමු.

ඒ කාලයේ පටන් සම්ප්‍රදායිකව, අවිචාරයෙන් කියාගෙන ආ ඇතැම් වැකි අද දිනයේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලද එසේම කියැවේ.

“ඔබත් අදම මිලදී ගන්න...” ඇතැම් විට යන්ත්‍රෝපකරණ වෙළෙඳ දැන්වීම්වලද රාත්‍රී කාලයේ එසේ කියයි. එසේ කියූ එක් වෙළෙඳ දැන්වීමක් අසා සිටි බීමත් දොඩමළු ශ්‍රාවකයෙක්, රූපවාහිනී යන්ත්‍රයෙන් මෙසේ ඇසුවේලු.

“කොහොමද යකෝ අදම මිලදී ගන්නෙ? මේ රෑ ජාමෙ?”

කෙසේ වුවද කාලයක් පුරා ගුවන් විදුලියෙන් ගෙන ආ ඇතැම් වෙළෙඳ පාඨ අදටත් සාර්ථකව භාවිතයේ යෙදෙනු පෙනේ. “ජාතියේ මහා පහන් ටැඹ”, “පළමුව බාටා - දෙවනුව පාසලට, ජනහද හඳුනන මහජන බැංකුව එවැනි කිහිපයකි

එකල ඇතැම් ගුවන්විදුලි වැඩසටහන් සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ ආයතනද විය. “සසීනා”වාසනා චක්‍ර ඉන් එකකි. සසීනා යනු හෝමියෝපති ප්‍රතිකාරයකි. ඇම්බෝරම් ස්පෙෂල් යනු එවැනිම බෙහෙතක් වූ අතර “කල්ගතවුණු ඇදුමට නම් ඇම්බෝරම් ස්පෙෂල්.... ඉර හඳ මෙන් විශ්වාසයි.. ඇම්බෝරම් ස්පෙෂල්..” යනුවෙන් දැන්වීමක්ද එකල නිතර ප්‍රචාරය විය.

සමස්තයක් වශයෙන් වෙළෙඳ දැන්වීම් ලෝකය කාලයත් සමඟ මහත් දියුණුවක් අත්පත් කරගෙන ඇත්තේය. යල්පැන ගිය පැරණි දේ භාවිතයෙන් ඉවත් විය යුතුය. අතීත නාමයෙන් පලක් නැත. එහෙත් යමක විකාශනය හදාරන්නට නම් අතීතය දැනගැනීම වැදගත්ය. 

මෙම ලිපිය සැකසීමේදී සඳහන් කළේ අපගේ මතකයේ පවතින දැන්වීම් කිහිපයක් පමණි. මේ ආකාරයේ තවත් සිය ගණනක් වෙළෙඳ දැන්වීම් එකල ප්‍රචාරය වූ බව සැලකුව මැනවි.

♦ සමන් පුෂ්ප ලියනගේ

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00