2018 ජුනි 16 වන සෙනසුරාදා

ළඟදිම එන රමෝනාගේ කෑම

2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:0099

රමෝනා ජයවර්ධන කියන්නේ අපේ රටේ විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රය ඇතුළේ නමක් දිනාගත්තු චරිතයක්. හැබැයි අපි මේ කතා කරන්න යන්නේ ඇගේ ඇඳුම් නිර්මාණ ගැන නම් නෙමේ. ඇඳුම් නිර්මාණයට වගේම ඇය ආහාර පිළියෙළ කරන්නත් ගොඩක් දක්ෂයි. ළඟදීම තමන්ගේම කියලා අවන්හලක් විවෘත කරන්න හිතාගෙන ඉන්න ඇය අපිට මුණගැහුණේ රසවත් ආහාර කිහිපයකුත් සමඟයි. 

දැනට යහළු මිත්‍රාදීන් සඳහා පමණක් ආහාර පිළියෙළ කරන ඇයට වැඩි කල් නොගොස් ඇගේ සිහිනය වන The Dining Room by Ramona Oshini නමින් අවන්හලක් විවෘත කිරීමට හැකි බව ඇගේ ආහාර රසවිඳපු අපිට හොඳටම තේරැම් ගියා. 

ඇය අපිට මුලින්ම පිළිගැන්වූයේ එළවළු සලාදයක්. බීෆ් තක්කාලි, අලිගැටපේර, දෙළුම්, ෆෙටා චීස් යොදාගෙන හදපු මේ එළවළු සලාදයට හොඳ ගාණට දෙහි යුෂත් එක් කරලා තිබුණා. 

රමෝනාගේ ආහාරවල තවත් විශේෂත්වයක් වෙන්නේ සරල රස සහ අමුද්‍රව්‍ය යොදාගෙන සකස් කිරීමයි. ඇය පිළිගන්වන Roasted Vegetables ආහාර දීසියත් එවැන්නක්. ළපටි බීට්රූට්, ලංකා වට්ටක්කා, ෆෙටා චීස්, දෙළුම් සහ ලුණු දැමූ බිත්තර යොදාගෙන තමයි ඒක පිළිගන්වන්නෙ. 

ඇතුළත පිරවූ මාළු මිරිස් සමඟ පිළිගන්වා තිබුණු කූස් කූස් නම් ආහාරයත් ඉතාම රසවත්. කූස් කූස්වලට බිම්මල්, ලූනු සහ සුල්තානාත් එක් කරලා තිබුණා. චිකන් තාජීන් සහ රටඉඳි චට්නි සහිත පෝක් සමඟ කූස් කූස් නියමෙට ගැලපුණා. 
මේ සියල්ල රසවිඳලා අවසන් වෙද්දි අපේ බඩේ පොඩි ඉඩක්වත් හොයාගන්න බැරිවුණත් රමෝනා අප වෙනුවෙන් අතුරුපසකුත් නිර්මාණය කළා. ඒක රසවත් අඹ කිරි පුඩිමක්. 

♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත