2018 ජුනි 16 වන සෙනසුරාදා

ලොක්කා ඉල්ලා අස්වෙයි

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

ඇක්මන් බාස්ගෙ ගෙදර, පසුගිය දිනෙක මළගෙයක් බවට පත් විය. ඔහුගේ පවුලේ අයත්, අසල්වැසියෝත්, හිතෛෂියෝත් එක්රොක්ව මහත් ශෝකයෙන් කතාබස් කරන්නට වූහ.

“අපේ ලොක්ක අස්වෙන්ඩ යනවලු. දැනටමත් මාධ්‍යවලට ප්‍රකාශයක් නිකුත් කරලා.”

ඇක්මන්ට මුලින්ම මේ කතාව ආරංචි වුණේ, ඔහුගේ හිතවත් මන්ත්‍රීතුමාගේ ලේකම්ගෙනි. මීට පෙරද එතුමා එබඳු කතා කියා තිබුණත්, ධූරයෙන් අස්නොවූ හෙයින් ඇක්මන් කලබල වූයේ නැත. එහෙත් දෙවැනි වරටත් එය සැලවීමෙන් පසු ඔහු තම බිරිඳ සමඟද ඒ බව කීවේය.

“අගමැතිතුමා හරි, ජනාධිපතිතුමා හරි, නායක හාමුදුරුවරු හරි ඉල්ලීමක් කරනවා නම් එතුමා ස්ථිරෙටම අස්වෙනවලු.”

බිරිඳ හිසේ අත් ගසාගත්තේ, මහත් කම්පාවෙනි.

“අනේ දෙයියනේ, නම ගම ගහලා හරි, ගංවතුර ආධාරයක්වත් බෙදන්න හිටපු උත්තමයා... මීට පස්සෙ ඔහෙට කොන්ත්‍රාත් එකක්වත් ලැබෙන්නෙ නැතිවෙයි... අපෝයි, මොකක්ද මේ රට ජාතියට වෙන්ඩ යන විනාසේ...”

අම්මාගේ ශෝකාලාපය ඇසුණු, ඇගේ දූ දරුවෝද එහි රොක්වූහ.

“තව එකසිය දහඅට දෙනෙක් ලැයිස්තුවේ ඉද්දි, අපේ ලොක්කට මොකක්ද මේ හැදුණු කඩිකුලප්පුව.” පුතා ඇසුවේ කෝපයෙනි.

“එයාගෙ අවංකභාවය ඔප්පු කරන්නනෙ.” දුව කීවාය.

“මොකද්ද ඒකෙන් ලැබෙන වාසිය?”

“මං හිතන්නෙ සර් බලාපොරොත්තු වෙන්නේ අනාගත අගමැතිකම” දුව තමාගේ දේශපාලන දැනුම පළකර සිටියේය. අනෙක් අයද ඉන් සැනසුණි.

“අගමැතිකම ලැබෙනවා නම්, අස්වුණාට කමක් නෑ. එහෙම නම් අපි තාත්තට කියල ලොක්කට පිළිගැනීමේ උත්සවයක් ලෑස්ති කරමු.” අම්මා කීවාය.

ගෙදරට සෙනඟ පිරුණේ, මේ කතාබහට පසු දිනයකය. ඇක්මන්, මන්ත්‍රීතුමා හමුවීමට ගොස් පැමිණ සිටියේය. ආරංචිය ඇත්තකි. එතුමා සිටින්නේ අවසාන ඉල්ලීම එනතුරුය. ඕනෑම මොහොතක එය ලැබීමට ඉඩ ඇත. ඉන් පසුව අගමැතිතුමා මෙසේ ප්‍රකාශයක් කරනු ඇත. “අපේ පක්ෂයේ හොරු නැත. ඉන්නේ අවංක, පිරිසිදු පුද්ගලයන් පමණි. එවිට පක්ෂයද ඉදිරියට යයි. පසු කාලයකදී අස්වුණු මන්ත්‍රීතුමාටද නැවත පක්ෂයට එක්විය හැකිය. හැමදෙයක්ම සති දෙකින් අමතක වන අපේ මිනිසුන්ට (ප්‍රභාකරන් උන්නැහේ කිව්වා සේ) ඕවායේ ගාණක් නැත. මේ අමන දූපතේ, දේශපාලනඥයෝ පණ පිටින් මැරෙති. නැවත ඉපදෙති. සැප විඳිති. සමහර සොක්කන්ට දේශපාලන ලොක්කන්ගෙන් තොර පැවැත්මක් නැත. ඇක්මන්ලාද එබඳුය.

ඇක්මන්ගේ නිවසට රැස්වූ පිරිස, අවසානයේ කිසියම් වැඩපිළිවෙළකට එකඟ වූහ. පෙළපාලියකින් ලොක්කාගේ නිවසට ගොස්, ඔහුට අස්නොවන සේ බලකළ යුතුය. අවශ්‍ය නම් අත්සන් දහසකින් යුත් පෙත්සමක්ද දිය හැකිය. එවිට ජනතාවගේ ඉල්ලීම මත, තම තීරණය වෙනස් කිරීමට ලොක්කාට සිදුවනු ඇත. “ලොක්කා අපිට, අපි ලොක්කට” යන දේශපාලන සටන් පාඨය ප්‍රායෝගික වන්නේද එවිටය.

මේ වැඩපිළිවෙළ පිළිබඳව ලොක්කා කල්තියා දැනුවත් කළ යුතු හෙයින්, ඇක්මන් ඔහු හමුවීමට නිල නිවසට ගියේය. ලොක්කා හාන්සි පුටුවකට වී ෂපාන් එකේ සිටියේය.

“හා ඇක්මන්... ආපු එක හොඳයි. මිනිස්සු මොකද කියන්නෙ මගේ තීරණය ගැන?”

“එක පැත්තකින් මිනිස්සු සන්තෝස වෙනව සර්ගෙ අවංකභාවය ගැන. තව පැත්තකින් දුක්වෙනවා සර්ගේ සේවය අහිමිවීම ගැන.”

“සේවය අහිමිවෙන්නෙ කොහොමද? මම තාම අස්වෙලා නෑනෙ. වෙන මොනවද මිනිස්සු කියන්නෙ?”

“සර්ට ලැබුණු සල්ලි ටික ආපහු දෙන්ඩ යනව කියන කතාවටත් කට්ටියට හරි සතුටුයි. අපේ නෝනත් කිව්වා, අපිටත් ලක්ෂයක්වත් ලැබෙයිනෙ කියලා.”

“මම පොරොන්දු වුණේ, ඒ සල්ලි සමාජ සේවාවකට දෙනවා කියලා. හොඳයි, ඔහෙලගෙ කැමැත්තටත් ඉඩ දෙන්නංකො.”

“සර්, මට පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා. ඇහුවට කමක් නැද්ද?”

ඇක්මන් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට මාන බැලුවේය.

“ඇත්තටම සර්, ඔය සල්ලි ගත්තද?”

“පිස්සුද අයිසෙ... අපි උපන් දා ඉඳලම හොඳ සල්ලිකාරයොනෙ. කාගෙවත් සල්ලි මොකටද අපිට?”

“එහෙනං මොකක්ද සර් මේ හුටපටේ?”

“කවුරු හරි දීපු චෙක් එකක්, අපේ කවුරුහරි අරං මාරුකරල, මගේ ඡන්ද වැඩට වියදම් කරල. ඒකයි කේස් එක. මම ඔය සල්ලි ඇස් කොණකින් දැකල නෑ.”

“එහෙනං සර් ආපහු දෙන්නං කියන්නෙ ඇයි?”
“එතකොට මේ ප්‍රශ්නෙ යට යනවනෙ ඇක්මන්. මේ අතින් ගත්තා. මේ අතින් දුන්නා.” ලොක්කා හක හක ගා සිනාසුණේය. ඇක්මන්ටද සිනා ගියේය.

“එතකොට සර්, කවුරු කිව්වත් අස්වෙන්නෙත් නැද්ද?”

“පිස්සුද අයිසෙ... එහෙම අස්වෙලා කොහොමද? අනික තමුසෙ හිතනවද, ඔය මං නම් කරපු කවුරුවත් මට අස්වෙන්න කියයි කියලා.”

ලොක්කා සමඟ ඇක්මන්ද යළිත් සිනාසුණි. මේ අතර, ලොක්කාගේ භාර්යාව එහි පැමිණියාය.

“ඒයි.. කොළඹ ලොකු පෙළපාලියක් යනවලු, අර එකසිය දහඅට දෙනාටම අස්වෙන්න කියලා.”

“ඉතින් අපිට මොකෝ... අපි අස්වෙනවයැ...?”

“එහෙම කියල කොහොමද? මහජන මතයට හිස නමන්න එපායැ...”

“මහජන මතයට හිස නමනව නම්, ඒක ආණ්ඩුවක්යැ...?” ලොක්කා හක හක ගා සිනාසෙද්දී, ඇක්මන් වහා පිටවුණේය.

►කපිල කුමාර කාලිංග