2018 ජුනි 16 වන සෙනසුරාදා

පුතාව සුද්ද කරන රංග්‍ෙ බණ්ඩාර අැමැති

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

යශෝධ රංගෙ බණ්ඩාර දැන් නාමයෙන් පමණක් නොව රූපයෙන් ද වඩාත් ප්‍රසිද්ධය. රටේ ජනතාව කවුරැත් ඔහු හඳුනන්නේ ආණ්ඩුවේ කැබ් රියක් වේගයෙන් පදවා ගෙයක් කඩාගෙන ගිය ඇමැති පුතා වශයෙනි. යහපාලන ආණ්ඩුවේ ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාරගේ පුත් යශෝධ හලාවත බංගදෙණියේ කොට්ටපිටිය හන්දියේදි බීමතින් රිය ධාවනය කර අනතුරක් සිදුකිරීමෙන් නිවසකට බරපතළ හානි සිදුකිරීම රජයේ දේපලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, කඩුවක් සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් සිදුකිරීම ඇතුළු චෝදනා රැසකට බඳුන්වී ඇත. සියල්ලට එරෙහිව පොලිස් අත්අඩංගුවට ගත් යශෝධ අධිකරණයට ඉදිරිපත් කළ පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. එහෙත් ඔහුගේ සෞඛය තත්ත්වය හේතුවෙන් තවමත් රෝහල්ගතව සිටියද ඒ ඉන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේය.

තත්ත්වය එසේ වෙද්දි ඇමැති පුත්‍රයාගේ රිය අනතුර පිළිබඳව හා ඊට සබැඳි කරුණු ආශ්‍රිතව තොරතුරු වාර්තා කරන්නට විවිධ ජනමාධ්‍ය ක්‍රියා කළේය. එහිදි අනතුර සිදුවූ ස්ථානයේ තොරතුරු රූප රාමු සහිතව සහ පොලිස් විමර්ශනයේ නිගමනය සහ වෛද්‍ය වාර්තාවේ තොරතුරුද ප්‍රසිද්ධ කරන්නට පියවර ගත්තේය. අවසානයේ ඒ ගැන කෝප වී තිබුණේ ඇමැති පාලිත රංගේ බණ්ඩාරය. ඔහු එක් එක් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදින්ගේ නම් ප්‍රසිද්ධියේ විවේචනය කළේ සිය පුත්‍රයාගේ වැරදි අඩුපාඩු සාධාරණීයකරණය කරන තරමටය.

ඇමැතිවරයා කියන්නේ තමාට වඩා උස මහත පුතෙකු ඔහුට සිටිනා බවය. ඔහුට රටේ ඉහළම පාසලෙන් අධ්‍යාපනය ලබාදුන් බවද පැවසුවේය. එසේ ජාත්‍යන්තරයට යැවූ දරුවා සිය දේශපාලන කටයුතුවලට දායක කර ගත්තේය. රංගෙ බණ්ඩාර පවසන ආකාරයට පුතා රිය අනතුරට ලක්වූදා ඇමැතිවරයාගේ අනුදැනුම මත ව්‍යාපාරිකයන්ගේ සමුළුවකට සහභාගි වී සිට ඇත. එය හලාවත බංගදෙණිය අනන්තය හෝටලයේ පැවැත්වූවකි. එය නිමවා එන අතරමගදී කොට්ටපිටිය හන්දියේදී රිය අනතුර සිදුව තිබූ අතර අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අතුරුපාරේ පැමිණි කැබ්රථය ප්‍රධාන මාර්ගය හරහා ගොස් පසෙක වූ කණුවට ඉහළින් යමින් නිවසක තාප්පය හා ගෙදර බිත්තිය කඩාගෙන රථය ගෙතුළට ගොස් නතර වී තිබුණි. ඉන් නිවසට සිදුවූ අලාභය අතිවිශාලය.

සිදුවීමෙන් දින දෙකකට පසුව ඇමැතිවරයා ආණමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී මේ පිළිබඳව අදහස් දක්වමින් කීවේ අනතුර සිදුවූ මොහොතේ එම රථයේ විදේශීය නිෂ්පාදිත වොඩ්කා ලේබලය සහිත මත්පැන් බෝතලයක් තිබූ නමුත් එහි ඇතුළත තිබුණේ ඇල්වතුර බවය. එහෙත් සිය පුත්‍රයා මත්පැන් බෝතලයක් සහිතව රිය අනතුරක් සිදුකළ බවට වාර්තා කළැයි කියමින් ඔහු මාධ්‍යයට චෝදනා කළේය. අනෙක් කාරණය රථය තුළ තිබී හමුවූ කඩුව හා මුගුර පිටස්තර පුද්ගලයන් විසින් දැමූ බවට කෙරෙන චෝදනාවයි. මධ්‍යම රාත්‍රියේ රිය අනතුරක් සිදුවූ පමණින් එහි රියැදුරුට හෝ මගීන්ට පහරදීමට ගම්වැසියන් සූදානම්ව සිටින්නේ නැත. එහෙත් ඇමැතිවරයා කියන්නේ එවැන්නකි. ඔහු පවසන්නේ පුතා සමඟ පැමිණි අසේල නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සහෝදරයාට නිවැසියන් හා ගම්මුන් පහරදීමට ගෙනා කඩුවක් හා මුගුරක් රථයේ දමා තිබූ බවය.

ඒ බව ප්‍රසිද්ධියේ කියන රංගෙ බණ්ඩාර මහතා පොලීසියටද චෝදනා කළේය. වැඩිදුරටත් පැවසුවේ ආරච්චිකට්ටුව පොලීසිය නිසියාකාරව නීතිය ක්‍රියාත්මක නොකළ බවය. මේ අතර ඔහු පුරාජේරු කියන්නේ තමා ඇමැතිවරයෙක් වශයෙන් පුතා බේරා ගැනීමට පොලීසියට දුරකතන ඇමතුම් නොදුන් බවය. එසේම රෝහල්ගතව සිටින පුත්‍රයා බැලීමට පවා නොගිය බවද කියමින් උදම් ඇනීය. මේ ආකාරයට ඔහු කියන්නේ මාධ්‍ය පෙන්වන තරමට සිය පුත්‍රයා වැරදි නොකළ බවය. එහෙත් මාධ්‍ය ඒ බව පුන පුනා පෙන්වන බව කියමින් ඔහු දෝෂාරෝපණය කළේය.

මේ අතර ඔහු කියන්නේ තමුන් කොච්චර ගැහුවත් නොදැනෙන පිඹුරකු වැනි බවය. එය සැබෑවක් බව පෙනේ. සිය පුත්‍රයාද දිගින් දිගටම කරන්නේ එකම වරදය. කරන වරද පෙන්වා නොදී තව තවත් ඊට අනුබල දෙන පියාගේ පුත්‍රයා සිදුකළ රිය අනතුරු ගණනාවකි. එකකින් හෝ පාඩමක් ඉගෙන නොගෙන කලින් කලට රිය අනතුරු සිදුකරන යශෝධ පෙර කී පිඹුරා වැනිය. පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන් ඉදිරියේ ප්‍රකාශ නිකුත් කරමින් සිටි ඇමැතිවරයා කියන්නේ දරුවන්ට වැරදි නොකරන ලෙසය. එසේ වුවහොත් එහි වරද දරුවන්ගේ මවුපියන්ට පැටවෙන බවත් ඔවුන් ඉන් බැණුම් අසනා බවත්ය. එය ඇමැති රංගෙ බණ්ඩාරට වූ සිදුවීම හා වනු ඇතැයිද ඔහු කියා තිබිණි.

යශෝධ රංගෙ බණ්ඩාර මීට කලිනුත් වාහන පදවා රිය අනතුරු සිදුකළ බව ප්‍රසිද්ධය. එහෙත් ඇමැතිවරයා කියන්නේ තලාකොළවැව සහ උස්වැවදී සිදුවූ අනතුරු යශෝධ අතින් සිදු නොවූ බවය. 2017 අප්‍රේල් 27 තලාකොළවැවදී වූ අනතුරෙන් පසුව එම පවුලේ උදවියට මුදලින් සැලකූ බවය. නිවෙස සාදා දුන් බවය. තම වාහනය සිය මුදලින් සාදාගත් බවය. 2016 ඔක්තෝබර් මාසයේදී සිදුවූ අනතුරෙන් පාපැදිකරුවෙක් මියගියබවද සඳහන්ය. එම අවස්ථාවලදී රිය පැදවූයේ සිය පුත්‍රයා නොවන බව ඇමැතිවරයා කියා සිටී.

කෙසේ වෙතත් කොට්ටපිටිය රිය අනතුර හේතුවෙන් අලාභහානි වූ නිවසට අපි ගියෙමු. මාර්ගය අසළ නිවසේ තාප්පය මැදින් කොටසක් කඩාගෙන ගොස්ය. නිවෙස තාවකාලිකව ඉටිරෙදි වලින් ආවරණය කොට ඇති අතර ගෙදර සාලයේ බිත්තියේ පලුවක් ඇත්තේ නැත. පියන් හතර බැගින් වූ ජනේල දෙකක් ගලවාගෙන රථය ඇතුළු වී තිබුණේ එතැනින්ය. දැන් එම නිවස අම්බලමක් වැනිය. චාමක අමරදිවාකර නිවෙස හිමිකරුය. මේ අදහස ඔහුගේය.

“අනතුර සිද්ධවෙද්දී මගේ පුතා සාලයේ කෙළවරක පාඩම් කරමින් සිටියේ. පුතා බේරුණේ අනූනවයෙන්. මම ගෙදර පිටිපස්සෙන් මිදුලට ගිහින් හිටියේ. වාහනයේ රියැදුරු එළියට ගත්තෙත් මමයි. සාලය ඇතුළෙ කැබ් එක. ගෙදර ගන්න දෙයක් නෑ. තාප්පය, බිත්තිය, පියන් අටක ජනේලය, ග්‍රිල්, ලී බඩු, පුටු, කවිච්චි, රූපවාහිනිය, ලැප්ටොප්, ස්ටූල්, පිත්තල මල් පෝච්චිය, පහන, පාඩම් මේසය, උළුවහු, තිරරෙදි විතරක් නෙමේ මගේ ඇස් කන්නාඩියත් විනාශ වුණා. අම්බලමක් වගේ වුණත් අපිට රොඩු බොඩු මැද්දේ ගෙදර ඉන්න බෑනේ. අස්කළාට පස්සේ පොලීසිය අහනවා ඇයි ගෙදර අස්කළේ නඩුවක් තියෙනවානේ කියලා.

අපි වරිපනම් ගෙවනවා. ප්‍රාදේශීය සභාවේ තක්සේරු නිලධාරියාට එන්න කීවා. වාර්තාවක් ගන්න. වෙන කෙනෙක් අතේ පණිවුඩ එව්වා එන්න බෑ කියලා. නිලධාරීන් බයයි මේකට මැදිහත් වෙන්න. අපි අසරණයි. මට ලක්ෂ ගාණක් අලාභයි. ඉගෙන ගන්න දුවලා දෙන්නට ‍ගෙදර ඉන්න ආරක්ෂාවක් නෑ මේ අනතුර නිසා. තාප්පය හදලා දෙන්න කියලා ඇමැතිවරයාගේ පැත්තෙන් බ්ලොක් ගල් කීපයක් මිදුලට දාලා ගිහින් තියෙනවා. ඒ ඇර තවම කිසිම සහනයක් මට නෑ.

මිදුලට ගෙනත් දැමූ බ්ලොක් ගල් තාප්පයේ ඇති ගල්වලට වඩා ප්‍රමාණයෙන් කුඩාය. එය සවි ශක්තිය පිළිබඳව ගැටලුවකි. ඉදිරි කටයුතු නිසියාකාරව සිදුකරන්නේ නම් සියලු කටයුතු මීට වඩා ක්‍රමවත් විය යුතුය. අමාත්‍යවරයා යශෝධ නිවැරදි කරන්නේ කෙසේද? රටේ මාධ්‍ය හා ජනතාවත් ඉහත සිදුවීම සම්බන්ධයෙන්ද මනා අවධානයෙන් පසුවනු නිසැකය.

කතාව/සේයාරූ
► සමන්ත ප්‍රදීප් විල්තෙර