සෞඛ්‍ය සේවයේ මේ වන විට ගැටලු දෙකක් නිර්මාණය වී ඇත. නව බදු පනත මගින් හඳුන්වාදුන් අලුත් බදු ක්‍රම ක්‍රියාවට නැගීමේදී මෙම ප්‍රශ්න උද්ගත වී තිබේ. පෞද්ගලික චැනල් සේවාවලින් හා පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබන රෝගීන්ට සිය බිලට අතිරේක වශයෙන් සියයට 15ක වැට් බද්දක් ගෙවන්නට සිදුවීම එක ප්‍රශ්නයකි. අනෙක වන්නේ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තියවේදීන්ගෙන් ඔවුන් උපයන ආදායම අනුව සියයට 24ක වැට් බද්දක් අයකිරීමය. මෙම නව බදු නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මේ වන විට විශාල කැළඹිලි සහගත තත්ත්වයක් උද්ගතව තිබේ.
ආණ්ඩුව පවසන්නේ සියයට 15 වැට් බද්ද අය කරන්නේ රෝගීන්ගෙන් නොව වෛද්‍ය ආයතන සහ රෝහල්වලින් පමණක් බවයි. ආණ්ඩුව එසේ පැවසුවද එම බද්ද කෙලින්ම රෝගීන්ගේ බිල්පතින් අයකරගැනීමට සිදුවන නිසා මෙයින් පෞද්ගලික සෞඛ්‍ය ආයතනවලට කිසිදු බලපෑමක් සිදුනොවේ. අද රටේ චැනල් සේවාවලට සහ පෞද්ගලික රෝහල්වලට යන්නේ ධනපතියන් පමණක් නොවේ. බොහෝ විට අඩු ආදායම් සහ මධ්‍යම පාන්තික ජනතාවද එම සේවාව ලබාගනිති. තමන්ට රෝගයක් වැළඳුණු විට ජීවිත ආශාව පතාගෙන විශේෂඥ වෛද්‍යවරයකු සම්බන්ධ කර ගන්නේ චැනල් සේවය හරහාය. එයට හේතුව රජයේ රෝහලකට ගියහොත් තමන්ට නිසි ප්‍රතිකාර ලැබීමට පහසුකම් නැතැයි රෝගියා තුළ ඇති විශ්වාසයයි. රජයේ නිදහස් සෞඛ්‍ය සේවයක් තිබෙන බවට උදම් ඇනුවද රජයේ රෝහලකට ඇතුළුවන රෝගියාට යම් පෞද්ගලික සම්බන්ධතාවක් ගොඩනගාගත නොහැකි නම් අත්වන ඉරණම ඉතාම ඛේදජනකය. මේ නිසා රෝගයෙන් මියයන්නට සිදුවේ යැයි ඔහුට බියක් ඇතිවීම අසාධාරණ නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ඇගැයීමට ලක් කර ඇතැයි සෞඛ්‍ය ඇමැතිවරයා පුරසාරම් දෙඩුවද “අපි කන හැටි ලිප දනී” කීවාක් මෙන් සෞඛ්‍ය සේවයේ යථා තත්ත්වය දන්නේ රෝගියා පමණය.
එවැනි පරිසරයක තමාගේ දේපලක් හෝ උගස් තබා ජීවිතය ගලවාගැනීමට පෞද්ගලික අංශයේ පිහිට පැතීමට රෝගියාට සිදුව තිබේ. රටේ රෝගීන්ගෙන් සියයට 45 ක් පමණ පෞද්ගලික වෛද්‍ය සේවයට යොමුවන බව ප්‍රකාශිතය. එසේ වුවද විශේෂඥ වෛද්‍යවරුන් චැනල් සේවයට අය කරන ගාස්තු ඉතාම අසාධාරණ ලෙස ඉහළ නගිමින් තිබියදී ජනතාවට තවත් සියයට 15 ක් බිල්පතට එකතුවීම ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීමකි.
පෞද්ගලික රෝහල්වලද අය කරන ගාස්තු ඉතාම ඉහළ වන අතර එයට අමතරව සමස්ත බිල්පතට සියයට 15 ක් වැඩිපුර එකතු කිරීම සාධාරණ නොවේ. රෝහලේ බිල්පතින් සියයට 15 ක් බදු ගෙවීම වෙනත් කාරණයකි. එහෙත් මෙහිදී සිදුවන්නේ රජයට බදු සඳහා යැයි රෝහල් බිල්පතින් සියයට 15 ක් රෝගියාගෙන් අය කිරීමය. රෝහල් පමණක් නොව සෑම ව්‍යාපාරයකින්ම රජය අය කරන බදු එම ආයතන ගෙවූවද ඇතැම් අවස්ථාවල එයට වැඩි ප්‍රතිශතයක් පාරිභෝගිකයාගෙන් අයකරගැනීමට ව්‍යාපාරිකයෝ කටයුතු කරති. මෙහිදී පාරිභෝගිකයාට දෙපැත්තකින් තැලෙන්නට සිදුවෙයි. දෙආකාරම බදු පිළිබඳ වගකීම ඔහුට වක්‍රව පැවරේ. මේ පිළිබඳ මෙතෙක් කිසිදු ආණ්ඩුවක් මගින් විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
එසේම රජය වෛද්‍යවරුන් පමණක් නොව සියලුම වෘත්තිකයන්ගෙන් සියයට 24ක බද්දක් අය කිරීමට නව ආදායම් පනතින් බලය ලබාගෙන ඇත. එහෙත් රිසිට් පත් නිකුත් කරන වෛද්‍යවරුන් හැරුණු විට සෙසු නීතිඥ, මිනුම්දෝරු, සැලසුම්, විද්‍යාඥ, පෞද්ගලික ගුරු ආදී සෑම වෘත්තිකයකුගෙන් යෝජිත බද්ද අයකරගැනීමට ක්‍රමවේදයක් සකස් කර තිබේද යන්න දක්නට නැත. ඔවුන් කොතරම් මුදලක් හරිහම්බ කළද ඒ පිළිබඳ කිසිදු ලිඛිත සාක්ෂියක් නොමැත. ඔවුන් ලබාගන්නා මුදල් පිළිබඳ කිසිදු පාරදෘශ්‍යභාවයක් හෝ සම්මුතියක් නොමැත. උදාහරණයක් ලෙස පැවසුවහොත් නීතිඥයකු ස්වකීය ගනුදෙනුකරුවාගෙන් අය කරන මුදල් සඳහා රිසිට් පතක් දීමේ ක්‍රමවේදයක් නොමැත. එවැන්නක් ඉල්ලන ගනුදෙනුකරුවකුද නොමැත. බලකර රිසිට් පතක් ඉල්ලුවහොත් නඩුවට පෙනී නොසිටීමට නීතිඥයාට පුළුවන. එසේම නීතිඥයන් අය කරන ගාස්තුවලද ඒකීයභාවයක් නැත. එකම නඩු නිමිත්තකට විවිධ නීතිඥයෝ ස්වකීය පළපුරුද්ද හා ප්‍රවීණත්වය පාදක කරගෙන විවිධ ලෙස මුදල් අය කරති. ඉල්ලන මුදල ගෙවනවා විනා හෙට්ටුකිරිල්ලක් නොමැත.
සිසුන් දෙතුන් දහසකට උගන්වන ඇතැම් පෞද්ගලික පන්ති ගුරුවරු දිනකට ලක්ෂ ගණනක් උපයති. එහෙත් ඔවුන්ගේ නියම ආදායම සංවෘත වේ. රජය හෝ කිසිවකුට සත්‍ය ආදායම දැනගත නොහැක. එසේම ඔවුන් අය කරන පන්ති හා විෂය ගාස්තුද විෂම වන අතර කිසිවකුටත් ඒවා විෂයයන් හෝ පන්ති අනුව මෙපමණ විය යුතු යැයි නීති පැනවිය නොහැකිය. එය ඔවුන්ටම ආවේණික වූ ක්‍රමවේදයකි. ආදායම් බදු ගෙවන ඇතැම් වෘත්තියවේදීන් අඩු මුදලක් පෙන්වා සොච්චම් බද්දක් ගෙවා ලිස්සා යති. සත්‍ය තත්ත්වය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රකාශ නොකරන අතර එය දැනගත හැකි ක්‍රමයක්ද නොමැත.
මෙම වෘත්තියවේදීන් අතර පහසුවෙන් බදු දැලට කොටුකරගත හැක්කේ පෞද්ගලික සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ය. එයට හේතුව චැනල් සේවය යටතේ හෝ රෝහල්වල ප්‍රතිකාර කරන ඔවුන් අය කරන ගාස්තු එම ආයතන මගින් පහසුවෙන් දැනගත හැකි නිසාය. ඒ නිසා ඔවුන්ට සෙසු වෘත්තිකයන් මෙන් අඩු ආදායමක් පෙන්වා බදු දැලෙන් රිංගා යා නොහැකිය. ඒ නිසා පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ට අලුත් බදු පනත අනුව සියයට 24 ක් බදු ගෙවිය යුතුය. මෙය ඔවුන් උපයන ආදායමෙන් ¼ ක් පමණ වූ විශාල මුදලකි. මොවුන් වෙනත් විවිධ අංශවලින්ද රජයට බදු ගෙවන අයයි. ඒ නිසා ඔවුන්ගෙන් සත්‍ය වශයෙන් රජය අය කරන බදු මුදල ඉතා විශාලය. වෛද්‍යවරුන් සටන් කරන්නේ තමන්ගෙන් අය කරන 24% බදු ප්‍රතිශතය මුලින් තිබූ සියයට 12 දක්වා අඩුකර ගැනීමටය. මෙයට ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් මෙම මුදල පියවාගැනීමට චැනල් ගාස්තු වැඩිකිරීමට වෛද්‍යවරුන් පෙළඹීමට ඉඩ ඇත. මේ පිළිබඳ වෘත්තිය ක්‍රියාමාර්ගයක් වශයෙන් සති දෙකක කාලයක් පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත්වීමට ඔවුහු මේ වන විට තීරණය කර සිටිති. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය යන සංගම්වලට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරුන් එම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍ය සංගමය ප්‍රකාශ කර තිබේ.
රජයේ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුනිල් විජේසිංහ කියන්නේ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් රජය මෙතෙක් අයකළේ වාර්ෂික ආදායම මත සියයට 12ක බද්දක් පමණක් බවය. නව බදු පනතින් එය 24 ක් කර තිබීම බලවත් අසාධාරණයකි. වෛද්‍යවරුන්ගෙන් අය කරන සියයට 24 බද්ද 12 දක්වා අඩුකරන ලෙසද දැනට රෝගීන්ගෙන් අය කරන සියයට 15 බද්ද ඉවත් කරන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.
ඔහු පෙන්වා දෙන්නේ රෝගියකු රුපියල් 1650 ක් ගෙවා පෞද්ගලික වෛද්‍ය විශේෂඥයකුගේ සේවය ලබාගන්නා විට විශේෂඥයාට ලැබෙන්නේ රුපියල් 760 ක් පමණක් වන අතර රුපියල් 630 ක් රජය බදු ලෙස ලබාගන්නා බවය. පෞද්ගලික රෝහලක හෝ චැනල් ස්ථානයකින් විශේෂඥ වෛද්‍ය සේවයක් ලබාගන්නා විට රෝගීන්ගෙන් අය කරන මුදලින් සියයට 43 ක් වෛද්‍යවරයාට ලැබෙද්දී සියයට 39 ක් රජය කිසිවක් නොකර බදු ලෙස ලබාගනී. වෘත්තිකයන් සහ සියලු පාර්ශ්වවලට මේ බද්ද පොදුවේ නියම කළද නීතිඥයන් හා පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන් ආදීන් කිසිදු පාරදෘශ්‍යභාවයකින් බිල්පත් නිකුත් නොකරන නිසා ඔවුන්ට සිදුවන අසාධාරණය අඩු බව ඔහු පෙන්වා දෙයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙයට ඉහතදී වෛද්‍යවරුන් පොරොත්තු සේවයේ යෙදී සිටීමට ගෙවන දීමනාවට බදු අයනොකළ නමුත් මෙවර නව බදු පනතින් පොරොත්තු සේවයට ලැබෙන මුදල ද වැටුපට එකතු කර බදු ගැසීම ඉතාම අසාධාරණ බවය. බොහෝ වෙලාවලදී රජයේ විශේෂඥ වෛද්‍යවරුන් රාජ්‍ය සේවයේ නිරත වී ලබන වැටුපට වඩා වැඩි මුදලක් පෞද්ගලික වෛද්‍ය සේවය ලබාදී රජයට බදු ලෙස ගෙවන බවය. මෙය බරපතළ අසාධාරණයක් බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තිය ප්‍රවීණත්වයට සහ සුදුසුකම් අවතක්සේරුවට ලක්කිරීමක් බවද පෙන්වා දෙන ඔහු තම ඉල්ලීම්වලට ප්‍රතිචාර නොලදහොත් පෞද්ගලික සේවයෙන් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය දිගටම රැගෙන යන බවද කියයි. එවිට රජයට තමන්ගෙන් ලැබෙන බදු මුදල් ද අහිමිවන බව හෝ අවධාරණය කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් සොයිසා:-
“අසාධාරණ බදු අයකිරීම නවත්වන ලෙස මෙයට පෙර මුදල් අමාත්‍යංශ ලේකම් මුනිදාස කළ සාකච්ඡාවේදී අපි ප්‍රධාන කරුණු තුනක් ගෙනහැර දැකවූවා. එහි ප්‍රධාන කරුණ වන්නේ බදු අයකිරීමේදී වෘත්තියවේදීන් හා ව්‍යාපාරිකයන් එකට ගෙන එක ගණයේ ලා බදු අයකිරීම වැරදි බවය. මේ දෙගොල්ල වෙනස් කේෂත්‍ර දෙකකි. ව්‍යාපාරිකයන් වැඩි ආදායමක් ලැබුවාට ඔවුන් වෘත්තිය සුදුසුකම් ලැබූ අය නොවෙයි. ඔවුන් හා සමකරලා වෘත්තියවේදීන්ගෙන් බදු අයකිරීම අසාධාරණයි. ලොව ඕනෑම රටක බදු අයකිරීමේදී වෘත්තියවේදීන්ට හා ව්‍යාපාරිකයන්ට බදු අයකිරීම දෙයාකාරයකින් තමා ක්‍රියාත්මක වන්නේ. එහෙම අසාධාරණ බදු ප්‍රතිශතයක් අයකළාම බුද්ධි ගලනය ඇතිවෙනවා. වෘත්තියවේදීන් රට ගැන කලකිරී පිටරටවල සේවයට යාම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට බාධාවක්.
ඊළඟට අපි ඉල්ලුවේ බදු ප්‍රතිශතය මුලින් පරිදි සියයට දොළහක් කරන ලෙසයි. අපි බදු ගෙවන්න බැහැය කියන්නේ නැහැ. එය සාධාරණීයකරණය කරන්න කියලයි කියන්නේ.
අපේ අනිත් ඉල්ලීම වූයේ ජනතාවගෙන් අප කරන බදු මුදල් ආණ්ඩුව වැයකරන අන්දම රටට හෙළිකරන ලෙසයි. දුප්පත් ජනතාවද වැඩිකොටසක් වක්‍රව තම භාණ්ඩ හා සේවාවලින් රජයට බදු ගෙවනවා. ඉතින් මේ මුදල්වලට සිදුවන්නේ කුමක් ද යන්න දැන ගැනීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. රජයේ නිස්කාරන වියදම් හා මුදල් නාස්තිය වැඩියි. කිසිම පිරිමැස්මක් හෝ කළමනාකරණයක් දක්නට නැහැ. උදාහරණයක් වශයෙන් ගතහොත් පළාත් සභා මන්ත්‍රී කෙනෙක් දිනකට පැය 8 ගණනේ මසකට වැඩකරන්නේ පැය 32 වැනි සුළු කාලයක්. ඒ අයකු වෙනුවෙන් ආණ්ඩුව මසකට ලක්ෂ 5කට වැඩියෙන් වැයකරනවා. වැටුප්, දීමනා, කාර්යමණ්ඩල, මෝටර් රථ, කාර්යාල, සෞඛ්‍ය පහසුකම් ආදි වශයෙන්. ඒ අය මොනවාද රට වෙනුවෙන් කරලා තියෙන්නේ? ඒ අයට ජනතා බදු මුදල්වලින් මේ විදියට සැලකීම හරිද?
දේශපාලනඥයන් රටේ ජනතාවගේ බදු මුදල්වලින් වැඩි කොටසක් පාරිභෝජනය කරනවා. සුළු අසනීපයකට පවා ප්‍රතිකාර ගන්න සිංගප්පූරුවට යනවා. අධි සුඛෝපභෝගි යානවාහන පාවිච්චි කරනවා. ඇමැති පුතාලා රජයේ වාහන අයථා පරිහරණය කරලා හප්පලා ඒවා විනාශ කරනවා. අනවශ්‍ය ලෙසට කාර්යාල පවත්වාගෙන යාමට මුදල් වැය කරනවා. අධි සුඛෝපභෝගී ලෙස ජනතා බදු මුදල් යොදාගෙන ජීවත් වෙනවා. ඒ නිසා බදු මුදල්වලින් කරන දේ ජනතාවට පැවසීම යුතුකමක්.”
ඔහු පෙන්වා දෙන්නේ රජය ඍජු බදු වැඩිකර වක්‍ර බදු අඩු කළා යැයි පවසන නමුත් එය සිදුවෙනවා නම් වෙළෙඳපොළේ භාණ්ඩ මිල අඩුවිය යුතු බවයි. එහෙත් දිනපතා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල පවා මිල නගිනවා මිස පහළයන්නේ නැහැ. එසේ නම් වගකිව යුත්තන් කියන දේවල් ජනතාවට පිළිගන්න අපහසුයි ඔහු කියයි.
ස්වකීය ඉල්ලීම් පිළිබඳ ප්‍රතිචාර දැක්වීමට භාණ්ඩාගාර ලේකම් හා මුදල් අමාත්‍යාංශවල ලේකම්වරුන් පසුගිය 7 දා පැවති සාකච්ඡාවේදී එකඟවූ අතර ඒ සඳහා සති දෙකක කාලයක් ලබාදුන් බව ඔහු කියයි. ඒ අනුව ලැබෙන ප්‍රතිඵල සලකාබලා 21 දිනට විධායක සභාව රැස්වී ඊළඟ පියවර පිළිබඳ තීරණය කරන බව ඔහු කියයි.
එසේම විශේෂඥ වෛද්‍ය සංගමය ඔවුන්ගේ වෘත්තිය කටයුතු පිළිබඳ තම සංගමයෙන් සහාය ඉල්ලා නොමැති අතර ඔවුන් සිදුකරන දේවල් ගැන තම සංගමයට වගකීමක් නොමැති බව ඔහු කියයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට විශේෂඥ වෛද්‍යවරුන්, පරිපාලන වෛද්‍යවරුන් සහ ශ්‍රේණි ගත වෛද්‍යවරුන් සම්බන්ධ බව ඔහු කියයි.
මෙම අසාධාරණ බදු ඉවත් කරනතුරු දිගටම සටන් කරන බව ඔහු අවධාරණය කරයි.
පරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ වෘත්තියවේදීන්ගේ ආදායමෙන් බදු අයකිරීමට ආණ්ඩුව කටයුතු කරන බව පැවසුව ද ඒ සඳහා කිසිම ක්‍රමවේදයක් බලධරයන්ට නොමැති බවය. “වෘත්තියවේදීන්ගේ ආදායම සෙවීමට ක්‍රමයක් නෑ. එකම දේට විවිධ මිල අය කරනවා. දොස්තරවරු ඇතුළු සෑම වෘත්තිකයෙක්ම ලබන මුදල් ගැන කිසිදු සංඛ්‍යා ලේඛන නැහැ. ඒ නිසා මෙහිදී නීතියක් නැති වුණත් ඔවුන් අතර යම් එකඟතාවක් ඇතිකිරීමට ආණ්ඩුවට හැකිවිය යුතුය. මේ සේවයට මෙම මුදල උපරිමව අයකළ යුතුයි ආදී වශයෙන්. එසේ කළවිට මේ විෂමතාව යම් පමණකට අඩු වෙනවා.
උදාහණයක් ලෙස පැවසුවහොත් රටේ පෞද්ගලික ආරෝග්‍ය ශාලා පර්යේෂණ ආයතන, චැනල් සේවා ආදි ශ්‍රේණි ගතකරලා ඒවාට අයකළ යුතු උපරිම මිලක් නියම කළ යුතුය. එසේම ආදායමට අවම සීමාවක් දමා එතැනින් එහාට වැඩි බදු ප්‍රතිශතයක් අයකළ යුතුය.”
දැනට ආණ්ඩුව ගහන බදුවල කිසිදු සාධාරණතාවක් නොපෙනෙන බව ඔහු පෙන්වාදෙයි.
♦ යසවර්ධන රිද්රිගු
බද්ද බස්සන්න සාකච්ඡා - සෞඛ්‍ය ඇමැති
අප්‍රේල් 01 දා ක්‍රියාත්මක වන නව බදු පනතේ යටතේ පනවා ඇති ඇතැම් බදු ක්‍රියාත්මක කිරීම පිළිබඳ මේ වනවිට අදාළ අංශ තුළ දෙගිඩියාවක් ඇතිව තිබේ. පසුගිය සතියේ මුදල් අමාත්‍යවරයා පැවසුවේ දැනට පනවා ඇති සමහර බදු සියයට 2.5කින් පමණ අඩුකිරීම පිළිබඳ සැලකිල්ල යොමුව ඇති බවය. එයට හේතුව මෙම බදු නිසා පොදු ජනතාව විශාල හිරිහැරයකට පාත්‍රවී තිබීමය. එසේම විවිධ අංශ මගින් බදු පිළිබඳ විරෝධතා එල්ලවෙමින් පැවතීමද මෙයට හේතුවක් වී ඇත.
සෞඛ්‍ය සේවයට පනවා ඇති සියයට 15ක වැට් බද්ද මුළුමනින්ම ඉවත් කරන ලෙස තමා යෝජනාවක් ඉදිරිපත් කර ඇතිඅතර ඒ පිළිබඳ මුදල් ඇමැති සහ නිලධාරින් සමඟ සාකච්ඡා අරඹා ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කර තිබේ. වෛද්‍යවරයාගේ ගාස්තුවට අමතරව සියයට 15ක බද්දක් අයකිරීම අසාධාරණ බව පවසන ඇමැතිවරයා පෞද්ගලික ප්‍රතිකාර සඳහා අයකරන ගාස්තු සහ බදු අසීමිතව ඉහළ ගියහොත් රෝගීන් පෞද්ගලික අංශය මඟහැර රජයේ රෝහල්වලට යොමුවීමේ ප්‍රවණතාව වැඩිවන අතර වැට් බද්දෙන් ලබාගැනීමට අපේක්ෂිත ආදායමට වඩා වැඩිමුදලක් රජයේ රෝහල්වල වියදමට එකතු කිරීමට සිදුවනු ඇතැයි ඔහු පැවැසීය.
මේ වනවිට කලාකරුවන් සහ ලේඛකයන් සඳහා පනවා ඇති සියයට 14ක රඳවා ගැනීමේ බද්ද ද ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
බැංකු හරපත්වලින් මුදල් ලබාගන්නා සෑම අවස්ථාවකදී මුදල් ප්‍රමාණය ගැන නොසලකා රුපියල් 10ක් කපාගැනීම නිසා බැංකුවලින් ගනුදෙනුකරුවන් ඉවත්ව යා හැකි බවට බැංකු කේෂ්ත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව ඇත. මෙම ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව ද මුදල් අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.
වෘත්තිකයන්ගේ මෙතෙක් අයකළ සියයට 12 වැට් බද්ද සියයට 24 දක්වා ඉහළ නැංවීම පිළිබඳ ඔවුන් විරෝධය ප්‍රකාශ කර ඇති අතර බොහෝ වෘත්තිකයන්ගේ සත්‍ය ආදායම ගණනය කිරීමේ නිසි ක්‍රමවේදයක් ස්ථාපිත නොකර ඔවුන් ගෙන් යෝජිත බද්ද අයකිරීම ප්‍රායෝගිකව කළ නොහැකි බවද පෙන්වා දී තිබේ.
මේ ආදි කරුණු නිසා නව බදු පනතින් පනවා ඇති හා පුළුල් කර තිබෙන බදු පරාසයක් ක්‍රියාවට නැගීමේ දුෂ්කරතාවකට ආණ්ඩුව මුහුණ පා ඇති බව දැනගන්නට ඇත.