2018 ජුනි 23 වන සෙනසුරාදා

පාරක් නැතුව හඬාවැටෙන මීමුරේ

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 367

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර මැතිවරණ කොට්ඨාසයේ හුන්නස්ගිරිය නගරයට කිලෝමීටර් 37ක පමණ දුරකින් පිහිටි මීමුරේ ගම්මානයට යාමට ඇති ප්‍රධාන මාර්ගය බොහෝ දේශපාලනඥයන්ට තමන්ගේ සාක්කුවලට මුදල් දමාගැනීමේ ඉල්ලමක් බවට පත්ව තිබෙන බව අතිදුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ මීමුරේ ගමට ගිය අපට, ගම්වාසීන්ගෙන් දැනගැනීමට හැකිවිය.

බොහෝ දේශපාලනඥයන් මැතිවරණ සමයේ තම ගමට පැමිණ බොරු පොරොන්දු දෙමින් ගම සංවර්ධනය කරන බවට තමන් රවටා ඡන්දය ලබාගත් පසු ගම දෙස පැත්ත හැරී නොබලන බව ගම්වාසීහු පැවසූහ.

පරිසරය කොපමණ හොඳ වුවද මෙම ගම්මානයේ ජීවත්වන ජනතාවට හිමිව තිබෙන මූලික පොදු අයිතිවාසිකම් ඒ ඒ රජයන් විසින් ඉටුකරදීමට දැරූ උත්සාහයන්හිදී ඇතැම් රාජ්‍ය ප්‍රධානීන්, දේශපාලන බල අධිකාරියේ ප්‍රධානීන් මීමුරේ ජනතාවට ලැබිය යුතු එම පොදු සේවාවන් ලැබෙනවාදැයි සොයාබැලීමක් හෝ සිදුකර නැතැයි අප එම ගම්මානයේ ගත කළ දින දෙක ඇතුළතදී අපට දැනගැනීමට ලැබිණි.

ගමේ ග්‍රාම නිලධාරියා ස්ථිර වශයෙන්ම තම වසමේ සිටිය යුතුය. ඔහු රාජකාරි කටයුතුවලට එනවාදැයි විමසූ විට ගම්වාසීන්ට එයට පිළිතුරු නොලැබිණි. ග්‍රාම නිලධාරී මහතා අමනාප කර ගැනීමට නොහැකි හේතුව නිසා ඔවුන් නිහඬ වන්නට ඇත.
ගමට පොදු ප්‍රවාහන සේවාවද අහිමි වී ඇත්තේ මාර්ගය අතිශයින් අබලන් තත්ත්වයේ පැවතීම නිසාය.

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කලකට පෙර අගමැති ධූරය හොබවද්දී මීමුරේ ගමට ලබාදුන් බසය අද අතුරුදන්ය. රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළ ගම්වාසීන් ඔහුට ප්‍රණාමය පුදකළේ තම ගම ගැන සිතා ගමේ ජනතාව වෙනුවෙන් ගමට බස් රියක් ලබාදීමට පුරෝගාමී වූ නිසාය.

කෙසේ වුවත් බස් රථයකට මෙම මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වී ඇත්තේ මාර්ගයේ බොහෝ ස්ථාන අබලන් වී විශාල වළවල් සෑදී ජලාශ බවට පත්වී, තවත් ස්ථාන කිහිපයක ප්‍රපාතයන් පිහිටි ඉසව්වල මාර්ගයේ ගිලාබැසීම් සිදුවී තිබීම නිසාය. මෙම ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට හැකි තත්ත්වයේ පවතින නමුත් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ බලධාරීන්ට ඒ සම්බන්ධව විශේෂ වුවමනාවක්ද නැතැයි ගම්වාසීහු අපට පැවසූහ.

නිවාඩු දිනවලට පෞද්ගලක ජිප් රථ, ලොරි රථ සහ ට්‍රැක්ටර්වලින් දෙස් විදෙස් සංචාරකයෝ මීමුරේ ගම්මානයට පැමිණෙති. ගමේ ජනතාව යන්තම් දිවිගෙවන්නේ මෙම දෙස් විදෙස් සංචාරකයන්ට නවාතැන් සපයා ආහාරපාන ලබාදීමෙන් ලැබෙන මුදලකිනි. ගමට පිරිසුදු පානීය ජලය ලබාදීමේ ජල ව්‍යාපෘතිය අතරමඟ ඇණහිට තිබේ. ඒ සඳහා මුදල් වියදම් වූ ආකාරය හා එකී මුදල් ඇතැම් නිලධාරීන්ගේ සාක්කුවලට ගිය ආකාරය ගම්මු හෙළිකළද දැනට ඉතිරි වී ඇත්තේ ජල ව්‍යාපෘතියට ඉදිකළ ටැංකි කිහිපය පමණි.

ගමේ ප්‍රධාන සෞඛ්‍ය මධ්‍යස්ථානය මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අංගසම්පූර්ණ රෝහලක තත්ත්වයකට ඉදිකර ඇත. එහෙත් මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානය වසාදමා තිබේ. වෛද්‍යවරයකු නැත.  මෙහි උපකරණ දිරාපත් වෙයි. ශීතකරණ ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ ඇතත් සතියේ දින පහේම මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානය වසාදමා ඇති බවට ගම්මු චෝදනා කරති. හදිසි අසාධ්‍ය රෝගියකු රෝහලක් වෙත (ළඟම රෝහල උඩදුම්බර රෝහල) රැගෙන ඒමට පෞද්ගලික වාහනයක් සඳහා රුපියල් දස දහසක මුදලක් ගෙවීමට සිදුව තිබෙන බව ගම්වාසීහු පවසති. සෞඛ්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ල වසාදමා තිබෙන අතර රෝහල් කම්කරුවන් දෙදෙනෙක් පමණක් මෙහි සේවය කරති. ඔවුන් දෙදෙනා රෝහල් පරිශ්‍රය එළිපෙහෙළි කරමින් අතුගාමින් පිරිසුදු කිරීම් සිදුකරති. හෙදියෝ, උපස්ථායක හෝ වෛද්‍යවරු නැති එකම රෝහල් ගොඩනැගිල්ලක් මධ්‍යම පළාතේ ඇත්නම් එය මීමුරේ සෞඛ්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ලයි.

ත්‍රිරෝද රථයකින් මීමුරේ ගම තුළට යාමට රුපියල් 3000ක මුදලක් අය කෙරෙයි. ත්‍රිරෝද රථය හුන්නස්ගිරිය ලූල්වත්ත අට්ටලමෙට්ටුව (ෆෝබර්ස් ගැප්ස්) හරහා මීමුරේට ගොස් ආපසු හුන්නස්ගිරිය නගරයට පැමිණි විට එම රථයේ උපාංග පිළිසකර කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව ත්‍රිරෝද රථ හිමිකරුවෝ පවසති.

මීමුරේ ගම්මානයට පැමිණීමට තිබෙන ප්‍රධානතම රථවාහන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් එම ගම්මානය සහ අවට ගම්මානවල ජීවත්වන ජනතාවගේ ආර්ථිකය දියුණුවට පත්වී සංචාරක ව්‍යාපාරය ද ඉහළ නැංවී ගොවි ජනතාවගේ කෘෂි නිෂ්පාදනවලටද සතුටුදායක මිලක් ලබාගෙන ගමේ ජනතාවගේ අතමිට සරුකරගත හැකි බව මීමුරේ ප්‍රදේශයේදී අපට හමුවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්යවරයකු වන මහාචාර්ය තිලක් කරුණාරත්න, භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුනේත්‍රා තෙන්නකෝන් යන මහත්ම මහත්මීහු පැවසූහ.

තෙල්දෙණිය ඩිපෝව මගින් ලූල්වත්ත පෙදෙසට එක් ලංගම බස් රියක් ධාවනයට යොදවා ඇතත් එම බස් රියද මීමුරේ මාර්ගයේ ධාවනය වන්නේ ඉතා අසීරුවෙන් බවත් මාර්ගයේ විශාල වළවල් නිසා බස් රියේ උපාංගද අකර්මණ්‍ය වන තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ලංගම සේවක මහත්වරු පැවසූහ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා විශේෂවේදී උපාධිධාරියකු වන ලලිත් බණ්ඩාර හේරත් මහතා මීමුරේ ගම්මානයේ ඉපිද ගමේ සංවර්ධනය වෙනුවෙන් ඇප කැපවන තරැණයෙකි. ඔහු ගමේ දුෂ්කරතා පිළිබඳව මෙසේ හෙළිදරව්වක් කළේය.

“ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ 2004 දී මීමුරේ දිඹිගොල්ල ඔය හරහා පාලමක් ඉදිකිරීමට කටයුතු කළා. ඔය හරහා විශාල කොන්ක්‍රීට් කණු ඉදිකරල අතිවිශාල ජනතා මුදලක් වැයකරල වැඩ ආරම්භ කළා. පාලමට සවිකරන්න ගෙන ආ රුපියල් කෝටි ගණනක් වටිනා යකඩ තොගය පරණ යකඩ තොගයක් බව හෙළිවූ නිසා ගමේ මිනිස්සු ඒ පරණ යකඩ පාලමට දාන්න නොදී විරෝධය පළ කළා. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු පාලම ඉදිකිරීම අත්හැරලා පරණ යකඩ තොගයත් දාලා පලා ගියා.
ඔය හරහා දැවැන්ත කොන්ක්‍රීට් කණු සිටුවා තිබෙන නිසා දැන් තිබෙන්නේ සුළු වැඩ කොටසක්. ජනාධිපතිතුමාගෙන් සහ අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා දිඹිගොල්ල ඔය හරහා පාලම සාදා දෙන්න කියලා.

ඊ.එම්. සමරකෝන් බණ්ඩා මහතා

“ප්‍රමිතියෙන් තොර පරණ යකඩ තොගයක් අරගෙන ආවා පාලම හදන්න. ඒකට ගම්මු විරුද්ධ වුණා. පාලම හැදීම නතර වුණා. රජයේ වගකිව යුතු නිලධාරීන් මේ මහා මුදල් නාස්තියට වගකිව යුතුයි. කෝටි ගණනක මහජන මුදල් වියදම් කරල දිඹිගොල්ල ඔය හරහා පාලම හදන්න කටයුතු කළත් අද ඒ මහජන මුදල් වතුරේ. ගමේ මිනිස්සුන්ගේ වී ටික, එළවළු ටික, ගම්මිරිස් ටික ඔයෙන් එගොඩට ගෙන යාමට අවශ්‍ය පරිදි පාලම හදාදීම රජයේ නිලධාරීන්ගේ වගකීමක්.”

කයිකාවල - මීමුරේ ශ්‍රී ගංගාරාම විහාරයේ විහාරාධිපති අම්බාලේ මේධානන්ද හිමි

“රාජ්‍ය නිලධාරියකු හරි මේ ප්‍රදේශයට එන්න මැලිකමක් දක්වන්නේ පාර අබලන් වී ප්‍රවාහන පහසුකම් දුර්වල තත්ත්වයේ පවතින නිසයි. රජයේ හැම බලධාරියකුටම මේ පාර හදා දෙන්න කියා ඉල්ලීම් කළා. කවුරුවත් ඒකට ඇහුම්කන් දෙන්නේ නැහැ. දෙස් විදෙස් සංචාරක පිරිස් නිතර නිතර මේ ගමට එනවා. ඔවුන් නිසා ගමේ මිනිස්සුන්ටත් කීයක් හරි ආදායමක් ලැබෙනවා. ඒ අයටත් එන්න දුෂ්කර වී තිබෙන්නේ පාර අබලන් නිසයි.”

ලලිත් බණ්ඩාර මහතා  (මීමුරේ වැසියෙක්)

“විවෘත කළ දා සිට මීමුරේ කුඩා රෝහල වහල. බෙහෙත් ශාලාව වහල. අසනීපයක් හැදුණොත් බෙහෙත් ගන්න රුපියල් 2000 ක් 3000 ක් වියදම් කරගෙන හුන්නස්ගිරිය නගරයට නැත්නම් උඩදුම්බර රෝහලට යන්න වෙලා තිබෙනවා. රෝහලට පත් කළ වෛද්‍යවරයා එන්නෙත් නැහැ”

ඒ.කේ.ජී.එම්. අබේරත්න බණ්ඩා මහතා (විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකි)

“පාර නැත්තටම නැතිවෙලා ගියොත් කිසිම රාජ්‍ය සේවකයෙක් මේ ගමේ සේවයට එන්නේ නැතිවෙයි. විදුහල්වල උගන්වන්න පත්වීම් ගත්ත ගුරු මහත්ම මහත්මීන් පවා ගමට ආවේ නැහැ. මගේ විශ්‍රාම වැටුප ගන්න මට හුන්නස්ගිරිය නගරයට යන්නේ රුපියල් 1000 ක් පෞද්ගලික වාහනයකට ගෙවලයි. මීමුරේ පාර හදා දෙන්න රජයේ වගකිවයුත්තන් පියවර ගත යුතුයි.”

මීමුරේ ගම්මානයේ දුෂ්කර තත්ත්වය මාර්ග අපහසුතාවය බව ගමේදී අපට හමුවූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය පින්නවල සංඝානන්ද හිමිද, සමාරා පොල්වත්ත (ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියක්), පියුමි විජේරත්න (විශ්වවිද්‍යාල සිසුවියක් - ජ.පුර), ඩී.එම්.යූ.ජී. විජේරත්න (මීමුරේ), ඒ.එම්. සීලවතී මැණිකේ (මීමුරේ), පී.කේ.ජී. මුතුබණ්ඩා (මීමුරේ), කේ.ජී. සෙනවිරත්න (මීමුරේ), ඒ.එම්. කුමාරිහාමි (මීමුරේ), වසන්ත ඒකනායක (මීමුරේ) යන මහත්ම මහත්මීහු පැවැසූහ.
මෙම ලිපිය සැකසීමේදී අපට සහාය දුන් මීමුරේ ජනතාවට ප්‍රණාමය පුද කරමු.

(ජේ.ඒ.එල්. ජයසිංහ - මීමුරේ සංචාරයකින් පසු...)
සේයාරූ - තෙල්දෙණියේ චන්දන උඩුවාවල