2018 ජුනි 23 වන සෙනසුරාදා

බදු.. දානවා.. කපනවා..

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කළ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ දැක්වෙන ඇතැම් බදු විධි විධාන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට යාමේදී මේ වනවිට ආණ්ඩුවට විශාල ගැටලු සහගත තත්ත්වයකට මුහුණදීමට සිදුව තිබෙන බව දක්නට ලැබේ. මෙම බදු පනතින් මුලින් පැවති 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ තිබූ ඇතැම් බදු සහන කපා හැර ඇති අතර ඇතැම් බදු ප්‍රතිශෝධනය කර තිබෙනවාත් හැර මෙතෙක් බදු නොගෙවූ විවිධ ක්ෂේත්‍රවලට බදු පනවා ඇත.

මුදල් අමාත්‍යවරයා මෙම නව බදු පනත මගින් දේශීය සෘජු බදු ආදායම සියයට 40 දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කළද එය යථාර්ථයක් බවට පත්කර ගත හැකිද යන්න ගැටලුවකි. විපක්ෂය චෝදනා කරනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි සකස් කළ මෙම පනතේ ඇතැම් ප්‍රතිපාදන අපේ රටට නොගැලපෙන බවය. එනිසා ජනතාවට එමගින් ලැබෙන හිරිහැරය වර්ධනය වී තිබේ. මෙම නව බදු පනතට එරෙහිව විද්වතුන්, වෘත්තිය සමිති, ජනතා සංවිධාන, ආගමික නායකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් මේ වනවිට ප්‍රකාශ නිකුත් කර ඇත.

මෙහි නියම කර ඇති බදු නිසා ආයතන සහ විවිධ පුද්ගලයන් අසාධාරණයට ලක්ව ඇති අතර ඔවුන් මෙහි සංශෝධන ඇති කරන ලෙස දේශපාලන අධිකාරියට බලපෑම් සිදු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. මෙම බදු ව්‍යූහය සකස් කිරීමේදී නියමිත අමාත්‍යංශ, ආයතන හා මුදල් ක්ෂේත්‍ර සමඟ සංවාදයකට යොමුව නොමැති අතර සමහර ඇමැතිවරන් පවා තම අමාත්‍යංශවලට අදාළ බදු මුදල් වැඩිකර ඇති බව දැනගෙන ඇත්තේ බදු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව බවද හෙළිවේ.

නව බදු පනත මගින් 2018 වසරට අයකර ගැනීමට නියමිතව ඇති බදුවල වටිනාකම කෝටි ලක්ෂය ඉක්මවන අතර 2014ට සාපේක්ෂව සියයට සියයක බදු ඉහළ නැංවීමක් සිදුව ඇති බව බදු විශ්ලේෂකයෝ පවසති. කෙසේ වුවද මුදල් අමාත්‍යංශය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව සෘජු බදු අඩුවෙන් අය කරන රටවල් අතර සිටින බවය. අපේ රටේ සෘජු බදු ප්‍රතිශතය 10 නමුත් මහා බ්‍රිතාන්‍යයේ ආදායම් බදු ප්‍රතිශතය 33.3ක්ද නෝර්වේ රාජ්‍යයේ 40.2ක්ද සමස්ත යුරෝපීය කලාපයේ 30%ක්ද  ආදී වශයෙන් ඉහළ බදු ප්‍රතිශතයක් පවත්වාගෙන යයි. එසේ වුවද ශ්‍රී ලංකාවේ ඉහළ බදු බරක් තිබෙන බවට ජනතාව චෝදනා කරන්නේ ඔවුන්ගේ ආදායම අවම වීම හේතුවෙනි.

මුදල් ඇමැති මංගල සමරවීර පවසන්නේ ශ්‍රී ලංකාවේ සෘජු බදු ගෙවන්නේ සමස්ත බදු ගෙවන්නන්ගෙන් සියයට 18ක් පමණක් වන සුළු සංඛ්‍යාවක් බවය. සියයට 82ක්ම වක්‍ර බදු ගෙවන්නෝ වෙති. රටේ වැඩිහිටි ජනගහණය මිලියන 14ක් වුවද ඔවුන් අතරින් බදු ලිපිගොනු විවෘත කර ඇත්තේ ලක්ෂ 4ක් පමණක් බව ඔහු කියයි. 10 – 12 ගුණයක් සමන්විත වන්නේ බදු නොගෙවන අයගෙනි. කෙසේ වුවද අප්‍රේල් මාසයේ නව බදු පනත ඉදිරිපත් කළාට පසු මාස දෙකක් තුළ අලුතෙන් බදු ගොනු 69,000ක් පමණ විවෘත වී තිබෙන බව ඔහු කියයි. මුල් සති තුන තුළදී ගොනු සංඛ්‍යාව සියයට 10 කින් වැඩිවී ඇත. දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක පවසන්නේ 2018 ජුනි 13 දා වනවිට ආදායම් බදු බිලියන 276ක් එකතු කර ගෙන ඇති බවය. 2017 එම කාලසීමාවේ එකතු කරගෙන ඇත්තේ බිලියන 256කි.

නව බදු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී පැවසුවේ 2018දී රජයේ බදු ආදායම දළ දේශිය නිෂ්පාදනයෙන් සියයට 16.3 දක්වා ඉහළ නංවා ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන බවය. 2015දී රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් ලෙස සියයට 11.5ක් වූ අතර 2016දී සියයට 14.2ක් දක්වා සියයට 41 කින් වැඩිව ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියේය. බදු ආදායම ඉහළ නංවා අද පවතින අයවැය හිඟය ද.දේ.නි සියයට 3.5 දක්වා අඩුකර ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා ඇත.

2018 අයවැය ලේඛනය අනුව රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2326ක් වූ අතර වියදම බිලියන 3001ක් විය. රජයේ ආදායමෙන් රුපියල් බිලියන 2316ක් බදුවලින් පියවා ගැනීමට බලාපොරොත්තුවන බව මුදල් ඇමැති ප්‍රකාශ කර තිබුණි. 2014 වසරේ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1255ක් වූ අතර  2014 – 2018 දක්වා කාලය තුළ බදු ආදායම බිලියන 1061කින් වැඩිකර ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන නමුත් මෙතරම් බද්දක් ගෙවීමට ජනතාවගේ ආදායම වැඩිවී තිබේද යන්න ගැටලුවක් බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වේ.

කෙසේ වුවද මුදල් ඇමැතිවරයා අපේක්ෂා කළ බදු ආදායම යථාර්ථයක් කර ගැනීමට හැකිද යන්න ගැටලුවක් බවට පත්ව ඇත්තේ නව ආදායම් බදු පනතින් පැනවූ බදුවලින් සෑහෙන කොටසක් සංශෝධනය කිරීමට හෝ මුළුමනින්ම කපා හැරීමට මේ වනවිට මුදල් ඇමැතිට සිදුව තිබීම නිසාය. එයට හේතුව ඒ පිළිබඳ පොදු මහජනතාව, විවිධ වෘත්තිකයන් සහ ජනතා සංවිධාන, වෘත්තීය සමිති ආදිය දැඩි ලෙස විරුද්ධ වී තිබීමය. එසේම නුදුරු දිනවල මැතිවරණයකට මුහුණපාන්නට සිදුව ඇති නිසා බදු පනවා සේවකයන් සහ මහජනතාව අසතුටට පත් කිරීම ආණ්ඩුවට දේශපාලන වශයෙන් අහිතකර වේ. මේ තත්ත්වය රජය තුළින්ම පෙන්වා දීමෙන් පසු පැනවූ බදුවල වෙනස්කම් කිරීමට අකමැත්තෙන් වුවද මුදල් ඇමැතිවරයාට සිදුව ඇත.
නව බදු පනතින් පැනවූ පහත සඳහන් බදු අහෝසි කිරීමට හෝ සංශෝධන කිරීමට මේ වනවිට ආණ්ඩුවට සිදුව ඇත. (ඇතැම් බදු මේ වනවිට අහෝසි කර තිබෙන බවද වාර්තාවේ.)

1. සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් අයකරන සියයට 15 වැට් බද්ද
2. රජයේ ඇමැතිවරුන්ට සහ ඉහළ නිලධාරින්ගෙන් ආදායම් මත පදනම්ව අයකරන සියයට 5 බද්ද
3. ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු ගිණුම්වලින් අයකරන සියයට 15 රඳවා ගැනීමේ බද්ද
4. ලේඛකයන්ගෙන් අයකිරීමට යෝජිත කර්තෘ භාග බද්ද
5. නාට්‍ය, ටෙලිනාට්‍ය, සිනමා නිෂ්පාදන බදු
6. ගී පද රචකයන්, සංගීතඥයන් සහ ගායකයාගේ ආදායමෙන් අයකරන බදු
7. බැංකු කවුන්ටරයෙන් මුදල් ගන්නා විට අයකරන රුපියල් 10 බද්ද
8. ටෙලර් යන්ත්‍රවලින් මුදල් ආපසු ගන්නා විට අයකරන රුපියල් 10 බද්ද
9. වෘත්තිකයන්ගේ ආදායමෙන් අයකරන සියයට 24 වැට් බද්ද
10. වසර 18ට අඩු ළමයින්ගේ බැංකු ගිනුම්වලින් අයකරන බදු

මේ වනවිට ජනතාවගෙන් ඇතිවූ ප්‍රබල විරෝධතා නිසා පෞද්ගලික චැනල් ගාස්තුව, වෛද්‍යවරුන්ගේ ගාස්තුව සහ ශල්‍යකර්ම සඳහා වන ගාස්තුව ආදියෙන් අයකර ගැනීමට නියමිතව තිබූ සියයට 15ක වැට්බද්ද මෙම ජූලි මස 01 දා සිට ඉවත් කරන බව මුදල් ඇමැතිවරයා පසුගිය 17දා ප්‍රකාශ කළේය. එසේ වුවද පෞද්ගලික රෝහල් කාමරවලින් අය කිරීමට නියමිත සියයට 15 වැට් බද්ද එසේ පවත්වා ගෙන යන බවද ඔහු සඳහන් කර ඇත.

එසේම මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන්, අමාත්‍යංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, විනිසුරුවරුන් ආදී විවිධ දේශපාලනඥයන් සහ නිලධාරීන්ගේ වාහන පහසුකම්, ඉන්ධන දීමනා, විශේෂ දීමනා, ගමන් වියදම්, අතිකාල ආදී සෑම ලැබීමක්ම එකට එකතු කර සමස්ත ආදායම ලක්ෂ 5ට වැඩි නම් සියයට 5ක් බදු අයකිරීමට දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වෙනස් කිරීමටද ආණ්ඩුවට සිදුව ඇත. මෙයට හේතුව මැති ඇමැතිවරුන් මෙන්ම උසස් නිලධාරීන්ගෙන් ආණ්ඩුවට බලපෑම් එල්ලවීමය. දේශපාලනඥයන්ගේ බදු පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයෙන් ගෙවීමට මුලදී යෝජනා වී තිබුණද එය ක්‍රියාත්මක කරගත නොහැකි විය. කෙසේ වුවද ආණ්ඩුව මෙම බදු අයකිරීමේ ක්‍රමය සංශෝධනය කළහොත් රාජ්‍ය සේවකයන් රැසකට හා පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන්ද බදු අයකර ගැනීමට ආණ්ඩුවට නොහැකි වෙනවා ඇත.

ලේඛකයන්ගේ කර්තෘ භාගවලින් අය කිරීමට නියමිත සියයට 10 බද්ද මුළුමනින්ම ඉවත් කළ බව වරෙක පැවසුවද එය බලපානුයේ මසකට කර්තෘ භාගය ලෙස රුපියල් 50,000ට වැඩියෙන් ලැබෙන අයට බව පසුව ප්‍රකාශ විණි. මෙයින් කෙසේ බදු වැටේවිද යන්න පිළිබඳ තවමත් අවිනිශ්චිතය.

‍ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු මුදල්වලින් සියයට 12%ක බදු අයකිරීම ලක්ෂ 15 උපරිමයට යටත් කර ඇති අතර ඉතිරි මුදල්වලට බදු අය කෙරේ. එහෙත් බැංකුවල තැන්පතුවලින් වාර්ෂිකව රුපියල් ලක්ෂ 15කට වඩා ආදායම් ලබන අයගේ බද්ද ක්‍රියාත්මකය.

එසේම දොස්තරවරුන් ඇතුළු වෘත්තීයවේදීන්ගෙන් පෞද්ගලික සේවාවලදී මෙතෙක් අයකළ සියයට 12 වැට් බද්ද නව ආදායම් පනත මගින් සියයට 24 දක්වා ඉහළ නංවා ඇත. මේ පිළිබඳ වෛද්‍ය සංගම් විරෝධතාවක නියැලී ඇති අතර ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවේදී මේ බද්ද වැඩිකිරීම අසාධාරණ බව පිළිගත්තේ යැයි වෘත්තීය සමිති පවසයි. එහෙත් මේ පිළිබඳ වාර්තමාන තත්ත්වය අවිනිශ්චිතය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර කියන්නේ මේ දිනවල අමාත්‍යංශ ලේකම්වරුන්, දේශීය ආදායම් කොමසාරිස් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් සමග තමා මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවය. ඒ අනුව ඉදිරියේදී බදු අය කිරීම පිළිබඳ නීත්‍යානුකූල තත්ත්වයක් ඇතිවනු ඇත. එතෙක් වාචික ප්‍රකාශ පිළිගත නොහැකි අතර ඉදිරියේදී තමන්ට සහන අත්වෙනු ඇතැයි බොහෝ අංශ බලාපොරොත්තුවෙන් පසුවේ.

කෙසේ වුවද බදු පිළිබඳ දැනට පැන නැගී ඇති ව්‍යාකූල තත්ත්වය සමනය කර ස්ථීර තීරණවලට එළඹීමට ආණ්ඩුව තවත් ප්‍රමාද නොකළ යුතු බව බොහෝ දෙනාගේ අදහසය.

♦ යසවර්ධන රුද්රිගු

 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00