2018 ජුනි 23 වන සෙනසුරාදා

ඉවරයක් නැති යාපනයේ ගැටුම්

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 111

යුද්ධය අවසන් වුවද උතුරේ ගැටුම් තවමත් අවසන් වී නැති බවක් දිනෙන් දින දකින්නට ඇත. උතුර ගත් විටද ඉන් අවදානම්ම නගරය වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයයි. මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ ගැටුම් වෙනුවෙන් ප්‍රධාන චෝදනාව එල්ල වී ඇත්තේ ආවා නැමති කල්ලියකටය. ඊට අමතරව රොක් කල්ලිය ආදි වශයෙන් තවත් කල්ලි කිහිපයක් ගැනද ආරක්ෂක අංශ වෙතට තොරතුරු ලැබී ඇත.

මේ කල්ලි කුමක් වුවද සිදුවන්නේ දිනෙන් දින ගහ මරා ගැනීම්ය. දැන් දැන් යාපනය යුද්ධයට වඩා බියකරුද යන්න ඇතමෙක්ට හැඟී ඇත. එදානම් සවස 6න් පසුව කිසිවෙක් පාරට බැස්සේ නැත. දැන් දැන් සවස් කාලයේ කිසිවෙක් පාරට ඒමට බිය වී ඇත්තේ මේ නොයෙකුත් කල්ලිවලින් සිදුවන හිරිහැරයන් නිසාවෙනි.

එමෙන්ම යාපනයේ බොහෝ තරුණයින් පිරිසක් විරැකියාවෙන් පෙළෙමින් සිටීම මෙම කල්ලි බිහිවීමට ප්‍රධානතම හේතුව වී ඇත. යමෙකුට මෙරට සිට හෝ විදෙස්ගතව සිට කිසියම් අස්ථීරභාවයක් ඇති කිරීමට මේ විරැකියාවෙන් පෙළෙන තරුණයින් හරහා මුදල් යොදවා පෙළඹවිය හැකිය. මෙම කල්ලි බිහිවීමද ඇතම් කොටි පුල්ලිවල ආධාර මතද යන්න දෙවරක් සිතිය යුතු කරුණක් වී ඇත.

යාපනයේ සිටින තරුණයින් දැන් දැන් එකිනෙකා මරා ගනිමින් තමන්ගේ තරම පෙන්වීමේ උත්සාහයක නිරත වී ඇත. එය අවසන් වන්නේ මරණයකින් හෝ හිරේ විලංගුවකින් බව ඔවුන් දන්නේ පසුවය. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍යයයි. යුද්දෙට පෙරට වඩා යුද්දෙට පසුව යාපනයේ මත්ද්‍රව්‍ය හිස ඔසවා ඇති බවක් පෙනී යයි. මත්ද්‍රව්‍ය හේතුවෙන් තරුණයින් සිදු කරන්නේ කුමක්ද යන්න ඔවුන්ට වැටහෙන්නේ නැත.

කෙසේ හෝ ඊට කදිම නිදසුනක් වුණේ පසුගිය 17 වැනිදා යාපනය මල්ලාකම් කතෝලික දේවස්ථානය ඉදිරිපිට වූ ගැටුමය. දේවස්ථානය ඉදිරිපිටට රැස් වූ තරුණයින් දෙපිරිසක් අතර ඇති වූයේ බහින්බස් වීමක්ය. මෙලෙසින් යාපනයේ මංසන්ධි ගානේ දිනපතා සිදුවෙයි. පොලීසිය නොසිටින්නට යුද්ධයෙන් මිය ගියාට වැඩි පිරිසක් මේ වනවිටත් මිය යන තරමට යාපනයේ තරුණ පිරිස් අතර ගැටුම් ඇතිවෙමින් පවතී.

කෙසේ හෝ පල්ලිය ඉදිරිපිට පැවති ගාලගෝට්ටිය අවසන් වූවේ නැත. බහින්බස් වීම ගැටුමක් දක්වා වර්ධනය විය. මේ අතරේ චුන්නාගම් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තෙලිප්පලෙයි රෝහල වෙතට ත්‍රීරෝද රථයකින් ගමන් කොට ඇත්තේ මියගිය වයසක කාන්තාවකගේ තොරතුරු වාර්තා කිරීමටය. ඔවුන් ගමන්ගත් මඟ වැටී තිබුණේ මල්ලාකම් කතෝලික පල්ලිය හරහාය. පොලිස් නිලධාරීන් ගමන් කරමින් සිටියදී අදාළ ගැටුම නිරීක්ෂණය වීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා ගැටුම සමථයකට පත් කිරීමට පියවර ගෙන ඇත. නමුත් ඒ අතරින් සිටි එක් තරුණයෙකු එක්වරම පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුට පහරදී ඔහු ඉණ තිබූ පිස්තෝලය ගැනීමට උත්සාහ කොට ඇත. නමුත් පොලිස් නිලධාරියා තරුණයාගෙන් බේරීමට බැරිම අවස්ථාවේදී පිස්තෝලය සමඟ පොර බැඳීමේදී තරුණයාට වෙඩිතැබීමට පොලිස් නිලධාරියාට සිදුව ඇත යැයි කියති. අදාළ වෙඩි පහරින් පසුව තරුණයා තෙලිප්පලෙයි රෝහලට රැගෙන ගියද ජීවිතය බේරා ගැනීමට නොහැකි වීමෙන් මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පාක්‍යරාජා සුදර්ශන් නැමති තරුණයා මිය ගියේය.

(ඉබ්බා දියේ දැමූ කල ඇන්නෑවේ) කියමන මෙන් බීමත්ව සිටි තරුණයින්ට මෙය තවත් අවස්ථාවක් වූහ. එම අවස්ථාවේදීම යාපනය කන්කසන්තුරෙයි මාර්ගය වසා දමමින් පොලීසිට විරෝධය පෑහ. එමෙන්ම රෝහල ඉදිරිපිට තවත් පිරිසක් උණුසුම් අයුරින් කෑ කෝ ගසන්නට වූහ. තත්ත්වය පොලීසිය පාලනය කිරීමට නොහැකි නිසාවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමට සිදුවිය.

පසුදිනය වනවිට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය වූ අතර අදාළ ගැටුම ඇති කරගත් පිරිසෙන් ගැටුමට සෘජුවම සම්බන්ධ වූ පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන එළඹෙන 28 දක්වා බන්ධනාගාර ගත කිරීමට මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.

මියගිය තරුණයාගේ අවසන් කටුයුතු සඳහාද 500 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර අවසන් කටයුතු සිදුවන අවස්ථාවේදීද පොලීසිය විසින් ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර කිසිදු විරෝධතාවක් නොපැවත්වුණේ සිදුවූ දේ පොලිසිය පාර්ශවයෙන් නිවැරදි නිසා විය හැකිය.

තත්ත්වය එසේ වුවද මත්පැන් මත්ද්‍රව්‍ය හේතුවෙන් අතරමංවන තරුණ ජීවිත දිනෙන් දින නිස්කාරණේ විනාශ වෙමින් පවතී. යාපනයේ හිස ඔසවා ඇති මේ දුරාචාරයන් ඉතා ඉක්මනින්ම මුලිනුපුටා නොදමන්නේ නම් ඉදිරියේදී ප්‍රභාකරන්ට වැඩි බලවේගයක් හිස ඔසවන අවදානමක් දැන් දැන් පෙනෙන්නට ඇති බවට සක් සුදක් සේ පැහැදිලිය.


♦ වන්නි රොමේෂ් මධුෂංඛ