ප්‍රබල ග්‍රහඵල හිමි ඇතැමුන් නිසා කුලය ආලෝකමත් වේ. තවත් විටෙක කුලයේ ශක්තිය නිසා ජන්මියා ප්‍රබල ලෙස වැජඹේ. තමාගේ උත්පත්ති කුලය මහා ඉහළින් සලකන ජන්මියකුට නම් කුල දීපක යෝගය රුවන් පහනකි. මාණික්‍ය රත්නයකි. මෙම යෝගයෙන් ජන්මියා උපත ලද්දේ නම් ඉසිවරුන්ගේ මතිමතාන්තරවලට අනුව තම කුලයේ රාජ්‍ය ප්රාප්තිකයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. කොටින්ම කියතොත් රාජ්‍යයක් හිමි රජෙක් මෙන් ක්‍රියා කරයි.
මගේ අත්දැකීම් අනුව බලන කල මෙවැනි යෝගයකින් බලසම්පන්න වන ජන්මියා කුලයට, දේශයට, ප්‍රදේශයට, පළාතට යනාදී වශයෙන් ප්‍රධානත්වයක් ගෙන කැපීපෙනී සිටිමින් කටයුතු කරන්නට ඉඩ ප්‍රස්ථාව උත්පත්තියෙන්ම ලබාගනියි. තමන් යටතේ විශාල පිරිසකට නායකත්වය දෙයි.
පරිපාලනයේ ඉහළ තලයක පිහිටා කීර්තිමත් පරිපාලන නිලධාරියකු සේ කටයුතු කරයි. සේවක සේවිකා දෙපක්ෂයම තමාට නතුව සිටිති. ක්‍රීඩාව කුමක් වුවත් එහි නිපුණත්වය මත අතිදක්ෂයෝ බිහිවෙති. කුල දීපක යෝගයෙන් උපන්නෝ ක්‍රිකට් වැනි ක්‍රීඩාවලින් ජනප්‍රිය වෙති. දක්ෂතාවය උකහා පෙන්වමින් ලොව නන්දෙසින් පතළ කීර්තියක් ලබමින් ප්‍රසිද්ධියට පත්වෙති. කුජ, ගුරු, බුධ, කිවි, ශනි යන පංච මහා ග්‍රහයෝග පහකි. එහෙත් මහා පුරුෂ යෝගය සාමාන්‍ය ජන්මියකුට හිමිනොවේ. එය හිමිවන්නේ බුද්ධත්වයට පත් උත්තම ගණයේ පුරුෂයන්ට පමණි.
මෙම යෝගය ලැබුවද ජන්මියාට සෙනසුරු ඒරාෂ්ඨකයක් ලැබුවොත් සීමාවක් නොමැති කරදරයන්ට මුහුණපාන්නට සිදුවේ.
ඇතැම් විට කෑමෙන් බීමෙන් පවා කරදරයන්ට ලක්වේ. ජන්මියා වෘෂභ ලග්නය දායාද කොට ඉපදී ජන්මියාගේ තුන්වැන්න කටක රාශිය වී ස්ථානගතව ගුරු සිටීමත් හේතු භූත වී කුල දීපක යෝගය උදා කෙරේ.
කටක ලග්නයෙන් ජනිත වන ජන්මියාට එකොළොස් වැනි ස්ථානයේ වෘෂභ රාශිය වෙයි නම් සඳු බලවත්ව සිටීමෙන් ගුරු තුන්වැන්නට පිවිසි විටද කුල දීපක යෝගය උදාකර දෙයි.
මේ පිළිබඳ තවදුරටත් විග්රහ කර බැලීමේදී ජන්මියා ඉපදී ඇති ලග්නයෙන් තුන්වැනි ස්ථානය ගුරු, එසේත් නොමැති නම් සෙනසුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා එකොළොස් වැන්නේ හැසිරෙමින් චන්ද්‍රයාද කුල දීපක යෝගය කරපින්නාගෙන මෙලොව ජනිත වී ඇති බව ප්‍රකාශ කළ හැකිය. ගුරු උච්චඃක්ෂේත්රය හරි, එසේත් නැතිනම් ස්වක්ෂේත්රව සිටිමින් සඳු උච්චඃක්ෂේත්රව එකොළොස් වැන්නේ සිටීමෙන් කුල දීපක යෝගයේ ප්‍රබල ශක්තිය වර්ධනය වෙයි. සමහර ජන්මියකුට එම යෝගයෙන් ඉපදුණත් බලවත්කමින් අඩුවේ. ඵල විපාක ඉෂ්ඨ ලෙසම ඉටුනොවේ.
ඉතා ප්‍රබල ග්‍රහ යෝගවලින් උපන් සමහර ජන්මීන්ගේ ජීවිතයේ මුල් කාලවලදී කරදර විපත් ඇතිවේ. ඒවා සමහරුන් කරා යන්නේ මධ්‍ය භාගයේදීය. ජීවිතයේ අග භාගයේදීද පීඩා ගෙන දිය හැක. මෙයට බොහොමයක් හේතු සාධක වී ඇත්තේ සුබ ග්‍රහ යෝග ලබා උපන්නන් උත්පත්තියෙන් අනිටු ග්‍රහයන් අනිටු ස්ථානවල සිටීමෙන් එම ග්‍රහයන්ගේ අතුරු මහා දශා කාලසීමාවන්හිදී සුබ ග්‍රහ යෝගවල ක්‍රියාකාරීත්වය හීන කරන බැවිනි. මේ නිසා අසුබ ඵල ගෙන දේ.
ඒ අතුරු දශා, මහා දශා ගෙවීගිය විටදී නැවත ජන්මීන්ට ඒ ඒ ග්‍රහ යෝග අනුව සුබවාදී ඵල ගෙන දිය හැකිය. තවද යම් කෙනෙක් ප්‍රබල ග්‍රහ යෝගවලින් ජනිත වී නම් සැප සම්පත් පිරි ජීවිතයක් ගත කිරීමට වාසනාව ලබාදෙනවා ඇති. කුල දීපක යෝගය ජන්මියකුට ආභරණයක් වූ විට පරිපාලන ශක්තියත් ක්‍රීඩා කෞෂල්යත්වයත් අගේට උත්දීපනය වී ජාත්‍යන්තර කීර්තියට මෙන්ම ගෞරව සම්මානයටද පාත්‍ර වේ.
ජාත්‍යන්තර ජ්‍යොතිෂ විද්‍යා විශාරද
දේශමාන්‍ය, දේශබන්දු
මහාචාර්ය සිංහ හේමපාල පතිරණ