2018 ජුනි 23 වන සෙනසුරාදා

සිංහරාජයේ අලි යුද්දේ

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 424

අලුතෙන් පත්වූ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාටත් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමටත් ප්‍රශ්න පිට ප්‍රශ්නය. ඒ අතරින් උභතෝකෝටික ප්‍රශ්නය නම් සිංහරාජ අලි අවුලයි. සිංහරාජය හා රක්වාන අවට ගම්මානවලට එල්වී ඇති අලි තර්ජනය නිසා උන් ඉවත් කර හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන යාමට වනජීවී අමාත්‍යවරයා නියෝග කළේ රඹුක, දොළේවත්ත, කජුගස්වත්ත, මැණික්කවත්ත, කෝපිතෑල්ල ආදී ගම් රැසක ජනතාවගේ ඉල්ලීම මතය. නමුත් පරිසර සංවිධානවල හා තවත් පිරිසකගේ විරෝධතාව නිසා තෙත් කලාපයේ වෙසෙන අලි දෙදෙනා ඉවත් කිරීම තාවකාලිකව නතර කරන ලෙසත් උන්ට එම ප්‍රදේශයේම ජීවත් වීමට ඉඩ සලසන ලෙසත් ජනාධිපතිවරයා නියෝග කළේය.

ඊට පසුව කලවාන අවටින් උන්ට ජීවත් වීමට සුදුසු භූමිභාගයක් තේරීමට වනජීවී අමාත්‍යවරයා ඇතුළු බලධාරීහු 19 දා සංචාරයක නිරත වූහ.

“අලින් රැඳවීමට රජවත්තේ සයිප්‍රස්වත්ත ප්‍රදේශයේ අක්කර 50ක පමණ ආණ්ඩුවේ කැලෑ ඉඩමක් තෝරා ගත්තා. එතැනට වනජීවී ඇමැතිතුමන් ආවා. අපි නම් කැමති මේ අලි උපන් ප්‍රදේශයේම ජීවත් වෙනවාටයි. උන් ඉවත් කළොත් මේ ප්‍රදේශයෙන් අලි සම්පත අහිමි වේවි. සෙනඟ විශාල ප්‍රමාණයක් අලි ඉන්නවට කැමතියි. ඉස්සර ආණ්ඩුවේ ඉඩම්වල දැන් සෙනඟ පදිංචි වෙලා. අලින්ට ඉන්න තැනක් නෑ. හොරෙන් මැණික් ගරන, කැලෑ කපන, කසිප්පු ජාවාරම් කරන පිරිස් අලි ඉන්නවාට කැමතියි. එතකොට අවදානමක් නැතිව හොර වැඩ කරන්න පුළුවන්නේ. අලියා මද කිපුණු කාලෙට තමයි මිනිසුන්ට ගහන්න එන්නේ. උන් කැලෑවේ හංගන කසිප්පු ගෝඩා බොන බවත් ආරංචියි. ඊට පසු මත්වෙලා මිනිසුන්ට පහර දෙනවා.

මම නම් කියන්නේ මිනිසුන්ගේත් ආරක්ෂාව තහවුරු කරලා අලි දෙදෙනා මේ ප්‍රදේශයේම රඳවා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.” අප සමඟ එලෙස අදහස් දැක්වූයේ කලවාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි වයන්ති මුහන්දිරම්ය.
“අපට සවස 6.00න් පස්සේ ගෙවල්වලින් එළියට බහින්න බයයි. රෑ පානේ පන්සලකට, මළගෙදරකටවත් යන්න බැහැ. ළමයි තනියම ඉස්කෝලේ යවන්නවත් විදිහක් නෑ. ගැබිණි අම්මලාට හදිස්සියක් වුණොත් කාට කියන්නද?” අලි කොයිවෙලේ කඩාපාත්වේදැයි බියෙන් සිටින ගම්වැසියෝ පවසති.

පසුගියදා රජවත්ත විහාරයේ වනජීවී ඇමැති, නියෝජ්‍ය ඇමැති, ප්‍රාදේශීය ලේකම්, වනජීවී නිලධාරින් ඇතුළු බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමට ගම්වැසියෝ 1500කට අධිකව සහභාගීවූහ. ඔවුන් කියා සිටියේ දැනටත් ජීවිත 15ක් පමණ බිලිගෙන ඇති අලි දෙදෙනා ඉවත් කරන ලෙසයි.

රඹුක හා කජුගස්වත්ත අවට ගම්වැසියන් පවසන්නේ පොතුපිටියෙන් පහළ අයටත් දොළේකන්දෙන් එහා පැත්තේ ඉන්න අයටත් ඔවුන්ගේ දුක නොතේරෙන බවයි.

සිංහරාජය අවට ප්‍රදේශවල අලි ගැවසීම පුරාණයේ පටන් සිදුවූ අතර තෙත් කලාපයේ ජීවත්වන කුඩා කණ්ඩායමක් වශයෙන් ඔවුහු ජීවත් වූහ. නමුත් අලි ජීවත් වූ වනාන්තර මිනිසා අත්පත් කරගෙන අලිමංකඩ අවහිර කිරීම නිසා සද්දන්තයෝ මේ වනවිට යුද්ධ ප්‍රකාශ කර සිටිති.

මේ නිසා කලවාන අවට අලි ඇල්ලීමට කලකට පෙරත් යෝජනා ආවේය. ඒ සඳහා ක්‍රියාත්මකව සහභාගී වූ හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ පශු වෛද්‍ය නන්දන අතපත්තුට අපි කතා කළෙමු. “සමනළ අඩවිය, ගාල්ලේ කන්නෙලිය, සිංහරාජය යන වනාන්තරවල අවුරුදු 100කට පෙර අලි 100කට වඩා හිටියා. මේ අලි වර්ෂයේ විවිධ කාලවල එකිනෙක වනාන්තරවලට මාරු වුණා. ඒ සඳහා අලිමංකඩ පැවතුණා. නමුත් ඊනියා සංවර්ධනයක් සමඟ මේ අලිමංකඩ ඇහිරුණා. කන්නෙලියේ හිටපු අන්තිම අලියා 1978 දී වෙඩි තබා මැරුවා. මම ඒ මරණය සියැසින් දැකපු කෙනෙක්. සමනළ අඩවියේ හිටපු අවසාන දළ ඇතා මැරුවා. දළ දෙක කපාගෙන ගියා.

අලිමංකඩ ඇහිරීම නිසා අලින්ගෙන් පිරිසක් සිංහරාජ වනාන්තරයේ කොටු වුණා. සිංහරාජය කියන්නේ වැසි වනාන්තරයක්. අලින්ට අවශ්‍ය කෑම, තණපිටි එහේ නෑ. ඒ නිසා උන් සිංහරාජ මායිමේ තිබෙන තේවතු ආශ්‍රිත ගම්මානවලට ඇදුණා. කජුගස්වත්ත, වළංකන්ද, රතුපස්කන්ද ඒ ගම්මාන කිහිපයක්.” වෛද්‍ය නන්දන කීවේය.

1980 දශකය වනවිට සිංහරාජය අවට කලාපයේ අලි 14 දෙනෙකු ගැවසුණි. උන් වසරේ මාස 6ක් රක්වාන කජුගස්වත්ත අවට කලාපයේ සැරසරමින් සිට ඊට පසු සූරියකන්ද, දෙනියාය ප්‍රදේශවලට සංක්‍රමණය වූහ. ගෙවතුවලට කඩා පැන කෙහෙල්, පොල් බෝග වගාවලින් කුස පුරවා ගැනීමට ද උන් පසුබට වුණේ නැත. මේ නිසා ගැමියන් උන්ට සැලකුවේ වෙඩි උණ්ඩවලිනි.

මේ කාලයේ වෙඩි වැදුණු අලින්ට ප්‍රතිකාර කිරීමට පැමිණියේ වෛද්‍ය නන්දන අතපත්තු ඇතුළු කණ්ඩායමකි. එමෙන්ම වෙඩි තබා මරා දැමූ අලි 6 දෙනෙක්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ ද ඔහු පැවැත්වූයේය. තවත් අලියෙක් ගල්පර්වත දෙකක් අතර සිරවී මියගොස් සිටිනු වෛද්‍ය අතපත්තුට හමුවිය. මෙහි විශේෂත්වය වන්නේ මේ සියලුම අලි පිරිමි සත්තු වීමය. වර්ෂ 2000 වනවිට සිංහරාජ කලාපයේ අලින්ගෙන් ඉතිරිව සිටියේ තිදෙනෙක් පමණි. උන් සියලු දෙනාද පිරිමි සතුන් වූහ.

එවකට ගම්වැසියන්ගෙන් අලින්ට එරෙහි චෝදනා පත්‍ර නිතර එල්ල විය. මේ නිසා රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි එවකට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේ මෙම අලි කරදරයෙන් ජනතාව මුදාගන්නා ලෙසිනි. එම අලි මෙහෙයුමට එක්වූයේ වෛද්‍ය නන්දන අතපත්තුය.

“මම එක අලියෙක් වළංකන්ද ප්‍රදේශයේ දී ඇල්ලුවා. ඌව ලොරියකට දාගෙන රැගෙන යාමට ලැබුණේ නැහැ. වාමාංශික ගුරුවරු කිහිපදෙනෙක් මුල්කරගත් ගැහැනු ළමයි පිරිසක් උද්ඝෝෂණය කළා. කජුගස්වත්ත පාසලේ ළමයි එයට එක්වෙලා හිටියේ. මේ ළමයි කාගෙහරි ලණුවක් කාලා. ඉතින් අපි දවස් 11ක් නිදිවරමින් ආණ්ඩුවේ සල්ලි රුපියල් ලක්ෂ පහකට වඩා වැයකරමින් ඇල්ලු අලියා ගෙනයාමට ලැබුණේ නැහැ. අලියා ගෙනගියොත් පවිත්‍රා ඇමැතිවරියට දේශපාලනවාසියක් ලැබේවී කියලා හිතලා තමයි ඒක වැළැක්වූයේ.” වෛද්‍ය අතපත්තු අපට කීවේය. මේ වනවිට ඒ අතරින් එක් අලියෙක් මියගොස් ඇති අතර සිටින්නේ පිරිමි අලි දෙදෙනෙකි.

වෛද්‍ය අතපත්තුගේ අලි ඇල්ලිල්ල නැවැත්වීමෙන් පසු මේ වනවිට එම ප්‍රදේශයේ ජීවිත 15ක් අලින්ට බිලිවී අවසානය. රක්වාන වෙන්නිලකන්ද ශ්‍රී මෙත්තාරාම නිශ්ශංක විහාරයේ රක්වානේ මෛත්‍රී හාමුදුරුවන්ගේ වැඩිමහල් සහෝදරයා ද අලියාට බිලිවූයේ පසුගිය වර්ෂයේ මැයි 16 දාය. මේ ඒ හිමියන් අපට පැවසූ අදහස්ය.

“ගමේ මිනිස්සු කියන්නේ අලියා අරන් යන්න කියලා. පරිසර සංවිධාන කියන්නේ දේශගුණය මාරුවීම අලියාට අහිතකරයි කියලා. නමුත් මිනිස්සු ගැන බලන්නේ කව්ද? අපේ අයියා මරලා ඒ ළඟ දවසකදීම තවත් කෙනෙක් මැරුවා. ළඟපාත හිටියානම් මිනිසුන්ගේ අවේගය නිසා උගේ ජීවිතයටත් හානියක් වීමට ඉඩ තිබුණා. අපි කියන්නේ අලියන්ගේ ආරක්ෂාව සහ මිනිසුන්ගේ ආරක්ෂාව යන දෙකම හිතලා අලි අරන් යන්න කියලා. මේ අලි අක්කර 50ක භූමියක කොටුකරලා තබන එක නම් ප්‍රායෝගික නැහැ. නමුත් තාවකාලිකව එහෙම රැඳවීමත් හොඳ දෙයක්. දැන් අපි රෑ බණකටවත් යන්නේ නැහැ. මිනිස්සු හවස 5.00ට විතර බණ පටන් අරන් ඉක්මනට ඉවර කරනවා. ඇත්තටම වනජීවී ඇමැතිතුමාලා ගමට ආවනේ. ඔවුන් ගම්මුන්ගේ වේදනාව දන්නවා. මළගෙදරකටවත් පරිසර සංවිධානවලින් ආවේ නැහැනේ. කොළඹ ඉඳන් මේවාට විසඳුම් හොයන්න බැහැ. විරුද්ධ වන්නේ ටික දෙනෙයි.”

අලි ඇල්ලීම නවත්වා ඇති අවස්ථාවේ දැන් උන් සංරක්ෂණය සඳහා ඇති වෙනත් පියවර අනුගමනය කළ යුතුය. එහෙත් උන්ට අඩුම ගානේ රේඩියෝ කරපටියක් පළඳවා හෝ සිටින ස්ථානය දැනගැනීමට බලධාරීන් ක්‍රියාකරන බවක් පේන්න නැත.

මේ අතර වනජීවී අමාත්‍යවරයා මාධ්‍යවලට පැවසුවේ සිංහරාජ අලි දෙදෙනා ඉවත් කිරීමට ඉඩ ලබානොදීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරන බවයි. ගම්මුන් දහස් ගණනක් අලින්ට බියෙන් පසුවෙති. කජුගස්වත්ත අවට ගම්වලට ඇදිරි නීතිය පනවා ඇතිවාක් මෙනි. බලධාරින් කඩිනමින් ක්‍රියාත්මක වී අලින්ට මෙන්ම මිනිසුන්ට ද ආරක්ෂාව සැලකෙන විසඳුමක් ක්‍රියාත්මක කළ යුතුව ඇත. එහෙත් එයත් මේ ආණ්ඩුවේ අනෙක් තීරණ මෙන් බාලගිරි දෝෂයට හසුවුවහොත් අලින්ට මෙන්ම මිනිසුන්ට ද අපල කාලයක් උදාවනු ඇත.

♦ කුසුම්සිරි විජයවර්ධන

පරිසර සංවිධානවලට ගමේ දුක තේරෙන්නෙ නෑ
රජවත්ත ශ්‍රී බෝධිමූලාරාමය විහාරාධිපති බලංගොඩ සීලප්‍රිය හිමි

ගම්වල අයට අවශ්‍ය අලියා රැගෙන යාමයි. අපේ පන්සලෙන් ඒ ගැන රැස්වීම් කිහිපයක් තිබුණා. අලියා වනජීවී වාහනවලට ගැහුවා. ත්‍රීවිලර්, ලොරි පොඩි කරලා දැම්මා. හරක් 200ක් විතර ගහලා මරලා දැම්මා. අලිපාරේ ඉන්නකොට ඉස්කෝලේ යන්නවත් විදිහක් නෑ. පොතුපිටිය සිට රජවත්ත, 3 කණුව, කජුගස්වත්ත ප්‍රදේශවල පාරවල්වල ගමන් කරන්න අමාරුයි. අලියා ඉවත් කරන වැඩේට විරුද්ධ ගස් කපන, කසිප්පු පෙරන පිරිසක්. මිනිස්සු කියන්නේ සම්පතක්නේ. සමහර දවස්වල රෑ වුණාම විදේශිකයන් පවා පන්සලේ නතර වෙනවා. ට්‍රිප් එකක් ගිය පාසල් බස් එකක්ම ළඟදී රෑ පන්සලේ නතර වුණා අලියා පාරේ ඉන්න ආරංචියට. මිනිස්සු හරි බයෙන් ජීවත් වන්නේ. අපිට පන්සලේ පිංකමක්වත් රෑට කරන්නේ නැහැ. හවස 6.00 වනවිට ආගමික වැඩ නවත්වනවා. ගම්වල පොල්ගස්, කෙසෙල් ගස් ගන්න දෙයක් නෑ. පරිසර සංවිධානවලට මේ දුක තේරෙන්නේ නෑ.

අලි අල්ලාගෙන යාම අසාර්ථකයි
නයනක රන්වැල්ල - ලේකම් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය

අලි සංරක්ෂණය කළ හැක්කේ ඒ ප්‍රදේශයේම තැබුවහොත් පමණයි. අලි අල්ලාගෙන වෙනත් ප්‍රදේශවලට ගෙනයාම ලෝකයේම අසාර්ථකයි. ලංකාවේ අලි 17 දෙනෙක් අල්ලාගෙන ගොස් දැම්මත් උන් ආපසු හිටපු තැනටම ඇවිත් තිබෙනවා. ඒ එන අතර අනතුරුවලටත් මුහුණ දෙනවා. විද්‍යාත්මකව GPRS කරපටි දෙකක් පළදවා උන් ගැවසෙන ස්ථාන දැනගත යුතුයි. වැඩිපුර ගැවසෙන ප්‍රදේශ ආශ්‍රිතව වනජීවී බීට්ටු කාර්යාල ස්ථාපිත කිරීම අවශ්‍යයි. පොදු SMS පණිවිඩ යවන ක්‍රමවේදයක් සැකසිය හැකියි. ඉන්දියාවේ මේ වගේ ක්‍රමවලින් මිනිස් මරණ 100%ක් අඩුකරගෙන තිබෙනවා. විද්‍යාත්මකව අලි ගැවසෙන ස්ථාන හඳුනාගත් පසු එම ගම්මාන ආරක්ෂා වනසේ විදුලි වැටක් ඉදිකිරීම අවශ්‍යයි. අලියා සලකන්නේ ජීවවිද්‍යත්මක කුඩයක් (Biological Umbrella) ලෙසින්. ඒ නිසා අලි වඳවුණු විට තවත් ජීව විශේෂ රාශියක් වදවී යනවා. ඒ වගේම අලි අක්කර 50ක කොටුකිරීමක් අසාර්ථක යෝජනාවක්. දවස් හතරක් යනවිට උන් ඒ අක්කර 50ම කාලා ඉවර කරාවි.

කලවානේ අලි ගාල්
කලවාන සිංහරාජ අඩවිය අයත්වන කුකුළු කෝරළයද සෑහෙන දුරට අලින්ගේ කරදර සිදුවූ ප්‍රදේශයක් ලෙස සැළකේ. එය මෑතක් වනතුරුම පැවතුණි. දකුණු පළාතෙන් සිංහරාජයට ඇතුළු වන අලි රඹුක, පොතුපිටිය හරහා කලවාන දක්වා පැමිණි අවස්ථා රැසකි. වේවැල්කඳුර වැලමිටි වංගුව ගැන පැරැන්නන් සඳහන් කළේ අලිමන්දාව ලෙසයි. එළුවාගලට අලින් මාරු වූ මාර්ගයද එයයි. මේ අන්දමින් අලින්ගෙන් කරදර බහුල වූ අවස්ථාවලදී කලවාන ප්‍රදේශයේද ඒ දවස අලිගාල් බැඳ තිබේ.

ඉන් පළමුවන අලිගාල කලවාන ආශ්‍රිතව බැඳ ඇති බව වාර්තා වෙතත්, ස්ථානය ගැන කරුණු නොදැක්වේ. අලිගාල බැඳි වර්ෂය 1912 ලෙස සැළකේ. එවකට ඊට සහභාගි වූ රත්නපුර ඒජන්තවරයා වූයේ ඊ.බී. ඇලෙක්සැන්ඩර් මහතාය. රටේ මහතා වූයේ දුම්බර පාලන මධ්‍යස්ථානය කරගත් ඩී.බී. මුත්තෙට්ටුවේගම මහතාය. එම ඇත්ගාල ගැන ඒජන්තවරයාගේ දිනපොත (1912.09.01) මෙබඳු සටහනක් ඇත. 

“හැන්දෑවේ කලවානේ රටේ මහත්තයා සියලු ඇත් ගොව්වන්ට හා පනික්කියන්ට ආරක්ෂා මන්ත්‍ර මතුරන ලදී. ඇත්ගාලට පිවිසෙන හීලෑ අලි අට දෙනාට මඟ පෙන්වමින් රටේ මහත්මයා පෙරමුණේ ගමන් ගන්නා ලදී. සෑම ඇතැරුවකු පසුපසම හෙන්ඩු අතැතිව අතිරේක ඇතැරුවකු විය. අලි පසුපස වූයේ කඹ දරන්නන් හා මදු ගසන්නන්ය. සැබැවින්ම මෙය පුරාණ යුද පෙරමුණක් සිහි ගැන්වීය.”

දෙවැනිවරට අලිගාල බන්දවන ලද්දේ කලවාන රජ්ජුරුවත්ත ආශ්‍රිතව මල්වලාකැලේ ප්‍රදේශයේය. 1921 වර්ෂයේ මුල් කාර්තුව තුළ බඳින ලද මෙය කලින් බැන්ද අලිගාලට වඩා විශාල වූවකි. මීට සහභාගි වූ ඒජන්තවරයා වූයේ පී.ජි.ආර්. බ්‍රවුනිස්ය. පහසුකම් සැළසූ රටේ මහතා වූයේ ගලතුර පාලන මධ්‍යස්ථානය කරගත් ප්‍රැන්සිස් මාරඹේය. ඔහුගේ උපකාරයට රුවන්වැල්ලේ මීදෙණිය අදිකාරම් මුත්තෙට්ටුවේගම රටේ මහතා සහාය වූ බව දක්වයි. රත්නපුර ඒජන්තවරයාගේ ආරාධනය ලැබ එකල සිටි ආණ්ඩුකාර විලියම් එච්. මැනිං (1918-1923) මෙය නැරඹීමට පැමිණ ඇත.

මේ නිසා අලිගාල අවට ප්‍රදේශය කූඩාරම් හා මණ්ඩප තනා සැරසිලි කොට උත්සවයක් සංවිධානය කර තිබූ බව පැරුන්නෝ කියති. ආණ්ඩුකාර (රජ්ජුරුවන්) පැමිණි නිසා එවකට ගමික්කන්ද එස්ටේට් ලිමිටඩ් නැමැති අසල වතුයාය රජ්ජුරුවත්ත බවට පත්විය.

මෙම අලිගාල ගැන වෙනත් ලිඛිත සාධකද ඇත. ඒ එම අලිගාල බැලීමට පැමිණි මුල් ගුරුවරුන් දෙදෙනෙකු තැබූ සටහන්ය. එවකට කලවාන ස්වභාෂා මිශ්‍ර පාඨශාලාවේ (වර්තමාන කලවාන ජාතික පාසල) මුල්ගුරුවරයා වූ කේ.බී. දිසානායක මහතා ලොග් පොතේ මෙසේ සටහන් කර තිබේ.

“1921 මාර්තු 03 වැනි දින කුකුළු කෝරළේ කලවාන අසල ඇත්ගාලේ ඇත්තු ගාල් කිරීම නිසා ළමයි ආවේ 41ක් පමණි. 1921.03.10 දින ඉහත කී ගාලේ ඇතුන් බැඳීම නිසා ළමුන් පාඨශාලාවට නොපැමිණියේය. එබැවින් පාසල වසා දමා මමද එහි ගියෙමි.”

මේ සිද්ධිය ගැන වැද්දාගල ස්වභාෂා මිශ්‍ර පාඨශාලාවේ මුල්ගුරු එල්.එච්. ඒබ්‍රහම් මහතාද ලොග් පොතේ මෙසේ සටහන් කර ඇත. “මේ මස 09 වන දින පමණක් නිවාඩු ඉල්ලා එදින මෙම කෝරළේ බන්දවන අලිගාල බැලීමට ගියෙමි.” මෙම ගාලෙන් බැඳගත් අලි සංඛ්‍යාව 14 දෙනෙකු බවද වාර්තා වේ.1921 වර්ෂයෙන් පසුව මෙම කෝරළයේ අලිගාල් බැන්දවීම ගැන ලිඛිත සාධක හමු නොවේ. එසේ වුවද ජනශ්‍රැති අතර එබඳු දේ සිදුවූ බවට යම් යම් කරුණු අනාවරණය වී ඇත. 1929 වර්ෂයේ මෙහි අලිගාලක් බැන්ද වූ බවට ජනකවිවල සඳහන්ය.

මූලාශ්‍ර: ඓතිහාසික රත්නපුර - බන්දුල ලියනගේ

සටහන: කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම