2017 ජනවාරි 28 වන සෙනසුරාදා

සීමා නැති අාදරයක්

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 05:00 229

 

ප්‍රේමය කියන්නෙ අතිශයින්ම සංකීර්ණ මාතෘකාවක්. ඒ නිසාම ඒ ගැන අර්ථකතන දෙන්න ගියාම අපි හැමෝම වගේ අමාරුවේ වැටෙනවා. අර්ථකතන දුන්නත් ඒක තව කෙනකුට ගැළපෙන්නෙ නැතිවෙන්න පුළුවන්. ඔවුන් ඒකට එකඟවෙන්නේ නෑ. ප්‍රේමය කියන වස්තුව අපි එකිනෙකාට සංවේදනය වෙන විදියේ ඇති බහුඅර්ථය නිසා තමයි එහෙම වෙන්නේ. ඒ නිසාම තමන්ට පෞද්ගලිකව සංවේදනය වන ආකාරයට ප්‍රේමය පිළිගන්න හැම දෙනාම කැමැතියි. හැබැයි, ඒ කොහොම වුණත් ප්‍රේමයේ ඇති සුන්දරතාව විඳගන්න අපි කොයි කවුරුත් කැමැති බවට විවාදයක් නෑ. 

ප්‍රේමය ලොව හැමතැනම ඇති 
හැමදෙනටම හමුවෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙක් නැති

සමහරු ප්‍රේමයට හැඩයක් දෙන්න උත්සාහ කරනවා. ඒත් සමහර වෙලාවට ප්‍රේමයත් වතුර වගෙයි. වතුරට හැඩයක් නෑ. වතුර ඒ වෙලාවෙ තැන්පත් වෙන භාජනයේ හැඩය ගන්නවා. අන්න ඒ වගේම ප්‍රේමයත් විවිධ හැඩ ගන්නවා. ඒ හැඩතල තීරණය වෙන්නේ මනුෂ්‍ය සම්බන්ධතාවල ස්වභාවය අනුවයි. සමහර කෙල්ලෝ කොල්ලො මරාගන්නවා. ඒත් නොදැක ඉන්න බෑ. පැය විසි හතරක් නෙවෙයි මිනිත්තු හැටක් යන්න කලියෙන් ආයෙ කතාබහ කරනවා. තවත් අය හිත රිදෙන්නවත් වචනයක් කියන්නේ නෑ. හැබැයි තරහ වුණොත් ලේසියෙන් කතාබහත් නෑ. ඒ තමයි ප්‍රේමයේ හැටි.
ඒත් සමහර ආචාර්ය මහාචාර්ය පොරවල් ප්‍රේමයට හැඩයක් දෙන්න කියලා ක්ලාස් කරන්නත් හදනවා. මේ ක්ලාස් ගොඩක් පිටිපස්සේ තියෙන්නේ ප්‍රේම කරන කෙල්ලො කොල්ලොන්ගෙ පොකට් එකට විදින ගරානා පාරක්. ඇත්තටම මේ වෙළෙඳ උප්පරවැට්ටිවලට හසුවෙන කෙල්ලො කොල්ලො වැඩි දෙනෙක් නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි, ඔවුන් හදවතින්ම කරන ප්‍රේමයට විනේ කටින්නේ මේ ලව් ටීචර්ස්ලා කියන එක. අන්තිමේදී හිත පුරාම පුරපු ප්‍රේමයට රෝස පාට රතු පාට නෙක පාට දෙන්න ගිහින් ඒක විච්චූරණයක් කරගන්නවා. අන්තිමේදි ඉතින් සපත්තුව තමයි. නතර වෙන්නේ සොඳුරු හදවත සිදුරු කරගෙන.

පෙම් පුරන්න ගන්න කාලෙදි හැම පෙම්වතකුම වාගේ ප්‍රේමයේ නාමයෙන් ඕනෑම කැප කිරීමක් කරන්න සූදානම්. පෙම්වතියන් වුණත් එහෙම තමයි. ඒ කාලෙදි ප්‍රේමය දැනෙන්නේ මහාමේරුව වගෙයි. ඕනෑම දෙයක් උසුරා දරාගන්න ප්‍රේමයට පුළුවන් කියලා පෙම්වතුන් පෙම්වතියන් විශ්වාස කරනවා. හැබැයි ඒ විශ්වාසය මහ පොළොවෙ අත්දකින ඇත්ත එක්ක ගැටගැහෙද්දි දෙදරලා යන අවස්ථා වැඩියි. විශ්වාසය භක්තියක් වෙලා ශක්තියක් වෙන තැන් නැතිවාම නෙවෙයි. ඒත් ගෙදර දොර අගහිඟකම්, රෝග පීඩා ඇතුලු කම්කටොලු එක්ක මේ බොහෝ ප්‍රේම කතා රූපවාහිනියේ යන හින්දි මෙගා ටෙලි වගේ වෙනවා. වැඩිපුර තියෙන්නේ නාහෙන අඬන දර්ශනමයි. එහෙම ඉස්සරහ දොරින් ගෙට එන දුක් කරදර කුණාටු පිටිපස්සෙ දොරින් යන්නෙ අර මුලින් නිර්මාණය කරගත්ත ප්‍රේමයේ මහාමේරු පරුවත සමතලා කරගෙනයි. 

පරහිතකාමී දයාලු සෙනෙහසින් පෙරුම් දම් පුරන පෙම්වතුන් ඉන්නවා. ඔවුන්ගේ බැඳීම් තිබෙන්නේ කායික හෝ භෞතික පරිභෝග සම්පත්වලට නෙවෙයි. මිනිස් වටිනාකම්වලටයි. ඇතැම්විට එවැනි පෙම් පවත් හටගන්නේ කුඩා කල අත්නොදුටු දාරක ප්‍රේමය නිසයි. එහෙම නැත්නම් මවුපියන්ගෙන් ලැබුණු උතුරා යන සෙනෙහස හින්දයි. ඉවසීම, විඳදරාගැනීම ජීවිතේ පාඩම් හැටියට ඉගෙන ගෙන අනෙකාට ගෞරව කරන්න එවැනි පෙම්වතුන් කටයුතු කරනවා. අඩුපාඩු, දුර්වලකම් පිටුදැකලා ඒවා නිවැරැදි කරගන්න අවස්ථාවක් දෙන්න ඔවුන් පැකිලෙන්නේ නෑ. මේ අන්‍යොන්‍ය අවබෝධය නැතිවෙන වෙලාවට තමයි කුළුඳුලේම පෙම්බැන්ද, පිවිතුරු හදවත්ම විසකුරු වෙන්නේ. කුරුලු පිහාටුවක් වගේ සියුම්ව ස්පර්ශ කළ, දැවටුණු පපුතුරේම මරණීය පිහි තල බස්සන්න තරම් නපුරු වෙන්නේ ඒ අනවබෝධය හින්දයි. පෙම්කළ හදවතින්ම සාප කර කර, කවි ලිව්ව අත්වලින් අපහාස කර කර සමහර විට ජීවිත දෙකම නැති කෙරෙන විදියට දුක්බර කතා ප්‍රවෘත්ති මැවෙන්නේ ඒ හින්දයි. 

ඉතින් ප්‍රේමය ගිනි කන්දක් නොවී වාන් දමන ආදර දිය කඳක් කරගන්නෙ කොහොමද කියන ප්‍රශ්නය අපි අපෙන්ම අහන්න වෙනවා. ආදරයේ සුහුඹුල් අවධියේදි වගේම ඉවසීමට ගරු කිරීමට ඉමක් නැති බව අපිට මතක තියාගන්න පුළුවන්නම් ඒක ඒ තරම් අපහසු නෑ. ලෝකය කියන්නෙ වෙඩි බෙහෙත් ගබඩාවකට. අතට අත දෙන්න වගේ හිටියට අවස්ථාව ලද සැණින් ගිනි තියන හනුමන්තලා තමයි වැඩිපුර ඉන්නෙ. ඒ නිසා පෙම් පුරන හදවතක් ඒ වගේ හනුමෙකුට සේව නූලක් කරගන්න ඉඩදෙන්න එපා. ප්‍රේමණීය හදවත් ගිනි තියලා මළමිනී මත වුණත් ගී ගයන්න තරම් සැහැසි සමාජ බන්ධනයක් දැන් නිර්මාණය වෙලා තිබෙන්නේ. ෆේස් බුක් එකේ ලයික් එක, ඉන්බොක්ස්වලින් දෙන අවවාද කියන්නේ ආදරණීය ජීවිතයට නෙවෙයි. තාක්ෂණික විප්ලවයේ සබඳතාවල පෙරැළිවලට. ආදරයේ රැල්ල ගහන්නෙ හදවතින් මිස යතුරැ පුවරැවෙන් නෙවෙයි. ඒ නිසා ප්‍රේමය ගැන අවබෝධයක් නැත්නම් ප්‍රේම නොකර ඉන්න. එහෙම නැත්නම් අන්තිමේදී ඒ හදවතින්ම කරන සැහැසිකම්වල ගොදුරක් බවට තමන්ම පත්වෙන්න පුළුවන්. නූතන සමාජයේ උදේ හවස අපට වැඩිපුර හමුවෙන්නේ එහෙම ප්‍රේමය බිඳ දමාගෙන සමස්ත ලෝකයටම වෛර කරමින් අභ්‍යන්තරිකව හඬා වැටෙන චරිතයි. ප්‍රේමයට බාධා තිබෙන්න පුළුවන්. ඒත්, සීමා නැහැ. සප්ත මහා සාගරය වගේ, අහස වගේ ඉමක් නෑ. ප්‍රේමයේ සංවේදනා උතුරා යනවා. ඒ සියලු සංවේදනාවල හරයේ තිබෙන්න ඕනෑ එක දෙයයි. ඒ මනුෂ්‍යත්වය. අන්තිමේදී කෙටියෙන් කියනවා නම්, මනුෂ්‍යත්වය නොදන්න හදකට පෙම් කරන්න බැහැ. 

තිලිණි කෞශල්‍යා අබේධීර
නෙළුම්දෙණිය