දශක ගණනාවකට පසු ලංකාව ඉඩෝරයකට මුහුණපාමින් සිටියි. හැමදාමත් බැණුම් අසන කාලගුණය කී අනාවැකියක් සත්‍ය කරමින් ඉඳහිට වැසි රැල්ලක් වැටුණද පොළොව තෙමන්නට තරම්වත් ඒ වැසි ප්‍රබල වී නැත. මේ වනවිටත් දිස්ත්‍රික්ක 13ක 6,45,000කට වැඩි පිරිසක් නියඟයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. වැසි නොලබන තද පෑවිල්ලත් සමග කායික හා මානසික ලෙඩ රෝග ගණනාවක්ම අත්වැලි බැඳ එන්නට නියමිත බව මේ අතර සෞඛ්‍ය අංශ අනතුරු හඟවා සිටියි.
එදිනෙදා මූලික පැවැත්ම සඳහා අවශ්‍ය වන ජලය හිඟවී යාමත්, තිබෙන අවම ජල ප්‍රමාණයත් දූෂිත වීමත් හේතුවෙන් ලෙඩ රෝග ගණනාවක්ම පැතිර යා හැකි බව ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හසිත් අමුණුගම පෙන්වා දෙයි.
අපේ ජීවිතය රැකදෙන ප්‍රධානතම ස්වභාවික සම්පත වන ජල හිඟයකට මුහුණ පෑමෙන් සහ අධික උණුසුම් තත්ත්වයක් ඇතිවීම නිසා ඇතිවන අහිතකරම බලපෑම වන්නේ විජලනයෙන් පෙලීමයි. උණුසුමත් සමඟ අධිකව දහදිය ගැලීම නිසා ශරීරයේ ජීව ක්‍රියාකාරීත්වය නිසි ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය ජලය ඉවත්වීම සිදුවෙයි. මේ හේතුව නිසා වැඩියෙන්ම අවදානමට ලක්වන්නේ වයස්ගත පිරිස මෙන්ම කුඩා දරුවන්ය.
මෙලෙස ඉවත්වන ජලය සමඟ ශරීරයට අත්‍යවශ්‍ය සෝඩියම් ඇතුළු ලවණ වර්ගද ඉවත් වෙයි. මේ නිසා ඇතිවන තත්ත්වය දරුණුය. පිළියම් නොයෙදුවහොත් මාරාන්තිකය. අධික පිපාසය, උගුර කට වියැලීම, ගිලීමේ අපහසුතා, අබල දුබල බව, කෙණ්ඩා පෙරැළීම, හදවතේ තදගැස්ම, කරකැවිල්ල, දහදිය නොදැමීම්, මුත්‍රා ප්‍රමාණය අඩුවීම, ක්ලාන්තය හා සිහිමුර්ජාව මෙන්ම මරණයද මෙමගින් සිදුවිය හැකිය.
බොන්නට දිය බිඳක් නැතිව යනවා පමණක් නොව ඉතිරිව ඇති ජල ප්‍රමාණයත් දූෂිත බවට පත්වන නිසාම සේදීම්, පිරිසුදු කිරීම්, නාකියා ගැනීම් ආදී කටයුතු වලටත් බාධා ඇතිවන නිසාම බරපතළ සෞඛ්‍ය ගැටලු මතු කරන්නට හැකිය. පාචනය, කොලරා වැනි වසංගත තත්ත්ව දක්වා මෙය පැතිර යන්නට හැකිය. කෑමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසු අත් නොසේදීම යන කාරණාව මෙහිදී තදින්ම බලපාන සෞඛ්‍ය තර්ජනයන් බවට පත්වෙයි. ආමාශය හා බඩවැල් ආශ්‍රිත රෝගාබාධවලට ඉඩෝරය ජල හිඟය හේතුකොට ඇතිවන ආහාර හිඟය නිසා පෝෂණ ඌණතාවත් ඉහළ යයි. විශේෂයෙන්ම කුඩා දරුවන්, අතදරුවන්, ගැබිණි මවුවරුන්, කිරිදෙන මවුවරුන් මෙන්ම වයස්ගත පුද්ගලයන්ද මේ හේතුවෙන් පීඩාවට පත්වෙති.
ගංගා, ඇළදොළ සහ ළිං බඳු ජල මූලාශ්‍ර තුළ රැඳී ඇති අවම ජල පරිමාව භාවිතයට මිනිසුන් මෙන්ම සතුන්ද යොමුවීමත් ඔවුන්ගේ මළ මුත්‍රා ඇතුළු අපද්‍රව්‍ය ඒ ආශ්‍රිතව එක්රැස්වීමත්, මියගිය සත්ත්ව මළකුණු ආදියත් හේතුවෙන් පැතිර යා හැකි භයානක රෝගයක් වන්නේ දැනටමත් නිසි ප්‍රතිකාර රහිත මී උණ රෝගයයි. ඒ හැර දැනට පාලනයට ලක්කර ඇති මැලේරියා මෙන්ම, ඩෙංගු, ඇතුළු බරවා වැනි මදුරුවන් ආශ්‍රිතව බෝවන රෝගයන්ද ඉහළ යන්නට හැකිය. බැක්ටීරියා සහ වෛරස් ආශ්‍රිත පැතිරෙන රෝග මේ අනුව ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
අධික උණුසුමත් උදෑසන සහ රාත්‍රියේ ඇතිවන අධික සීතයත් හේතුවෙන් වඩාත්ම හානියට පත්වන්නේ සමය. හෝමාගම මූලික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පෙන්වා දෙන්නේ සම මත කොරළ වැනි ස්වභාවයන් ඇති සහ කකුල් පැලීමට ලක්වන අයත් එම රෝගී තත්ත්ව ඉහළ යා හැකිය. එසේම මෙතෙක් එසේ නොවූ අයගේද සම සහ පාද ආශ්‍රිත එම රෝග ඇතිවිය හැකිය. සම මත රතු සුදු බිබිලි, දහදිය බිබිලි, හිරු රශ්මියට කෙළින්ම ලක්වීම නිසා ඇතිවන රත් පැහැති පිළිස්සුම්ද ඇතිවිය හැකි රෝගාබාධයන්ය.
රත්තයා ලෙස හඳුන්වන එක්සිමා තත්ත්වයට මුහුණදෙන ප්‍රමාණය ඉහළ යන බව වෛද්‍ය ඉන්දිරා කහවිට පෙන්වා දෙයි. එකී තත්ත්වය යටතේ ඇතිවන තුවාල දහදිය සහ දූලි කුණු ආදියට ලක්වීමෙන් පැසවා අසාධ්‍ය වන තත්ත්වයට පත්විය හැකි බව ඇය පෙන්වා දෙයි. කොහොමත් අප්‍රේල් මාසය ආසන්න කාලයේදී ඇතිවන දද, කුෂ්ඨ, සැරව ගෙඩි විසප්පු ආදී තත්ත්වයන් මෙන්ම පැපොල වැනි රෝගී තත්ත්වයන්ද ඉහළ යා හැකිය. බැක්ටීරියා ආසාදන මෙන්ම සම මත දිලීර රෝග පැතිර යාම අධික විය හැකි බව ඈ කියයි. මේ සඳහා සම සිසිල් කරන ක්‍රීම් වර්ගයක් සහ පානයන්, අව් රශ්මියට කෙළින් නිරාවරණය නොවීමත්, දහවල් කාලයේ අව් රශ්මියෙන් වැළකීමත්, එසේ පිටතට යන්නේ නම් ශරීරය නිසි ලෙස ආවරණය වන කපු ඇඳුමකින් සැරැසීමත් කුඩයක් හෝ හිස් වැසුම් භාවිතයත් කළ යුතු බව ඇය පෙන්වා දෙන්නීය.
ජලය හිඟවීම නිසා සිදුවණ අඩු ජල පාරිභෝජනයත්, අධික දහදිය දැමීම මඟින් ජලය ඉවත් වීමත් හේතුකොට මුත්‍රා පෙරීම සිදුවන්නේ ඉතා අසීරුවෙනි. මේ තත්ත්වය මුත්‍රාශය සහ වකුගඩු ආශ්‍රිත ගල් හට ගැනීමට හේතුවකි. මේ නිසාම වකුගඩු රෝග තත්ත්වයන් ඉහළ යාමටද හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. එසේම රුධිර පීඩනය ඉහළයාම, හෘදයාබාධ තත්ත්ව ඉහළයාම මෙන්ම දියවැඩියා රෝගී තත්ත්ව ඇතුළු බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ ආපදාවන්ද ඉහළ බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
මානසික සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ කියන්නේ අධික සිසිල් කාලගුණ තත්ත්වය මානසික රෝග ඉහළ දැමීමටද හේතුවන බවය. අධික නොසන්සුන් බව, නුරුස්නා ස්වභාවය, තද කෝපය මෙන්ම මානසික අවපීඩනය සහ ආතතිමය ස්වභාවයද ඉහළ යා හැකි අතර ආරවුල් සහ ගැටුම් සඳහාද එය මූලික වනු ඇත. මේ කියන උණුසුම නිසා ඇතිවන මානසික පීඩාකාරී තත්ත්වයට අමතරව මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය මගින් ඇතිකරන අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් අපරාධ වැඩිවීමද ඉහළ යා හැකි බව වාර්තා වී තිබේ. එසේම අධික උණුසුම දැරිය නොහැකිව එයින් සිදුවන මානසික කායික පීඩා උසුලනු නොහැකිව සිය දිවි නසාගැනීමට පවා පෙළඹෙන අවස්ථා ඇති බව ඕස්ට්‍රේලියානු අධ්‍යයනයක් මගින්ද පෙන්වා දී තිබේ.
♦ සුගත් පී. කුලතුංගආරච්චි