2018 ජුනි 30 වන සෙනසුරාදා

ලංකාවේ අඹවලට ගල් අරක්කුවලට වහ වැටෙන ග්‍රීක්කාරයෝ

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 152

මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකයට ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරුය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාද සටහන් පෙළක අවසන් කොටසයි. මෙවර ද අප හා කතාබහට එක්වන්නේ ජාතික සංචාරක මාර්ගෝපදේශකයකු වන කුරුප්පු ජයරත්න මහතාය. ඔහු 2014 වසරේ සිට තම විවේක කාලය අනුව ජපන් සහ ග්‍රීක භාෂාවලින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙයි.

ග්‍රීසියේ තාමත් ඉන්නෙ දාර්ශනිකයෝද? 

ග්‍රීසිය යනු මීට සියවස් කිහිපයකට එපිටදී ලෝකයේ පැවැති ඉතාම සමෘද්ධිමත් රාජ්‍යයකි. යුරෝපයේ දකුණට බරව මධ්‍යධරණී මුහුද මායිමේ පිහිටි ග්‍රීසිය යුරෝපයේ ඇති දර්ශනීය රටක් ලෙස ද සැලකේ. ඒ සියල්ලටම වඩා ග්‍රීසිය සංස්කෘතිය අතින් විශාල දියුණුවක් අත්කරගෙන සිටි රටකි. ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටීස්, පයිතගරස් වැනි බුද්ධිමත්තු රැසක් එහි විසූහ. 

“ඉස්සර කාලේ එයාලා බුද්ධිමත් වෙන්න ඇති. හැබැයි දැන්නම් එහෙම ලොකු බුද්ධියක් පේන්න නැහැ” ජයරත්න ග්‍රීකයන් ගැන කතාබහ ඇරඹුවේ එලෙසිනි. 

ජයරත්න සංචාරක මාර්ගෝපදේශනයට එන්නට පෙර මීට ඉහත ග්‍රීක නැවක වැඩ කරන අතරතුරේදී අත්දුටු ග්‍රීක නැවියකුගේ මෝඩ වැඩක් ගැන කියන්නට පටන් ගත්තේ ද එවිටම ය. 

“ඒ නැවේ හිටපු ප්‍රධාන කාර්මික ශිල්පියා ග්‍රීක් ජාතිකයෙක්. එයාට නඩත්තු වැඩ වෙනුවෙන් නැවේ ඕනම කැබින් එකකට ඇතුළු වෙන්න අවසරය තිබුණා. ඉතින් කෑම ජාති තියෙන කැබින්වලට ගියහම මිනිහා කරන්නේ කෑම ජාති හොරෙන් උස්සන් එන එක”

දිනක් ඔහු තමන්ට හමුවුණු කෑම පාර්සලයක් ගෙනැවිත් ජයරත්න අතට දුන්නේය. 

“කාලා බලන්න. ටිකක් අමුතු චොක්ලට් එකක්. හැබැයි රසයි” 

ජයරත්න පාර්සලය ගලවා බැලුවේය. Dog Food ඉංග්‍රීසියෙන් ලොකු අකුරින් ලියා තිබුණි. 

“මේක බලු කෑම එකක්නේ” ජයරත්න ග්‍රීකයාට කීවේ සිනාසෙමිනි. 

“මොනවා?” ලැජ්ජාවෙන් හිස කැසූ ඉංග්‍රීසි නොදත් ග්‍රීකයා එතැනින් මාරුවූයේ මේ ගැන කිසිත් කිසිවකුට හෝ නොපවසන ලෙස ජයරත්න පොරොන්දු කරවාගනිමිනි. 

ග්‍රීකයෝ සහ දෙවිවරු

ග්‍රීසිය, ග්‍රීක ජාතිකයන් ගැන කරන කතාබහකදී ග්‍රීක දේව කථා ගැනද කථා නොකර සිටිය නොහැක. වීනස්, ඇපලෝ, සියුස් වැනි දෙවිවරුන්ගේ ආදර කථා, දේව යුද්ධ, දේව ශාප ගැනත් ඒවාට මැදිවුණු හර්කියුලීස් වැන්නවුන් ගැනත් කියැවෙන ග්‍රීක දේව කථා අදටත් ලෝකයේ මහත් ඉහළින් පිළිගැනීමට ලක්වන සාහිත්‍යයකි.

“ඒ ගොල්ලෝ තාම ග්‍රීක දේව කථා ගැන කියනවා. මෙහේ ආවට පස්සේ අපේ දෙවිවරු ගැන කතා කියද්දි එයාලගේ දේව කථාත් එයාලා මතක් කරනවා. හැබැයි කේන්ති ගියාම ග්‍රීක ජාතිකයෝ තරම් දෙවියන්ට බණින ජාතියකුත් මම කොහේවත් දැකලා නෑ. තරහා ගියාම දෙයියන්ට වුණත් අම්මා මුත්තා නැතිව බණින්නෙ”

කෙසේ වුවද ග්‍රීක ජාතිකයන් ගැන ජයරත්න සතුව ඇත්තේ පහන් හැඟීමකි. ලංකාවට එන ග්‍රීක ජාතිකයෝ ලංකාව කෙරෙහි දක්වන ඇල්ම මෙන්ම ලාංකිකයන්ට දක්වන ඇල්ම ද ඊට හේතුවක් බවට සැක නැත. 

“අපේ මිනිස්සුන්ට විතරක් නෙමේ පොදුවේ ආසියාතිකයන්ට අප්‍රිකානුවන්ට ග්‍රීක ජාතිකයෝ තරම් හොඳින් සලකන යුරෝපීය ජාතියක් මම කොහේවත් දැකලා නැහැ. ඔය ඇමරිකන්කාරයෝ එංගලන්ත සුද්දෝ ආසියාවේ අප්‍රිකාවේ මිනිස්සුන්ට කල්ලෝ කියලා අවතක්සේරු කරනවනේ. හැබැයි ග්‍රීක අය එහෙම නෑ. අපි හැමෝම සමානයි කියන හැඟීම එයාලා ළඟ තියෙනවා.”

මහා ඇලෙක්සැන්ඩර් 

‍නිල් පැහැ ජලයෙන් යුක්ත උණුසුම් සාගරයක් වන මධ්‍යධරණී මුහුදට මායිම්ව තිබුණ ද ග්‍රීසියේ වැසියන්ට ශීත කාලයේදී මුහුදට කිට්ටු විය නොහැක. එනිසාම ඔවුහු ශීත කාලයේදී ලංකාව, මාලදිවයින වැනි ආසියාතික දූපත් කරා ඇදී එති. 
අනෙක් අතට ලංකාවට ග්‍රීක ජාතිකයන් බොහෝවිට එන්නේ යුගල වශයෙනි. සැමියා බිරිඳ සහ පෙම්වතුන් ලෙස පැමිණෙන ග්‍රීක ජාතිකයන් අතර මධුසමය ගත කිරීමේ ගමනාන්තයක් ලෙස ද ලංකාව ප්‍රකටය. 

“හැබැයි දැන් නම් ග්‍රීසියෙන් ලංකාවට එන සංචාරකයෝ ප්‍රමාණය ගොඩක් අඩුයි”

ග්‍රීක සංචාරකයන්ගේ පැමිණීම අඩුවන්නට ප්‍රධානම හේතුව වී ඇත්තේ එරට ආර්ථිකයේ මෑතකාලීන පිරිහීමය. 2004 ඇතෑන්ස් ඔලිම්පික් උළෙලින් පසු එරට ආර්ථිකය බලා සිටියදී කඩා වැටෙන්නට වූයේ බොහෝ දෙනෙකුට රැකියා ද අහිමිකර දමමිනි. එනිසා විවේකය, විනෝදය තකා ලොව වටා යන්නට ඇති අවස්ථාවට බොහෝදෙනකුට ඇහිරී ගොසිනි. 

ඉඳහිට හෝ ලංකාවට එන ග්‍රීකයෝ ලංකාවේ පැරණි සිද්ධස්ථාන දකිද්දී, ලංකාවේ ඉතිහාස කතා අසද්දී තමන්ගේ ඉතිහාසය ගැන කථාවට පෙළෙඹෙන්නේ නිරායාසයෙනි. ග්‍රීක ජාතිකයෝ තම ඉතිහාසය ගැන කතාකරද්දී ඉන් හරි අඩකටත් වඩා කොටසක් පුරවන්නේ එක් සුවිශේෂී චරිතයකිනි. 

“අපේ මාතෘකාව ඉතිහාසය නම්, එයාලගේ කටේ තියෙන්නේම මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ගැන තමා. ග්‍රීසියේ ඉඳන් පර්සියාවත් අල්ලගෙන ඉන්දියාවටත් ගියපු ඇලෙක්සැන්ඩර් ගැන අදටත් ඒගොල්ලෝ මහා අභිමානෙකින් කතා කරනවා” 

තෝර මාළුයි; අඹයි; ගල් අරක්කුයි

ලංකාවට එන ග්‍රීක ජාතිකයෝ බත් මාළු පිනි කෑමට පොඩි උත්සාහයක් දැරුව ද ඔවුන් ඒ කෙරෙහි එතරම් ප්‍රියතාවක් දක්වන්නේ නැත. විශේෂයෙන්ම ලාංකිකයන් මෙන් බත් කන්දක් ගිලීමට ඔවුන්ට හුරුවක් නැත. 
“එයාලා වැඩිපුරම කන්නේ මාළුයි, අල පෙතියි. ලංකාවට ආවමත් හොයන්නේ ඒවා. තෝර මාළුවලට තමයි වැඩියෙන්ම ආසා”

බත්වලට රුචියක් නොදැක්වුවද ලංකාවේ හැදෙන අඹවලට ග්‍රීකයෝ අමු පෙරේතයන් බව ජයරත්නගේ අත්දැකීමයි. ඕනෑම මොහොතකදී අඹ ගෙඩියක් කන්නට කිසිදු ග්‍රීකයෙක් පසුබට නොවන තරම්ය. අඹවලට අමතරව අන්නාසි සහ කජු ද ඔවුන්ගේ ප්‍රියතම පළතුරු වර්ග වේ. 

යුරෝපීයයන් වන ග්‍රීකයන් ද මද්‍යසාර පානයට ගිජුය. එරටදී ඔවුන්ගේ ජනප්‍රියම පානය වන්නේ ඌසෝ (ouzo) නම් පානයකි. එය ද රුසියාවේ වොඩ්කා වැනිම සැර බීමකි. ජලය සමඟ මිශ්‍ර කර ඌසෝ බොන ග්‍රීකයෝ ලංකාවට ආ පසු තලු මර මර බොන්නේ ගල් අරක්කුය. 


“එයාලා ගල් අරක්කුවලට හරිම කැමැතියි. දවසක් මාත් එක්ක ආපු ග්‍රීක ජාතිකයෙක් හැන්දෑ වරුවේ පබ් එකට ගියා. එතැනදි ලංකාවේ බීම ජාතියක් බීලා බලන්න එයාට ඕනෙ වුණා. මුලින් වොඩ්කා ටිකක් බොන්න හිතාගෙන ආපු ඒ මනුස්සයා අන්තිමට ගල් අරක්කු වීදුරු හත අටක්ම බිව්වා. මං හිතන්නේ ගල් අරක්කුවල සැර ගතියට එයාලා ආසයි” 


අප අසා ඇති පරිදි සහ දැක ඇති පරිදි බොහෝ යුරෝපීයයන් මත්පැන් බොන්නේ කටගැස්මකින් තොරවය. එහෙත් ලාංකිකයන් බීර වීදුරුවක් බීමට පවා කටගැස්ම සොයන්නේ එය බීමේ අනිවාර්ය අංගයක් ලෙස සලකමිනි. ඒ අතින් ග්‍රීකයන් ද ලාංකිකයන්ට සමාන බව ජයරත්න කීය. 

එහෙත් අප මෙන් ඩෙවල් වර්ග නොසොයන ඔවුන් කජු, මාළු විශේෂයෙන් දැල්ලන් වැනි කෑමක් මත්පැන් සමඟ හැපීමට කැමැතිය. 

පසු ලිවීම: 
මාස හතක පමණ කාලයක් මුළුල්ලේ සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් හෙවත් ගයිඩ් මහතුන් සමඟ පැවැති සංවාද ඇසුරින් පළකෙරුණු ලිපි පෙළ මෙතැනින් අවසන් වේ. මෙම ලිපි පෙළ හරහා අප බලාපොරොත්තු වූයේ විදෙස් සංචාරකයන් කැටුව ගිය ගමන් අතරතුරදී ඔවුන් මුහුණ දුන් රසබර අත්දැකීම් ඔබ හමුවට ගෙනඒමය. එම තොරතුරු පිළිබඳ සිදුකෙරෙන කතාබහ අතරතුරදී බොහෝ ගයිඩ් මහත්වරුන් විසින් මේ වන විට සංචාරක ක්ෂේත්‍රයේ පවතින දුර්වලතා අඩුලුහුඬුතා ගැන ද සිහිපත් කළ බව ලියා තැබීම වටනේය. විශේෂයෙන්ම සංචාරක ස්ථාන ආශ්‍රිතව පවතින අඩු පහසුකම් (වැසිකිළි පහසුකම් ආදිය) නිසා තමන් රාජකාරි අතරතුරදී මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ ඔවුහු කරුණු රැසක් ඉදිරිපත් කළහ. එනිසා සංචාරකයන් හා ඍජුව ගනුදෙනු කරන සංචාරක මාර්ගෝපදේශකයන්ගේ අදහස් ද මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවට යොදාගැනීම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවේ නම් එය අතිශය වැදගත් වනු ඇති බව අපගේ හැඟීමයි. 

►රජිත ජාගොඩ ආරච්චි