පහත සඳහන් වන්නේ ක්‍රිකට් තරගයකදී සිදුවන්නට ගිය කළබගෑනියක් පිළිබඳව වත්මන් ප්‍රේක්ෂකයකු විසින් කළ විස්තරයකි.
“මාර වැඩේ මචං වුණේ. උන්ව කොරවෙන්න අපේ උන් බෝල් කරා. උං ඒ පාර තට්ටු දදා හිටියා. ගෙඩි දෙකතුනක් ආවත් අපේ උන්ට අල්ලගන්න බැරි වුණා. අපේ බෝල් කරන උං ලෑල්ල දාන පාරක් ගාණෙ උන්ට නක්කිය දාන්න ගත්තා. ඒකට අම්පයරුත් බර බරයක් දැම්මා. බලං හිටපු අපේ උන්ටත් මළපැන්න ඒ පාර. අපේ උං කිචේ දානකොට උංගේ කස්ටියටත් තද උණා නප්පියට. උං ගේම ඉල්ලුව අපෙන්. උංගෙ ලෙල දෙන පොරකට අපේ එකෙක් කිව්වා. “එක පන්ච් එකෙන් මූණ වහනවා, නිකං පොර ටෝක් දෙන්න එපා.” කියලා. වැඩේ පත්තුවෙන්න ඔන්න මෙන්න කියලා චමින්දල වගයක් ඇවිල්ල දෙපැත්ත මඤ්ඤං වෙන ටෝක් එකක් දුන්නා. ලොකු වලියක් යන්න ගියේ. එහෙම වුණානං දෙතුන් දෙනෙක් වළ කජ්ජ ගහනවා එතනම. ඊට පස්සේ පොරවල් ඔක්කොම නොකර සද්ද මැච්එක බැලුවා. මං සේරම අහුවෙන්න සෙල්ෆියකුත් ගහගත්තා.”
මෙම සිද්ධි විස්තරය පුවත්පත්වල පළවෙන සංයමයෙන් යුතු ලිඛිත භාෂාවෙන් කළ එකක් නොවුණත් අද දින පාඨකයකුට නම් තේරුම් ගන්නට අසීරු නැත. මන්දයත් මෙම යෙදුම් අලුතෙන් ව්‍යවහාරයට පැමිණියත් අද දින ව්‍යවහාරයේ අඩු වැඩි වශයෙන් පවතින නිසාය. එහෙත් අපේ වැඩිහිටි පරම්පරාවේ අයකුට නම් මෙය තේරුම් ගන්නට අසීරු වග කිවයුතු නොවේ. නවසිය හැට ගණන්වලට පෙර ජීවත් වූ අයකු නම් මෙම ඡේදයෙන් 10%ක් වත් තේරුම් නොගනු ඇත. ඊට හේතුව මෙම ප්‍රකාශයේ අඩංගු වන වචන බොහෝමයක් පසුගිය දශක තුන හතරේ (විශේෂයෙන් නාගරික) ව්‍යවහාර භාෂාවට එක්වූ ඒවා වීමයි. ක්‍රිකට් තරග විස්තරයක් වුවද ක්‍රිකට් හා බැඳුණු වචන මෙහි ඇත්තේ අල්පයකි. අනෙක් සියල්ල සමාජ ව්‍යවහාරයන්ය.
අපේ භාෂාව ද ලෝකයේ අනෙක් භාෂාවන් සේ අලුත් වී ඇත. අලුත් වචන ලිඛිත භාෂාවටත්, කටවහරටත් එක් වී තිබේ. කවීන්ට, කතාකරුවන්ට, රචකයන්ට හා විද්වතුන්ට පින්සිදුවන්නට අපේ ලිඛිත භාෂාව පසුගිය වසර 100 තුළ කටෝර බවින් මිදී සුමට භාෂාවක් බවට පරිවර්තනය වී ඇත. එම පරිවර්තනය විවරණය කිරීම විදග්ධයින් සතු කාර්යයකි.
මෙම ලිපියේ අරමුණ පසුගිය දශක කිහිපය තුළ කටහරට එකතු වුණු අප දන්නා යෙදුම් කිහිපයක් ගැන සරළව කරුණු දැක්වීමයි.
අප කුඩා කාලයේ අසා නැති වචන ළමා කාලයේ දී අලුතෙන් කටවහරට එක්විය. ළමා කාලයේදී අසා නැති වචන තරුණ කාලයේදී කටවහරට එක් වුණේය. මේ සම්ම ජාතියේදී අසා නැති යෙදුම් දැන් කටවහරට එක්ව තිබේ. ඇතැම් වචන අලුතෙන් එක්වූයේ දැයි නොදැනෙන තරමට දැන් සම්මත ව්‍යවහාරයට එක්ව හමාරය. එසේ එකතු වීමේ දොසක් නොපෙනේ. ඒවා ගුවන් විදුලි නිවේදන බසට හෝ පුවත්පත් බසට භාවිත කළහොත් ඇතිවන තත්ත්වය කණගාටුදායක බව අමුතුවෙන් කිවයුතු නැත. කෙසේ වුවද එම අලුත් යෙදුම් ගැන කතා කිරීම සතුට දනවන්නකි.
තමා කියන දේ රසකර කීමේ ආසාව ඇත්තේ කවීන්ට, කතාකරුවන්ට හා සාහිත්‍යධරයන්ට පමණක් නොවේ. එදිනෙදා කතාබහේ යෙදෙන ඒකාකාරී බවෙන් හෙම්බත් වුණු පොදු ජනයාටත් මේ ආසාව පවතින බව කරුණු සොයා බැලීමේදී පසක් වෙයි. අලුත් භාෂාවට එක්වී ඇති වචන බොහෝමයකට හේතුවී ඇත්තේ එම නිසඟ ආසාව වියයුතුයි. බාසාවක් නිතර අලුත් කරන්නේ නව යොවුන් වියේ පසුවන අය සහ තරුණයන් විසින් වග ඒ පිළිබඳ අන්තරජාලයේ ඇති විද්වත් දේශනයක පැවසේ. පසුගිය වසර 40ක් පමණ කාලය තුළ කටවහරට එක්වී ඇති අලුත් යෙදුම් මුලින්ම භාවිත කළේ තරුණයන් බව පෙනී යයි. ඔවුන් කෙමෙන් වැඩෙද්දී එම වදන් පැවසීම නතර කොට නැත. ඔවුන් අලුත් කටවහර ද රැගෙන වැඩිහිටියන් බවට පත්වී ඇත. එවිට තවදුරටත් එම අලුත් වචන බස්වහරේ ස්ථාපිත යෙදුම් බවට පත්වේ.
අපේ ජීවිත කාලයේදී බස් වහරට එක්වූ බවට තීරණ කළහැකි වචන 40ක් විනාඩි 15ක් තුළ පෙළ ගස්වාගන්නට මට හැකිවිය. මෙම යෙදුම් කෙසේ එක්වුණි දැයි දැනගනීම අපහසුය. එවැනි යෙදුම් කිහිපයක මූලාශ්‍ර මොනවාදැයි අනුමාන කළහැකිය.
පෙළගස්වාගත් වදනවලින් වැඩිදුරටත් වචන ඇති බව පෙනීගියේ යමක අනර්ඝ බව අනුමත කිරීමට හෝ කියාපෑමටයි. එම වචන කාලයක් සමඟ භාවිතයට පැමිණි අනුපිළිවෙළ අනුව ලියූ විට මේසේය.
මරු! මාරයි! මරේ මරු! නියමයි! ආතල්! එළ! එළකිරි! එළ පවුසි! පට්ට! පට්ට ආතල්!
යමක් අනුමත කිරීමට මෑතක සිට අනිවා! කියනු ඇසේ. (එය “අනිවාර් යෙන්ම” කියන වචනයෙන් බිඳී ආවකි.) මරු, මාරයි, මරේ මරු යන වචන කටවහරයට අලුතෙන් පැමිණි කාලය පැහැදිලි නැත. “නියමයි” නම් භාවිතයට ආවේ හැත්තෑගණන්වල මුල් කාලයේය. ආතල් යන්න ආවේත් ඒ කාලයේමය. එළ, එළකිරි, එළපවුසි යන වචන අනූව දශකයේ පැමිණි ඒවාය. පට්ට! යනු බොහෝ මෑතකදී භාවිතයට ආ වචනයකි. සුවසේ සිටීමට ආතල් යන පදය භාවිතා වේ. හැත්තෑ ගණන්වල ආ පුංචි කතාවක් ඊට සාක්ෂි දරයි.
ගංජා බොමින් සිටි දෙතුන් දෙනෙකු මැදට පොලීසිය කඩා පැන්නේලු. ඔවුන් ඒ වනවිට පදමට මත්වී සිටිය බව කියවේ. පදමට ගංජා මත දැනුණු එක් අයෙක් පොලිස් නිලධාරීන්ට මෙසේ කීවේලු “ගහන්ඩ එපා රාළහාමි, අනේ ආතල් එක කඩන්නත් එපා හෙමින් සැරේ උස්සල ජීප් එකේ තියන්න.”
අමවන් කිරීම, නිග්‍රහ කිරීම හෝ හෙලා දැකීම යන අරුත් දෙන වචන ද අලුතෙන් භාවිතයට ඇවිත් තිබේ. ඒවා මෙසේය. “කිච කරනවා”, “පීචං කරනවා”, “නෝණ්ඩිය දානවා”, “නක්කිය දානවා”, “නක්කලේ දානවා”, “කිණ්ඩිය දානවා”
විහිලු තහලුවෙන් සමච්චල් කිරීම යන අර්ථයද මෙම වචනවලින් ගෙන එන එයි.
පවුලේ උදවිය, හිතවතුන්, යහළුවන් එකිනෙකා අමතන ආකාරය ද පසුගිය කාලයේ කලින් කලට වෙනස් වූයේය.
අපි දන්නා කාලයේම අපේ තාත්තලාගේ වයසේ අය “හාමිනේ” යනුවෙන් භාර්යාව ඇමතූහ. ඒ කාලයේදීම ඇතැම් ස්වාමිපුරුෂයන් “නෝනා” යනුවෙන් සිය භාර්යයාව අමතද්දී භාර්යාවෝ මහත්තයා කියා ස්වාමිපුරුෂයන් ඇමතූහ. ස්වාමිපුරුෂයා සහ භාර්යාවන් “බබා” නැත්නම් “බබෝ” කියා තම කාලත්‍රායා ඇමතීම ද දැන් සිදුවේ. ඉස්සර බබාලගෙ අම්මා කියා වරෙක ස්වාමිපුරුෂයන් සිය භාර්යාවන් අමතනු ඇසිණි. “ළමයින්ගෙ තාත්තා” යන්න ද කාලයක් ඇසුණු ඇමතීමකි. ගුවන් විදුලියේ විකාශනය වූ ඉතා ජනප්‍රිය මාලානාට්‍යයක් වූ මුවන්පැලැස්සේ සිටි කොමලි තම පෙම්වතා වූ කදිරා අමතන්නට කියන්නේ “මෙයා” කියාය. “ආං මෙයා මුව පැටියෙක්” වරෙක කොමලි එසේ කීවාය.
මෑත කාලයේ එම ඇමතීම් තවත් වෙනස් වී ඇත. ස්වාමියා භාර්යාවට “අම්මී” කියයි. භාර්යාව ස්වාමියාට “තාත්තී” කියයි.
“මචං” යන ඇමතීම අප කුඩා කාලයේදීම ලොකු අයියලා යහළුවන් ඇමතීම සඳහා යොදාගත් එකකි. එය එතරම් නරක ඇමතීමක් නොවන වග ඊට වැඩිහිටියන් දැක්වූ ප්‍රතිචාරයෙන් පෙනුණි. එහෙත් පාසලේදී ගුරුවරුන්ට ඇසෙන්නට “මචං” කියා යහළුවන් අමතන්නට අපි බිය විමු. මේ වනවිට දන්නා නොදන්නා ඕනෑම යහළුවකු ඇමතීමට “මචං” යන පදය නිදහසේ භාවිත වේ. මෙම ඇමතීම වඩාත් ප්‍රචලිත වූයේ පසුගිය වසර 40-50 කාලය තුළයි. ඇතැම් මන්ත්‍රීවරුද “මචං” කියා සිය ඡන්ද දායකයන් අමතති. ඊයේ පෙරේදා අමෙරිකානු තානාපතිට ශ්‍රී ලාංකිකයකු සිය ට්විටර් ගිණුම ඔස්සේ අමතා තිබුණේ මචං අතුල් යනුවෙනි. ඔහුගේ පිළිතුර ද පටන් ගෙන තිබුණේ මචං කියාය.
ඉස්සර ග්‍රාමීය ප්‍රදේශවල පැවති බොලේ, බිල, අඩා යන ඇමතීම් පමණක් නොව නාගරික ජනයාගේ ඇමතීම්වල පැවති “අයිසේ”, “තමුසේ”, “ඕයි” යන යෙදුම් දැන් බොහෝදුරට ඇසෙනවා අඩුය. මා දන්නා එක් හිටපු ඇමතිවරයකු තම හිතවතුන් හා ඡන්ද දායකයින් අමතන්නේ “ඕයි” කියාය. පසුගිය වසර 40ටම ඔහු පැරදී නැත. එය ඔහුගේ සුහද ඇමතුමක් වග සියල්ලෝ දනිති. අයිසේ, තමුසේ යන්න වඩා සුහද ඇමතුමක් ලෙස දැන් සැළකෙන්නේ නැත. එහෙත් ඉස්සර එසේ නොවේ.
තම මිතුරකු විනිසුරු ආසනයේ ඉන්නා විට නීතිඥවරුන් මිතුරුදම් පසෙක තබා “ස්වාමීනී” යනුවෙන් ගෞරවයෙන් ඔහු ඇමතීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. අලුත්කඩේ උසාවියේදී තම මිතුරු විනිසුරුවකු හට කාරණයක් වඩාත් පැහැදිලි කරන්නට යුහුසුළු වූ එක් නීතිඥවරයකුට “නෑ මචං” කියා උසාවියේදී ඉබේ කියවුණු පුවතක් කලකට පෙර අසන්නට ලැබුණි.
කේන්තියාම යන අරුත දෙන වචන කලින් කලට ව්‍යවහාරයට පැමිණ තිබේ. ජුවල් යනවා, ඌරු ජුවල් යනවා ඊට එකතුවී තිබුණේ කලකට පෙරය. වසර 20ක පමණ මෑත කාලයේ ඔරොප්පු වෙනවා, තද වෙනවා යන්න ඊට එක්විය. මල පනිනවා යන්න මෑත කාලයේ තරුණයන් විසින් ඊට එක්කළ අලුත්ම පදයයි. “අරූට මල”, “මූට මල” වශයෙන් එකිනෙකාට කේන්ති ගියවිට කියවුණේය.
යමක් වැරදී ගියවිට කියන වචනද බහුලව කටවහරට ඈඳී තිබේ. පැරැණි දෛව විපාකය චිත්‍රපටයේ කතා නායකයා යමක් වැරදී ගිය පමණින් “මළසේන” යයි කීවේය. වෙනත් චිත්‍රපටවලින් ද එවැනි වචන සමාජ ගතකරන්නට උත්සාහ ගෙන තිබිණි. “අයියෝ සිරිසේන” යන්න තව චිත්‍රපටයකින් එක්වූයේය. කෙසේ වුවද කටවහරේදී මළා! හුටා! කෙළියා! යන්න එක් එක් ආකාරයට වැඩක් වැරදී ගිය විටක කියන්නට භාවිත විය. වැඩේ දෙල් උණා යැයි කීවේද යමක් වැරදුණු විටය. මෑතක සිට එය “වැඩේ කොත්තු” විය. වඩාත් මෑතක ඊට කීවේ “බඩු බනිස්” කියාය. “ඉතිං මට පාං යැ” තවකෙක් පිළිතුරු දෙයි. එහි තේරුම “ඉතින් මට මොකෝ?” යන්නයි.
පුරසාරම් බිනීමට හෙවත් කයිවාරු ගැසීමට දැන් “කයිය”, “පොර ටෝක්”, “ලොකු ටෝක්” සහ “ලොරි ටෝක්” යන යෙදුම් ආදේශ වී ඇති අතර කපටි වදන් බිනීමට “පොත දානවා”, “මරිසිය දානවා*, “පානිය දානවා” යන්න ආදේශ වී තිබේ.
වැඩදායී යමක් කරන විට ඊට අවහිර කොට අපහසුවේ හෙලීමට අද දින “වළ දානවා” යන යෙදුම ප්‍රචලිතව ව්‍යාවහාරවේ. මෙම යෙදුම පේරාදෙණිය සරසවියේ බස් වහරෙන් ආ යෙදුමක් බව පෙනේ. පේරාදෙණිය සරසවියේ “වළ” යනු සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයයි. “වළ කාලය” යනුවෙන් හඳුන්වන්නේ එහි එකදිගට නාට්‍ය ප්‍රදර්ශනය වන කාලයයි. පාඩම් කිරීමත් “වළේ” නාට්‍ය නැරඹීමත් එකවිට කළ නොහැකිය. පාඩම් කරන දිනවල විනෝද කටයුතුවලට ඈඳා ගැනීම එම නිසා “වළ දැමීමක්” ලෙස සැළකිණි. මෙම යෙදුම මුලින්ම භාවිත කළේ පාඩම් කිරීමට කරන බාධාවක් ලෙසයි. ඉන්පසු අනෙක් බාධා කිරීම්වලට ද වළ දානවා යන යෙදුම් භාවිතා කරන්නට ගැනිණි. වළ දාන අය හැඳින්වූයේ උදළු කාරයන් ලෙසයි.
“කුප්පියක් දානවා” යන වචනය ද සරසවි ව්‍යවහාරයට අලුතෙන් පැමිණ තිබේ. විභාගයට පෙර මිතුරන් එකතු වී දැනුම බෙදාගනිමින් එකිනෙකාට තමන් දන්නා දේ කියාදීම “කුප්පියක් දානවා” යනුවෙන් අර්ථවත් වේ. මෙය තෙල් බෙදීම යන වචනයේ අරුතෙන් පරිනාමය වූවක් බව පෙනේ. විස්තර ඇතිව අනෙකා දිනාගනිමින් පැහැදිලි කිරීම “තෙල බෙදීමකි.” කුප්පියේදී සිදුවන්නේ දන්නා අය තෙල් බෙදමින් කියාදීම විය යුතුය.
රණ්ඩුවකට අරඇඳීම, කලකට පෙර කශිලියක් දා ගැනීමකි. ඉන්පසු එය වලියක් ඇදගැනීම විය. කොක්කක් දා ගන්නවා යනුවෙන් හැඳින්වූ ඊට බොහෝ දෙනා දැන් “ගේම ඉල්ලනවා” කියාද කියති.
“බසාර්” යනුවෙන් කඩවීදියට ඉංග්‍රීසියෙන් කී වචනය කටට හුරු ලෙස “බජාර්” විය. තම කඩේ ඉල්ලන භාණ්ඩය නැත්නම් “බජාර් එකේ හොයලා බලන්නකො” යනුවෙන් ඇතැම් වෙළෙන්දෙක් කීවේය. පසුව බජාර් එක යන වචනය තම සමූහයා හැඳින්වීමට ද යොදා ගනු ලැබීය. නූතන තරුණයන් තම මිතුරු කැළට කියන්නේ “ගැංසිය” කියාය. එය ඉංග්‍රීසි “Gang” යන වචනයෙන් බිඳී ආවකි.
“බජාර්” බාසාව ගෙදර කතා කරන විට අපේ වැඩිහිටියෝ උරණ වූහ. ඔවුන් ඊට කීවේ රස්තියාදු බසක් කියාය. රස්තියාදු බස කතා කිරීම ගර්වයට කැළලක් ලෙස අපේ මව්පියෝ සැලකූහ. නමුත් තම සමාජ ගර්වය ඉවත ලූ පොදු ජනයා පසුගිය කාලයේ භාවිතයට ආ වචන නොපැකිලී උසුරුවන්නට ගත්හ. දැන් රජයේ ඉහළ තනතුරු දරන අප සමඟ සරසවියේ සිටි බැචාලා (Batch Mates) ද සමාජ ගර්වය ඉවත දමා අලුත් වචන කතා කරනවා අපට ඇසේ.
හේමසිරි හල්පිට ලියූ නිහාල් නෙල්සන් ගැයූ “මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ” ගීතයේ අන් කිසිම ගීතයකට වඩා බජාර් බාසාව සාර්ථකව හසුරුවා තිබේ. එම වචන නිසා ගීයට දැඩි ජීවමාන ගතියකුත්, නාට්‍යමය ගුණයකුත් ලැබී ඇති බව මගේ අදහසයි. (ඒ කාලයේ එම ගීය සමහරු දෝෂ දර්ශනයට ලක් කළහ.)
ගීතයේ කොටසක් මෙසේය.
“පච්ච සිරාලා එතකොට කොච්චි ඇලාලා
ගුස්පි රොබාලා එයි මෙහේ සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිලා යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා”
වර්තමානයේ ස්මාර්ට් ජංගම දුරකථන මගින් සමාජ මාධ්‍ය ජාලා (විශේෂයෙන් Face Book) භාවිතයට ඒම සමඟ යෞවනයන්ගේ අලුත් යෙදුම් නිතර එකතු වෙනු පෙනේ. ඒවා කටවහරට තවම එක්ව නැති වුවත් Post වල තිබෙනු පෙනේ. Are you happy now යන්න “ඔබට සතුටු ද දැන්” කියා ඒවායේ පළවේ. “කොහොමද ඒක”, “එහෙමද ආස”, “තනි ඇහැට ඇඬෙනව දොරේ” යන යෙදුම් මෑතකදී දැක ඇත්තෙමි. මේ සියලු වචනවලට වඩා සෙල්ෆිය යන්න පොදුජන වහරට පැමිණ තිබේ.
අපේ කාලය ගෙවී යද්දී භාෂාව ද හෙමි හෙමිහිට වෙනස් වී ඇත. විවිධ කේෂ්ත්‍රවල කටයුතු කරන තරුණ තරුණියන්, ශිෂ්‍යයින්, කම්කරුවන්, වෙළඳ කටයුතු කරන්නන් හා විරැකියාවෙන් පෙළෙන්නන් අලුත් යෙදුම් කටවහරට එක්කොට තිබේ. සැමදේ සේම කතාවද වෙනස් වෙයි.
♦ සමන් පුෂ්ප ලියනගේ