2018 ජුනි 30 වන සෙනසුරාදා

හර්නියාවට බයවෙන්න එපා!

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 8746

අන්ත්‍ර වෘද්ධි ලෙසින් ආයුර්වේදයේ හඳුන්වන රෝගය බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව හඳුන්වනු ලබන්නේ හර්නියා ලෙසිනි. මේ නිසා බොහෝ දෙනා අන්ත්‍ර වෘද්ධි රෝගය ලෙසින් හඳුන්වනවාට වඩා හර්නියා රෝග තත්ත්වය ලෙසින් හඳුන්වන බව පෙනේ. මෙය පුරැෂ සහ ස්ත්‍රී දෙපාර්ශ්වයටම වැළඳිය හැකි රෝග තත්ත්වයකි.

ශරීරයේ අභ්‍යන්තරව ඇති ඉන්ද්‍රිය කොටස් තුළ පවතින සමහර කොටස් එම තැනින් පිටතට නෙරා ඒම අන්ත්‍ර වෘද්ධි හෙවත් හර්නියා ලෙසින් හැඳින්වේ. ඇතැම්විට මෙය පිටතට නෙරා ඒමක් හෝ පිටතට ඉලිප්පීමක් ඇතිවිය හැක.

හර්නියා රෝගය ඇතිවිය හැකි ස්ථාන

• යටිබඩ ආශ්‍රිත ප්‍රදේශය • නාභිය ආශ්‍රිත ප්‍රදේශය • කලව ආශ්‍රිත ප්‍රදේශ • ඉකිලි ආශ්‍රිත ප්‍රදේශ • අණ්ඩ කෝෂය ආශ්‍රිත ප්‍රදේශ • යම් ශල්‍ය කර්මයක් කළ තැන් ආශ්‍රිත ප්‍රදේශ
එමෙන්ම උදරය තුළ යම් තදබල පීඩනයක් ඇතිවූ විටදී එම පීඩනය දුර්වලවීමෙන්ද මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැක.

අන්ත්‍ර වෘද්ධි (හර්නියා) රෝගය ඇතිවීමට හේතුව

• අන්ත්‍ර වෘද්ධි රෝගය ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ දිගු වේලාවක් වැසිකිළියේ වාඩිවී සිටීමයි. මේ නිසා මළබද්ධය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය.

• බර ඉසිලීම

• මාංශ පේශි දුර්වල වූ විට

• දිගුකලක් තිස්සේ පවතින කැස්ස

• වැරදි ලෙසට කරනු ලබන ව්‍යායාම්

• දීර්ඝකාලීනව ඇතිවන දියවැඩියා රෝගයද එයට හේතු වේ.

බොහෝවිට හර්නියා රෝගය ඇතිවන්නේ පිරිමින්ගේ අණ්ඩකෝෂය ආශ්‍රිත ප්‍රදේශවලය. ඇතැම් පිරිමින්ගේ අභ්‍යන්තර ඇති අන්ත්‍ර කොටස් හිරවීම නිසා අණ්ඩ කෝෂ ඉදිමී රුධිරය සැපයීම අඩාල විය හැක. එමගින් බඩවැල්වල ඇතැම් කොටස් දුර්වලවීමටද පුළුවනි. එමඟින් ජීවිත හානියද ඇතිවිය හැක.

රෝග ලක්ෂණ

• හර්නියා රෝගය ඇති ස්ථාන ආශ්‍රිතව මඳ වශයෙන් හෝ ඉහළට එසවීමක්, ඉදිමීමක්, පිම්බීමක් හෝ දැකිය හැක.

• තදබල වේදනාවක් දැනීම.

• වමනය යාම.

• ඇතැම් රෝගීන්ට තදබල උණද ඇතිවිය හැක.

• කැස්ස ඇතිවද්දී එම ස්ථානය මඳ වශයෙන් පිම්බීම.

ආයුර්වේදයේදී මෙම රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර ඇත. එම නිසා මෙවැනි රෝග ලක්ෂණ ඇතිවූ විට වහාම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයාද මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්නට අමතක නොකරන්න.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව හර්නියා රෝගයට ප්‍රධානම ප්‍රතිකාරය වන්නේ ශල්‍ය කර්මයයි. නමුත් ඇතැම් හර්නියා රෝගීන්ට ශල්‍ය කර්මයක් කිරීමෙන් පසුවද කලක් ගතවූ පසුව නැවත හර්නියා රෝග තත්ත්වය ඇතිවිය හැක.

ආයුර්වේදයට අනුව ඖෂධ මගින්ද, ඖෂධ විදීම මගින්ද, අන්ත්‍ර වෘද්ධි හෙවත් හර්නියා රෝගය සඳහා ප්‍රතිකාර කළ හැක. හර්නියා රෝගය සඳහාද ආයුර්වේදයේදී ශල්‍යකර්ම ඇති අතර ඒවා ඉතා සාර්ථක, විශේෂිත උපකරණ මගින් කරනු ලබන ශල්‍යකර්ම වේ. මේ නිසා හර්නියා හෙවත් අන්ත්‍ර වෘද්ධි රෝගය සඳහා බියවිය නොවිය යුතු අතර මෙම රෝගය ඇති වූ විට සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න.