හොරු අල්ලන්නට බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ කාඩ් කුඩුවන්නට පටන්ගත්තේ බැඳුම්කර මගඩිය පිළිබඳ තොරතුරු කරළියට පිවිසීමත් සමඟිනි. ආණ්ඩුවේ මුදල්ම පාවිච්චි කරමින් ආණ්ඩුවට පාඩු කෙරූ බැඳුම්කර මගඩිය නම් ‘සුපිරි ප්ලෑන අද වනවිට බූවල්ලකු ලෙසින් රටේ සමස්ත ආර්ථිකය පමණක් නොව දේශපාලනය ද වෙලා තලා දමන්නට සමත්ව තිබේ.
බැඳුම්කර මිලදී ගැනීමේදී සිදුවුණු ප්‍රතිශතාත්මක මගඩියක් සහ ඉන් සාධාරණ වෙළෙඳපොළ ප්‍රවේශයක් හරහා ආණ්ඩුවට අත්කරගන්නට තිබුණු ප්‍රතිලාභ ගැන මුලදී මතුකෙරිණි. ඉන්පසුව බැඳුම්කර වංචාව නිසා ඇලෝෂියස්ලාගේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් ලැබූ අධික ලාභය ගැනත් විවිධ දේශපාලකයන්ට ඔහු සමඟ පැවැති සබඳතා ගැනත් කරුණු හෙළිවිය. අනතුරුව සේවක අර්ථසාධක අරමුදල වැනි මෙරට සාමාන්‍ය ජනතාවගේ මුදල් පවා පිල්ලි ගසමින් බැඳුම්කර මගඩිය ක්‍රියාත්මක වූ අයුරු පිළිබඳ තොරතුරු හෙළිවිය. කොටින්ම එජාපයේ ඇතැම් මැති ඇමැතිවරුන් බැඳුම්කර වංචාව යනු විපක්ෂයේ හිතලුවක් පමණක් යැයි වහසි බස් දොඩමින් සිටියදී ඒ සියල්ලන් නිරුත්තර කරමින් බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම වාර්තාවක් පිට කළේය. එය අදත් සියයට සියයක් විවෘත ලේඛනයක් නොවුණ ද ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මගින් බැඳුම්කර මගඩියක් සිදුවූ බව තහවුරු වී හමාරය.
එසේ නම් දැන් සිදුවිය යුත්තේ බැඳුම්කර වංචාව සම්බන්ධ වහාම අධිකරණ විභාගයක් පවත්වා චූදිතයන්ට දඬුවම් පමුණුවා, රටට ජනතාවට අහිමිවී ගිය මුදල් නැවත අයකර ගැනීම ය. එහෙත් ඒ වෙනුවට සිදුවෙමින් පවතින්නේ බැඳුම්කර මගඩිය හා බැඳුණු තව තවත් තොරතුරු දේශපාලන කරළියට පැමිණීමයි. අලුත්ම කතාබහ නිර්මාණය වී ඇත්තේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අරමුදලේ තිබූ රුපියල් මිලියන 880ක පමණ මුදලක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා බැඳුම්කර මිලදීගැනීම වෙනුවෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් භාවිත කළා ද යන්න පිළිබඳවය.
මේ පිළිබඳ කාරණය කරළියට ගෙන ආවේ ප්‍රකට සිවිල් ක්‍රියාකාරිකයකු වන රජිත් කීර්ති තෙන්නකෝන් ය. ඔහු පෙන්වා දෙන්නේ මෙම කුපක්‍රට ගනුදෙනුව හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මුදල් භාවිත කරමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 141ක් හෙවත් රුපියල් කෝටි 14කට වැඩි අයුතු ලාභයක් උපයාගෙන ඇති බව ය. එම ප්‍රකාශය වර්තමාන උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් සනාථ කර තිබීම මෙහිලා අමතක කළ නොහැක.
1978 අංක 18 දරන විශ්වවිද්‍යාල පනතේ 89-96 වගන්ති යටතේ ‘විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලට’ මුදල් ආයෝජනය කිරීමේ බලතල හිමිවේ. එහෙත් ප්‍රශ්නය ඇත්තේ ඉවක් බවක් නොමැතිව ආයෝජන සිදුකිරීමත් ඒ හරහා දැවැන්ත අලාභයක් අත්කර ගැනීමත් ය.
රජිත් කීර්ති තෙන්නකෝන් නියෝජනය කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙන්නේ, සේවක අර්ථසාධක අරමුදල (EPF) ට සිදුවුණු පාඩුවටත් වඩා වැඩි පාඩුවක් බැඳුම්කර මගඩිය නිසා ‘විශ්වවිද්‍යාල අරමුදලට’ සිදුව ඇති බවය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් බැඳුම්කර වෙනුවෙන් ඉතිරිකිරීමේ බැංකුව හරහා පොම්ප කළ මුදල රුපියල් බිලියනයක් බව කීර්ති තෙන්නකෝන් පවසයි. එහෙත් ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසන්නේ එම අගය රුපියල් මිලියන 880ක් බව ය.
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ විශ්ව විද්‍යාල අරමුදලට සිදුවූ පාඩුව නැවත අයකරගැනීම සඳහා අදාළ නඩු කටයුතු සඳහා රජය දැන් සූදානම් වෙමින් සිටින බව ය. නීතිපතිවරයා හරහා ඊට අදාළ මැදිහත්වීම සිදුකරන බව ඔහු පවසයි.
පෙනී යන අන්දමට බැඳුම්කර ගනුදෙනුව නිසා සිදුව ඇති පාඩුව තක්සේරු කිරීම අතිශය භාරදූර කාර්යයක් බවට පත්ව තිබේ. පොලී අනුපාත වැඩිවීමේ සිට, වසර 30ක් අවසානයේ රුපියල් බිලියන 10ක බැඳුම්කර වෙනුවෙන් රජයට සිදුවන පාඩුව ද, රාජ්‍ය බැංකුවලට දරන්නට සිදුවූ ආවස්තික පිරිවැය ද, සේවක අර්ථසාධකයට හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අරමුදලට සිදුවූ පාඩුව ද බැලූවිට මෙම වංචාව ගණනය කිරීම පවා දැවැන්ත අභියෝගයකි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා නිවේදනයන් නිකුත් කරමින් කියා තිබුණේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හෝ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය අතර ගනුදෙනුවක් සිදුනොවුණු බව ය. තවද විශ්ව විද්‍යාල අර්ථ සාධක අරමුදලේ මුදල් අඩුවීම කෙරෙහි උක්ත ආයෝජනය බල පා නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
ආණ්ඩුව කුමන කතා කීවද අද වනවිට රුපියලේ අගය අවප්‍රමාණය වීම සඳහා ද මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවුණු වංචාව මූලික වී ඇති බව පිළිගැනීමට සිදුවේ. ඊට එක් ප්‍රධාන සාධකයක් හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපතිවරයකු වූ ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා මීට කලෙකට ඉහතදී කළ දේශනයකදී පැහැදිලි කරදුන්නේ ය. එනම් බැඳුම්කර මගඩිය නිසාවෙන් ශ්‍රී ලංකා මහබැංකුව අත්කරගත් අපකීර්තිය නිසාවෙන් මෙරට සුරුකුම්පත්වල ආයෝජනය කර තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 3.2ක මුදලක් වහාම රටින් ඉවත් කරගැනීම විදෙස් ආයෝජකයන් ක්‍රියාකර තිබූ බව ය. වර්තමානය වනවිට රුපියල කඩාවැටීමට එය ද ඍජු හේතුවක් බවට පත්ව තිබේ.
මේ ආකාරයෙන් බලනවිට බැඳුම්කර මගඩිය යනු මෙරට මූල්‍ය ඉතිහාසය තුළ සිදුවූ වඩාත්ම විනාශකාරී ගනුදෙනුව බව කීමෙහි වරදක් නැත. ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන් මෙන්ම ඇතැම් විට විපක්ෂ දේශපාලනඥයන් ද (පාර්ලිමේන්තුවේ 118 දෙනෙකුට පර්පචුවල් ට්‍රෙෂරීස් මුදල් ලැබී ඇති බව කියැවෙන නිසාවෙන්), මහ බැංකුව, රාජ්‍ය බැංකු, සේවක අර්ථ සාධකය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇතුළු පුද්ගලයන් හා ආයතන රැසක් හවුල්ව සිදුවුණු මේ මගඩිය නිසාවෙන් ආපසු හැරවිය නොහැකි අන්දමේ අකරතැබ්බයකට රට මුහුණ දී තිබේ.
♦ රෙහාන් රාසික්
රුපියල් කෝටි 100ක් පොම්ප කරලා
මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්
“අපි තහවුරු කරගත් ආකාරයට රුපියල් මිලියන 141ක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අරමුදලේ මුදල් පාඩු කරමින් තමයි මේ බැඳුම්කරය සිද්ධ වෙලා තියෙන්නෙ. අපගේ ඇස්තමේන්තු අනුව අවම වශයෙන් රුපියල් මිලියන 1000ක් නැත්නම් රුපියල් බිලියනයක මුදලක් බැඳුම්කරයට පොම්ප කරලා තියෙනවා. මේ දේ සිද්ධ වෙන වෙලාවෙදි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ කබීර් හෂීම් අමාත්‍යවරයා. කබීර් හෂීම් ඇමැතිවරයාගේ නම බැඳුම්කර වාර්තාවේත් සඳහන් වෙනවා. බැඳුම්කර වංචාව සිදුවෙන්න දවසකට කලින් අර්ජුන මහේන්ද්‍රන්, රවී කරුණානායක, මලික් සමරවික්‍රම සමඟ උදේ ආහාර වේලාවේ රැස්වීමක ඉඳලා තියෙනවා. මේ යන තාලෙට අපිට පේනවා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තියෙන සල්ලි බැඳුම්කරයට දෙන්න තමයි මේ රැස්වීම තියලා තියෙන්නෙ. ෆූටා එකේ සාමාජිකත්වය දරන සාමාජිකයෝ ඉන්නවද කියන එක එයාලාත් හෙට අනිද්දට කියන්න ඕනෙ.”
ඒ වෙලාවෙ ඇමැති මම නොවේ
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා (2018.06.26 දින කෑගල්ලේදී මාධ්‍ය අමතමින්...)
චෝදනා කරනකොට ඒවට පදනමක් තියෙන්න ඕනෙ. මම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට දින සීයේ වැඩසටහන යටතේ පත්වුණාම මම දන්න හැටියට මාර්තු වෙනකන් පමණයි මම ඒකෙ අමාත්‍යවරයා හැටියට හිටියේ. මාර්තු 22 ආචාර්ය සරත් අමුණුගම මහතාට එම අමාත්‍යංශය භාරදුන්නා. ජනාධිපතිතුමාම තමයි සරත් අමුණුගම මහතාව පත්කරන්නෙ. එතකොට ජූනි මාසෙ 19 වැනි දින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණයක් ගන්නවා එයාලගේ ආයෝජන සඳහා යම්කිසි ආයෝජනයක් එන්.එස්.බී. බැංකුව හරහා ක්‍රියාත්මක කරන්න. ඒ වෙලාවේ හිටි උසස් අධ්‍යාපන ඇමැතිවරයා ආචාර්ය සරත් අමුණුගම, නමුත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තමයි ඒ තීරණය ගන්නෙ. මම ඒ වෙලාවෙ අමාත්‍යවරයා ලෙස හිටියේත් නැහැ, කිසි සම්බන්ධයක් නැහැ.
අනික විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීම සඳහා 91 වගන්තිය යටතේ ආඥා පනතක් නිකුත් කරලා 2013, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩු කාලෙදිම එයාලා මේ මුදල් ආයෝජනය කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමට වැඩ ආරම්භ කරලා තිබුණා. නීතිපතිතුමාගේ උපදෙස් මත ඒක එන්නේ 2015දි. ඒ අනුව තමයි විශ්ව විද්‍යාප ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඒ ආයෝජන ප්‍රතිපත්ති සකසන්න කටයුතු කරන්නෙ.
(මෙම ප්‍රකාශය පිළිබඳ තොරතුරු විමසීමට අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය)
මිලියන 880ක් ආයෝජනය කරලා
වර්තමාන උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ
අදාළ කාලසීමාව තුළදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව රුපියල් මිලියන 880ක් භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමට රාජ්‍ය බැංකු තුනකින් මිල ගණන් කැඳවලා තිබෙනවා. ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඒ අතරින් වැඩිම පොලියක් ගෙවීමට එකඟ වූ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට තමයි ඒ මුදල් ආයෝජනය කරලා තියෙන්නෙ. එම ආයෝජන මුදල භාවිතා කරමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 141ක අයුතු ධනවත් වීමක් සිදුවූ බවට තොරතුරු හෙළිවෙලා තියෙනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉන් ඔබ්බට සිදුකළ ගනුදෙනු නිසා රජයට මෙවැනි පාඩුවක් සිදුවූ බව තමයි හෙළිවෙලා තියෙන්නෙ. එනිසා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අයුතු ලෙස උපයාගෙන ඇති රුපියල් මිලියන 141 අය කරගැනීමට නීතිපතිවරයා මාර්ගයෙන් අධිකරණයේ නඩු ගොනු කරලා තිබෙනවා.