2018 ජුනි 30 වන සෙනසුරාදා

රජත පුස්තක කෙටිකතා පේරාදෙණි බූදලයක්ද?

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 373

සම්මානෙ ලබාදුන්නෙ විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින්නේ. ඒ ගැන අදහස් පැවසීමට කතුවරිය හැටියට මට යුතුකමක් නැහැ. නමුත් විවිධ අය විවිධ කතා පතුරැවන බව නම් පේනවා. මමත් හිතුවේ නැහැ ගිහින් එන්න කානිවල් පොතට සම්මානයක් ලැබේවි කියලා. මහාචාර්ය ලියනගේ අමරකීර්ති සර්ගේ “අළුපැ හැති ආරංචි* පොතත් නිර්දේශිත පොත් අතර තිබුණනේ.

මේ පොතේ මම විවිධ කාලවලදී ලියූ කෙටි කතා 8ක් අන්තර්ගත වෙනවා. සිලි සිලි - සිරි සිරි, මිදුණා මිදුණා, මනාව මිදුණා, අග්නි ප්‍රේත වස්තුව ආදී වශයෙන්. විවිධ ආකෘතිමය අත්හදාබැලීම් කරමින් විවිධත්වයෙන් යුක්තව ලියපු කෙටි කතා එකතුවක්. අප සමඟ එලෙස අදහස් පැවසුවේ සුමුදු නිරානි සෙනෙවිරත්නයි. මෙවර රජත පුස්තක සම්මානය (කෙටි කතා) හිමි වුණේ ගොඩගේ ප්‍රකාශනයක් ලෙස පළවූ ඇයගේ ගිහින් එන්න කානිවල් කෘතියටයි. 

රජත පුස්තක සම්මාන අවසන් වටයට ලියනගේ අමරකීර්තිගේ අළුපැහැති ආරංචි, සුමුදුගේ ගිහින් එන්න කානිවල්, සුනන්දා ප්‍රේමසිරිගේ මල්බෙරි සමය, සුදර්ශන සමරවීරගේ සුනෙත් කාන්තගේ ශෝකාන්තය යන කෘති නිර්දේශ වී තිබුණි. පාදක මණ්ඩලය තෝරාගත් එම කෘති අතරින් ජයග්‍රාහී කෘතිය තෝරන උත්තරීතර විනිශ්චය මණ්ඩලය නියෝජනය කළේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ ජයන්ත රුක්මණී සිරිවර්ධන යන පිරිසයි. කෙටිකතා සඳහා නිර්දේශිත සියලුම නිර්මාණකරුවන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල උපාධිධාරින් වීමත් සුදර්ශන හැරෙන්නට අනෙක් තිදෙනාම එහි සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු වීමත් විශේෂිතය. සිංහල කෙටි කතා ක්ෂේත්‍රයේ පේරාදෙණිය ගුරුකුලයක් බිහිවන ලකුණු මින් පෙනෙන බව සමහරු පැවසූහ. 

සමහරු මුහුණුපොතේ සඳහන් කර තිබුණේ කාට සම්මානය ලැබුණත් ගෞරවය පේරාදෙණියේ සිංහල අධ්‍යයනාංශයට බවයි. 60-70 දශකයේ ද මහාචාර්ය සරච්චන්ද්‍ර, මහාචාර්ය ලුඩොවයික්, ආචාර්ය සිරි ගුණසිංහ වැනි විචාරකයන් හා නිර්මාණවේදීන් හරහා පේරාදෙණි ගුරුකුලය ව්‍යාප්ත වී තිබුණි. සම්මානයෙන් පසු සමාජ මාධ්‍ය ජාල කැලඹී ගියේය. විවිධ මතවාද මතුවෙන්නට විය. සුමුදු නිරාගි 2015 දී තම ප්‍රථම නවකතාව වූ දූල්වල අලංකාරය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද දිනාගත් අතර ගිහින් එන්න කානිවල් ඇගේ පළමු කෙටිකතා සංග්‍රහයයි.

කෙටි කතා පොත් අතරින් සම්මානය හිමිවනු ඇතැයි බොහෝ දෙනා සිතාසිටියේ අමරකීර්තිගේ  අළුපැහැති ආරංචියටය. කොටින්ම සුමුදු නිරාගි සිතා සිටියේත් එයමය. තවත් පිරිසක් සුදර්ශන සමරවීරගේ පොතට ලැබෙනු ඇතැයි අනුමාන කළහ. එහෙත් ඔවුන්ට නොලැබුණු විට සම්මාන විනිශ්චය විවේචනය කිරීමට සමහරැ ඉදිරිපත්ව සිටිති.

පේරාදෙණියෙන්ම බිහිවූ උපාධිධරයෙක් වන හෙන්රි වර්ණකුලසූරිය මුහුණුපොතට ලියූ සටහනක් බොහෝ දෙනාගේ අදහස් දැක්වීම්වලට භාජනය වී තිබේ. මේ ඉන් උපුටාගත් කොටස් කිහිපයකි.

රජත පුස්තක මගඩිය එළිවෙයි. පාදක මණ්ඩලය පත්කරන්නේ මුක්කුවටය. සම්මාන දෙන්නේ ඕනෑ කෙනාටය. ඒක පූර්ව නිශ්චිතය. ඉතිහාසයේ ස්වර්ණ පුස්තක ද එසේම විය. ස්වර්ණ පුස්තක සෙප්පඩ විජ්ජාවක් බව මා ප්‍රසිද්ධ පුවත්පත්වලින් ද කියා ඇත...

අළු පැහැති ආරංචි හා සුනෙත් කාන්තගේ ශෝකාන්තය සමස්තයක් ලෙස ගත් කළ අගනා කෙටිකතා පොත්ය. ඒත් සම්මාන ලැබුණේ කෙටි කතා කිහිපයක් පමණක් හොඳ ගිහින් එන්න කානිවල් පොතටය. අවසන් වටයට තෝරන්නට සුදුසු වෙනත් කෙටිකතා පොත් තිබුණු බව නිරනුමානය. මල්බෙරි සමය තෝරන්නට ඇත්තේ පසුවදන පමණක් කියවා විය යුතුය.

තවත් අදහසක් මුහුණුපොතට එක්කරන හෙන්රි මෙසේද සඳහන් කර ඇත. ලියනගේ අමරකීර්තිගේ අළුපැහැති ආරංචි කියවා මහත් ප්‍රහර්ෂයට පත් වුණෙමි. එය සිංහල කෙටිකතාවේ නිම්වළලු පුළුල් කරන කෙටිකතා ගණනාවකින් සමන්විත විය. පොත් ප්‍රකාශක සංගමයේ රජත පුස්තක සම්මානය “ගිහින් එන්න කානිවල් කෙටිකතා සංග්‍රහයට හිමිවූ වහාම පොත මිලදී ගෙන කියැවීමි. අනේ... අහසට පොළොව සේය... ගිහින් එන්න කානිවල් කෙටිකතා පොත් කියවන්නන් කියවිය යුතු පොතකි. එහෙත් සම්මාන දෙන්නේ වසරේ හොඳම පොතට කියා මම තවමත් සිතමි.

ජනක ඉනිමංකඩ ගිහින් එන්න කානිවල් කියවන්නේ මේ අවුරුද්දේ ජනවාරියේය. ඔහු ඒ විගසම මුහුණුපොතට එක්කරන්නේ එයින් ලද ආස්වාදය සටහන් කරන පෝස්ටුවකි. එහි පළමු පිටු පහ හය මා කියවූයේ අධික වේගයෙනි. දැන් පළවන බොහෝ කෙටිකතා පොත්වල ඇත්තාක් මෙන් සුපුරුදු එකම ජාතියේ කතන්දර ලෙස නම් කර ඇතැයි මා කළ පූර්ව විනිශ්චය වැරදි බව මොහොතකින් මට තහවුරැ වෙමින් තිබුණි... නිධානයක් පාදාගත්තෙකුගේ සිතට ඒ ක්ෂණයේදී දැනෙන ආස්වාදනීය හා උණුසුම් හැඟීම් බඳු හැඟීමක් මට දැනුණේ කාලයකට පසු අතිවිශිෂ්ට කෙටි කතාවක් කියවීමේ භාග්‍යය උදාවූ බැවිනි.

නිර්මාණ කෘතියක් විනිශ්චයට භාජනය කිරීමේදී ලැබෙන තීරණ එකිනෙකට සාපේක්ෂය. විවිධ පුද්ගලයන් නිර්මාණ රසවිඳින්නේ එකිනෙකට වෙනස් සිතුවිලි ධාරාවන් ඔස්සේය. මේ නිසා තමන් සිතා සිටි පොතකට සම්මානයක් නොලැබුණු විට පාඨක සිත කැලඹීමකට පත්වේ. එයට හේතුව තමන් කැමති පොතට පාඨකයා මානසිකව බැඳීසිටින බැවිනි. අද මුහුණුපොත ඇති නිසා එම විවේචන සැණෙකින් විශාල පිරිසක් වෙත මුදාහැරීමට ඉඩ ලැබේ. මධුෂ් රංගන තම ෆේස්බුක් පිටුවට එක්කර ඇත්තේ  ගිහින් එන්න කානිවල් කියවා විඳි වින්දනයයි. සම්මාන උත්සවයකදී කරන්න ඕන පොත ඔසවා තැබීමක්. සම්මාන ලැබීම නිසා නොකියවන්නකු කියැවීමට පෙළඹවිය යුතුයි. ආකෘතිය, භාෂාමය, අන්තර්ගතය යන තෙවැදෑරුම් කාරණය සාහිත්‍යමය ලෙසින් ඉදිරිපත් කිරීමට පෙන්වූ විශිෂ්ටතාව නිසා ගිහින් එන්න කානිවල් සම්මානීය විය යුතු බව මගේ හැඟීමයි.

ගිහින් එන්න කානිවල් කියවූ අපටද පෙනුණේ එය කෙටිකතාවේ අලුත් ඉසව් සොයා යාමට දැරූ සාහිත්‍යමය උත්සාහයක් බවයි. බාහිර සමාජයේ සමහරු විවේචනය කරන්නේ සම්මාන උළෙලේ ජයග්‍රාහී කෘතිය තේරීමේදී ප්‍රකාශකයන්ගේ සංගමයෙන් බලපෑම් කරන බවය. එනම් ජයග්‍රාහී කෘතිය සම්මාන උළෙලට පෙරම තෝරාගෙන සිටින බවයි. ඒ විවේචන පිළිබඳව අපි ඇසුවේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩිගෙනි.

අපි කවදාවත් බලපෑම් කරලා නෑ විනිශ්චය මණ්ඩලයට. රජත පුස්තක සම්මානයට හෝ ස්වර්ණ පුස්තක සම්මානවලටත් අපෙන් බලපෑමක් නැහැ. තීරණය සම්පූර්ණයෙන් බාරදී තිබෙන්නේ විනිශ්චය මණ්ඩලයට. ජයග්‍රාහී කෘතිය පිළිබඳ තීරණය ගන්නෙත් සම්මාන ලබාදෙන දා අවසාන මොහොතේදීයි. අපි සද්භාවයෙන් හොඳ විනිශ්චයක් ලැබේවි කියලා බලාපොරොත්තුවෙන් තමයි විනිශ්චය මණ්ඩලය පත්කරන්නේ. මොන විනිශ්චයක් ලැබුණත් බාරගන්නවා. අපි සම්මානවලට නිර්දේශ කළ පොත් අතරින් තමයි ඊට පසු පවත්වන රාජ්‍ය සාහිත්‍ය ඇතුළු සාහිත්‍ය සම්මාන උළෙලවලත් සම්මානවලට භාජනය වන්නේ. ඒකෙන්ම තේරෙනවා නේද අපේ විනිශ්චය නිවැරදි බව.

කෙටි කතා සහ කවි පිළිබඳව සංවාදයක් ගොඩනැංවීමට රජත පුස්තක ඉවහල් වූ බව ඇත්තය.

සාහිත්‍ය සම්මානවලදී විවිධ විවේචන ගැරහුම් එල්ල වීම එදා පටන්ම සිදුවේ. එය අප රටට පමණක් නොවේ. නොබෙල් සාහිත්‍ය තෑග්ගටත් විවිධ රටවලින් විවේචන එල්ල වීම සාමාන්‍ය දෙයකි. එහෙත් සමහරු කරන්නාක් මෙන් මඩ ප්‍රහාර එල්ල කිරීම නවත්වා සාධනීය විවේචන එල්ල කිරීමට සමාජ මාධ්‍ය ජාල භාවිත කරන සාහිත්‍ය රසිකයන් ද ඉදිරිපත් වන්නේ නම් එය හොඳ කෘතියක් සම්මානයට පාත්‍රවීමටත් සාහිත්‍යයේ ඉදිරි වර්ධනයටත් බලපානු ඇත.

 කුසුම්සිරි 
සේයාරුව - පීටර් ජෙරොම් තිසරණ පෙරේරා

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00