2017 ජනවාරි 28 වන සෙනසුරාදා

ලග්න හතකට මාලවී යෝගය

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 609

මාර්තු අප්‍රේල්වල මුදල් තත්ත්වය පහළ බසී

සිතුරු ග්‍රහයා තමාගේ උච්ච රාශි භවන තුළ ගමන් කිරීම නිසා මිථුන, කන්‍යා, ධනු හා මීන ලග්න හිමියන්ටත් පංච මහා පුරුෂ යෝග බලයක් වූ මාලවි යෝග බලය උදාවනු ඇත.

මෙම වකවානුව තුළදී මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලින් උත්පත්තිය ලබන්නාවූ  දරු දැරියන් ඉතා ලස්සන රූපයෙන් අනූන කලාවට දක්ෂ පින්වත් අය වනු ඇත.

සිකුරු, මීන රාශිගත වීමෙන් අප රටට ඇතිකරන්නා වූ බලපෑම විමසා බලමු.

මාර්තු වනතුරු ජාතික මුදල් තත්ත්වයට හෝ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන නමුත් මාර්තු, අප්‍රේල් කාලය තුළදී ජාතික මුදල් තත්ත්වය පහත වැටෙන අතර මූල්‍ය ආයතනවලට ඉතා අශුභ වේ. උසස් ප්‍රභූ පුද්ගලයන් අතර මෙන්ම මහජන නියෝජිතයන්හට ද නින්දා අපහාස විඳීමට සිදුවනු ඇත. චිත්‍ර ශිල්පියකුට, සංගීත ක්ෂේත්‍රයේ හෝ ගායන ක්ෂේත්‍රයේ හෝ චිත්‍රපට නිෂ්පාදකයකුට මාරක ඇතිවනු ඇත. මහජන සුබසිද්ධිය වෙනුවෙන් රජය විශේෂිත ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාවට නංවන වකවානුවකි. උසස් කාන්තාවකගේ මරණයක් විශේෂයෙන් දේශපාලන ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැලි කාන්තාවකට ඉතා අශුභ ඵල මාරක ඇතිවනු ඇත.

මේෂ - කලාවට යහපත්

සමාජ සේවයට නැඹුරුව කටයුතු කරන වකවානුවකි. අනවශ්‍ය වියදම් ඇතිවනු ඇත. තම කටයුතුවලට විවිධ අයගෙන් බාධා කිරීම් ඇතිවේ. කලා කටයුතුවල නිරත අයට යහපත් වේ.

වෘෂභ - හදිසි ධන ලාභ

හිත මිතුරන්ගෙන් උදව් උපකාර හිමිවනු ඇත. අන් අයගේ ආකර්ෂණයට ලක්වනු ඇත. ආගිය තැන පිළිගැනීමට ලක්වනු ඇත. හදිසි ධන ලාභ ඇතිවනු ඇත. පවුල් දිවියේ සමගිය වර්ධනය වනු ඇත.

මිථුන - කටයුතු සාර්ථකයි

ඔබට ඉතා යහපත් ඵල ලැබෙන්නා වූ මාලවි යෝග බලය උදාවනු ඇත. තමන් කරන කටයුතුවල සාර්ථකත්වයක් ඇතිවන අතර භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් ඵල අත්වේ. උසස් වීම් බලාපොරොත්තු වන අයට තම බලාපොරොත්තු ඉටුවනු ඇත.

කටක - පවුලේ සමගිය

ඔබටද යහපත් ඵල උදාවන අතර උසස් ඉගෙනීම් කටයුතුවල නිරත වන අයට යහපත් ඵල උදාවන අතර කෙටි ගමන් ද යෙදෙනු ඇත. වන්දනා ගමන්වලට සහභාගී වීමට අවකාශ ලැබෙනු ඇත. පවුල් දිවියේ සමගිය වර්ධනය වේ.

සිංහ - නරක හිතවතුන්

රැකියා ස්ථානය ආශ්‍රිතව හදිසි ප්‍රශ්නයක් ඇති විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු සිදුකළ යුතුවේ. තම කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇතිවනු ඇත. අනවශ්‍ය අය හිතවත් වීමට පැමිණෙන බැවින් අවධානයෙන් සිටින්න.

කන්‍යා - ව්‍යාපාරවලට හොඳයි

ඔබට ඉතා යහපත් වන අතර පංච මහා පුරැෂ යෝග බලයක් වූ මාලවි යෝගය උදාවනු ඇත. හවුල් කටයුතුවලින්ද ව්‍යාපාර කටයුතුවලින්ද උසස් ඵල ලැබේ. තම නාමය අන් අය අතර ප්‍රචලිත වන අතර ඔවුන්ගේ ආකර්ෂණයට නතු වනු ඇත.

තුලා - ආමාශ රෝග

ඔබට එතරම් යහපත් නොවන අතර සතුන්ගෙන් ද පීඩා ඇතිවනු ඇත. ඔබගේ විවිධ කටයුතුවලට විරුද්ධවාදීන් ඇතිවනු ඇත. අනවශ්‍ය අය තමා සමඟ මිත්‍ර වනු ඇත. ආමාශගත රෝගයක් මතු වනු ඇත.

වෘෂ්චික - මංගල යෝජනා

විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වේ. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. අලුතින් මිතුරු මිතුරියන් හමුවේ. ඉගෙනීම් කටයුතුවල නිරතවන අයට ද යහපත් ඵල උදාවන අතර කලාකරුවන්ට ද යහපත් වේ.

ධනු - හිතේ සතුට රජයයි

ඔබට යහපත් ඵල උදාකරන්නා වූ මාලවි යෝග බලය ක්‍රියාත්මක වනු ඇත. නව ඉඩමක් වාහනයක් මිලදී ගැනීමට යහපත් වන අතර හිතේ සතුට රජයන වකවානුවක් වේ. උරුම හිමිකමක් ලබාගත හැකිය.

මකර - නිතර සැහැල්ලුවෙන්

ඔබගේ හැකියාවෙන් ඵල අත්කරගත හැකි කාල වකවානුවක් වේ. කලා කටයුතුවල නිරත වන අයට යහපත් ඵල උදාවනු ඇත. අලුත් හිත මිතුරන් මුණගැසේ. නිතර ප්‍රිතියෙන් සැහැල්ලුවෙන් කටයුතු කිරීමට හැකිවන අතර පවුල් දිවියේ සමගිය වර්ධනය වනු ඇත.

කුම්භ - විනෝද ගමන්

බාහිර අයගේ ආකර්ෂණයට ලක්වනු ඇත. පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර තම පවුලේ සාමාජිකයන් සමඟ විනෝද ගමන්වලට සහභාගී වීමට අවකාශ ලැබේ. සෙම් ආශ්‍රිත රෝගාබාධයක් ඇති වනු ඇත.

මින - ගෞරවයට ලක්වේ

ඔබටත් යහපත් ඵල උදාවන මාලවි යෝගය ලබනු ඇත. ඔබව අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන අතර අන් අයගේ ගෞරවයට ලක්වේ. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර නිතර ප්‍රිතියෙන් සිටීමට හැකිවේ.


ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර් යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල