2018 ජුනි 30 වන සෙනසුරාදා

මහනුවර නගරය කුඩු සෙන්ටර් එකක්

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 193

මහනුවර ප්‍රදේශය හෙරොයින්, ගංජා, මත්පෙති, බාබුල්, කූල් වැනි මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්වීමත් සමඟ කොළඹ ප්‍රදේශයේ සිට මත්ද්‍රව්‍ය රුගෙන මහනුවරට පැමිණ එම මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් නගරබද මෙන්ම ග්‍රාමීය පෙදෙස්වලද බහුලව සිටින බව ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.

දිගන, කෙන්ගල්ල, මැණික්හින්න, දියබුබුළ, උඩිස්පත්තුව, තෙල්දෙණිය අවට මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම ඉතා බහුලව සිදුව තිබෙන බව මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධව ස්ථාපිත කර ඇති විශේෂ පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් ඒකක පවසයි. ග්‍රාමීය පාසල් ආශ්‍රිතවද මත්ද්‍රව්‍ය උවදුර ඉතා සූක්ෂම ලෙස තදින් ව්‍යාප්ත වී තිබෙන අතර ඇතැම් ග්‍රාමීය පාසල්වල දරුවන් කිහිප දෙනෙක් ද මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටිති.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය, මධ්‍යම පළාත් දිසා දූෂණ මර්දන අංශය, මධ්‍යම පළාත් විශේෂ වැටලීම් ඒකකය වශයෙන් පොලිස් ඒකක කිහිපයක් මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරද්දී ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන් කිහිප දෙනකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වන බවටත් පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

විශේෂයෙන් රාත්‍රී කාලයේ ත්‍රිරෝද රථවලින් ගංජා, හෙරොයින් සහ වෙනත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුවද්දී එවැනි ත්‍රිරෝද රථ හදිසි පරීක්ෂාවට ලක් කිරීමටද ඇතැම් පොලිස් වසම්වල පොලිස් ප්‍රධානීන් උනන්දුවක් නොදක්වන බව මහජනතාව පවසයි.
පොලීසිය වෙත මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව තොරතුරක් ලබාදුන් විට, එම තොරතුර ලබාදුන් පුද්ගලයා පිළිබඳව ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන් විසින් හෙළිකිරීම නිසා මහජනතාව මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ තොරතුරැ පොලීසිය වෙත ලබාදීමටද මැලිකමක් දක්වති.

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මහනුවර, මාතලේ සහ තෙල්දෙණිය යන ප්‍රදේශවල ප්‍රධාන ජාවාරම්කරුවන් 40කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්ත මධ්‍යම දිසා විශේෂ මෙහෙයුම් ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

එක් දිනක් තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 ක් සන්තකයේ තබාගෙන සිටි දිගන, කෙන්ගල්ල, දියබුබුළ ප්‍රදේශයේ ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට මධ්‍යම පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ පොලිස් කණ්ඩායමක් සමත් විය.

මහනුවර පොලිස් කොට්ඨාසයේ විවිධ වැටලීම් අංශ කිහිපයක නිලධාරීන් දිවා රාත්‍රී මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකළද ඇතැම් දේශපාලනඥයන්ට සම්බන්ධ වී සිටින පුද්ගලයන් නිරන්තරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී සිටින බවටද පොලීසියට තොරතුරු ලැබී ඇති බවත් ලැබෙන සෑම තොරතුරක් අනුවම පොලීසිය වැටලීම් සිදුකරමින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් මහනුවර පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානියෙක් පැවසීය.

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් කර ගැනීමට උත්සාහ කරන අය පිළිබඳව රහසිගතව තොරතුරු ලබාදෙන්නැයි පොලීසිය, මත්ද්‍රව්‍ය කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 ජේ.ඒ.එල්. ජයසිංහ